රාමා සීතාගෙ කවුද මචං ? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මා මේ කතාව කියන්නෙ බොහෝ ඈත මතකයක් පෙරදැරි කරගෙන. අසූවෙ දශකයෙ මුලම මා දුෂ්කර සේවය සඳහා මොනරාගලට දකුණු පලාතෙන් ඇවිත් මරගල කඳු වනාන්තරය පාමුල අති දුෂ්කර පාසලක ගණිත ගුරුවරයෙකු ලෙස වැඩ බාර ගත්ත. ඒ වගේම ආපු ගුරුවරු පස් දෙනෙක් සමඟ මා පාසල් චමරියේ නේවාසික වුනා. ඒ සුන්දර දිවි සැරිය ඇසුරෙන් ලියූ කතා රාශියක් අඩයාලමේ දිග හැරිය බව ඔබට මතක ඇති. මේකටම සම්බන්ධ කතාවක් ” ආකලන පාඩම “කියල ඒකෙ ඇති.
මා මේ කතා වල නිතරම සඳහන් කර ඇති මරගල කන්ද රාවණා රජුගෙ නැගණිය වූ සුකර්ණිකා දේවියගෙ රාජධානියයි. මේ කිට්ටුව තියෙන කුඹුක්කන රාවණාගෙ සහෝදර කුම්භකර්ණගේ රාජධානියයි. ඒක මතක් කළේ මේ කතාවෙ අගට රාම සීතත් සම්බන්ධ නිසයි.
ඒ කෙසේ වෙතත් ඒ ගැන ලියන කතාවක් නෙමෙයි මේක. මා වසර තුනහ මාරක් මේ පාසලේ උගන්වද්දි යාළුවෙක් මට කිව්ව ගණිත ගුරු උපදේශකවරුන් බඳවා ගැනීමට ජාතික මට්ටමේ විභාගයක් තියෙනව ඒකට මට ඉල්ලන්න පුලුවන් කියල. පුහුණු ගුරුවරුන්ගෙන් වසර පහලවක් , උපාධි අයගෙන් වසර දහයක් හා මගේ සුදුසු කම් වලින් වසර තුනක් තමා අහල තිබුනෙ.
ඕන කජු ගහක් යටින් යන්න කියල මාත් ඔන්න ඔහේ ලියල දැම්ම. මෙන්න පාස් වෙල ඉන්ටවිව් එන්න කියල අමාත්යාංශයෙන් ලියුමක් ආව. ලංකාවෙන්ම තෝරගත් පැරණි ගණිත දැවැන්තයින් 150 ක් අතරට මේ සොක්කෙක් වගේ හිටපු වසර තුනහමාරක සේවා කාලයක් පමණක් තිබූ මටත් යන්න හැකිවීම මටම පුදුමයි. කොහොම වුනත් ඒ සිද්ධිය මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අඩිතාලමක් වුනා.
අපිව මාස හයකට වරක් ලංකාවෙ එක තැනකට ගෙන්වල නේවාසික පුහුණුවක් දෙනව ඒ කාලෙ. ඒකෙ පළමු පුහුණුව තිබ්බෙ ඉබ්බාගමුව ම.ම.වි. යේ. ඒව යමර පුහුණු වීම්. උදේ 8 සිට රාත්රී 10 දක්වා එක දිගට වැඩමුළු. ඒ මදිවට දෙන ගණිත ගැටළු එලිවෙනකම් සාකච්ඡා කරනව. ගැටළු තියාගෙන තමන්ගෙ පැතිවලට යන්න කවුරුත් කැමති නැහැ. අනිත් අතට බයකුත් තිබුන අපේ පැති වල ගුරුවරුන් පුහුණු කරන්න වෙන්නෙ අපිට නිසා.
පළමු කැඳවීමේ ලිපිය එවල තිබුනෙ විෂය මාලා සංවර්ධන මධ්යස්ථානයේ ගණිත අධ්යක්ෂක ඒ. ජේ. සර්. ඒ ලිපිය අදටත් අපිට ආදර්ශයක්. ඉබ්බගමුවෙ ඉස්කෝලෙට එන විදිය පවා සිතියමක් සහිතව ලිපියට අමුනල තිබුන. රාජකාරි වොරන්ට් පවා ඒකෙම තිබුන. ලිපිය අවසානයේ “විදුලි පන්දමක් හා කුඩයක් රැගෙන ඒම ඔබට ප්රයෝජනවත් විය හැක” කියලත් තිබුන අද වගේ මතකයි. ඒ පුහුණු වීම් අඛණ්ඩව රට පුරා තිබ්බ නිසා අපිට බොහෝ අත් දැකීම් ලැබුනා. යාපනේ විතරයි යන්න බැරි වුනේ.
ඒ කාලෙ මා දැකපු ලස්සනම පාසලක් තමයි ඉබ්බාගමුව විදුහල. වැවත් එක්ක පාසලේ දර්ශනය අපිව වශී කළා. ඒ වගේම ලංකාවෙ කොහේවත් පාසලක නොදුටු සුන්දරම මල් වගාව දැක්කෙත් එහේදි. විදුහල්පති හිටියෙ ක්ලැරිස්ටස් නානායක්කාර මැතිතුමා. පසු කාලයේ අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ ස.ලේකම් කෙනෙක් ලෙස කටයුතු කළ එතුමා මේ මෑතක දිවියෙන් සමු ගත්තා.
අපේ පුහුණුව බාරව හිටි ඒ. ජේ. සර් පුදුම දක්ෂයෙක්. ගණිතය වගේම නොදන්න දෙයක් නැහැ. ඔහුගෙ සම්පත් මණ්ඩලයත් ගණිතයෙන් අපිව පුදුම කළා. පසු කාලෙක මටත් ඒ සම්පත් මණ්ඩලයට යන්න හැකිවුනා.
මා මේ ක්ෂේත්රයේ ඉන්නකම් එම පුහුණු වීම් අඛණ්ඩව ලැබුව. අපි හරි කැමැත්තෙන් ඒවට ගියේ. ඒ වගේම ඒ පුහුණුවීම් කාලය හරි විනෝදමත්. ගණිතය උගත් විශාල මිතුරු කැලක් ඇසුරු කරන්න ලැබීමත් වාසනාවක්.
මුල්ම පුහුණුවෙදි අපිව හොඳින් පුහුණු කළා අපේ ප්රදේශ වල ඉන්න ගණිත ගුරුවරුන්ට නව විෂය නිර්දේශ අනුව උගන්වන හැටි උගන්වන්න. ඒ සියළු දේ අයන්නෙ ඉඳල අපිට කියල දුන්න. මතුවන සෑම ගැටලුවකටම විසඳුම් ලබා දීල අපිව සන්නද්ධ කළා. එතුමා බොහෝ දේ උපහැරන හා නිදසුන් සහිතව තමයි කියා දුන්නෙ.
මේ කියන්න යන සිද්ධිය වුනේ මුල්ම පුහුණු සැසියෙ හත්වෙනි දිනයේ අවසන් පැයේ.
ඒ. ජේ. සර් දේශනය අවසන් කරල සමු දෙන්න කිට්ටුව නැවත ඇහුව කාට හරි ප්රශ්නයක් තියෙනවද කියල. අපේ එකෙක් එක පාරට නැගිටල බැරෑරුම් විදියට මෙහෙම ඇහුව. ” සර් දැන් අපි අපේ පැතිවලට ගිහිල්ල මොකක්ද හැබෑට කරන්න ඕන.”
මේක අහපු අපි හැමෝම තුෂ්නිම්භූත වුනා කියහන්කො. අපිට නම් තේරුන මේ මිනිහ නැට්ට පුරා ගොම ගා ගත්ත කියල. යකෝ මෙච්චර දවසක් , මෙච්චර කාලයක් , මෙච්චර කැපකිරීමකින් සියළු දේ දැනුම්වත් කළාට පස්සෙ , දැන් මෙයා අහනව ගිහින් කරන රෙද්ද මොකක්ද කියල.
අපි බලා පොරොත්තු වුනා අධ්යක්ෂක සර් අපි හැමෝටම දෙහි කපයි කියල. නමුත් වුනෙ වෙනින් දෙයක්. සර් ඒ මෝඩ ප්රශ්නෙ නෑහුන වගේ හිමින් නැගිටල කතාවක් කියන්න පටන් ගත්තනෙ.
ඔන්න එක ගමක හිටිය හොඳ යාළුවො දෙන්නෙක්. මේ දෙන්න නාන්න යන්නෙත් එකට. නාන වැව ලඟ තියෙනව ගල්පොත්තක්. ඕකෙ වාඩිවෙල නාන්න ඉස්සෙල්ල දෙන්න පොඩි කතාවක් දානව.
එදා එක යාළුවෙක් කිව්ව මං උඹට හොඳ කතාවක් කියන්නම්. උඹ අහල නෑනෙ රාමායනය. ඔන්න අහ ගනින්. දැන් රාමායනයෙ මුලු කතාවම ලුනු ඇඹුල් ඇතිව කියනව. දවස් හතක් නාන්න ආ ගමන් අර ගල් තලාවෙ වාඩිවෙල දැන් රාමායනය කියනව යාළුවට.යාළුවත් ඇසි පිය නොගහ අහන් ඉන්නව. සංවේදී තැන් වලදි කඳුළු හෙලනව. සීතව පැහැරගෙන ඇවිත් කඳු ශිකරෙක හිර කරන් හිටපු හැටි, සීතගෙ පතිවත සැක කළ රාමට ඒක ඔප්පුකරන්න සීතට ගින්නට පනින්න සිදුවුන හැටි, රාම රාවනා යුද්ධය, ආදී සියලු කතාව කියනව. ඕව අර යාළුව සතියක් පුරා හැම හවසකම අහන් හිටියනෙ. මහා කාව්යක් නිසා කතාව මහා පතරංග එකක්නෙ. ඉතින් හත් වෙනි දවසෙ කතාව දුක් මුසුව අවසන් කරල කතාව කියපු යාළුව ඇහුව , යාළුවෙ කතාව හොඳයිද කියල.
හත් දවසක් අහන් හිටපු යාළුව අහනව , “ඉතින් ඔය රාමා සීතගෙ කවුද මචං ” කියල.
ඒක ඇහුවට පස්සෙ කතාව කිව්ව යාළුවට වැවේ පනින්න වුනාද දන්නෙ නැහැ.
ඉතින් අපිත් සර්ගෙ කතාව මීයට පිම්බ වගේ නිහඬව අහන් හිටිය. පස්සෙ තමයි ටියුබ් ලයිට් වගේ අපේ මොලේ පත්තු වෙන්න පටන් ගත්තෙ.
පස්සෙ අපි හැමෝටම හෝල් එක දෙදරන්න හිනා ගියා. සර් කතාව කියල නිහඬව වාඩි වුනා. අර මෝඩයගෙ ප්රශ්නෙට පිලිතුරු දීල තියෙන්නෙ රාමායනයෙන්.
ඔය වගේ අපේ සේවා අත් දැකීම් බොහොම රසවත්. අද ඒ වගේ නිලධාරින්වත් පරිණත පුහුණු කරුවන්වත් කොහෙන් හොයන්නද?
මා ඒ කණ්ඩායමේ හිටි බාලය නිසා මේ කතාව අද ලියනව. මේක කියවන්න ඒ අයගෙන් කීප දෙනෙක්වත් තාම ඉන්නව ඇති කියල මට හිතෙනව.
…………………………………නිමි…………………………………..
උපුටා ගැනීම: Jayakumara Ranchagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!