රඹුටන් ගස (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අළුත් ගෙය තනන්නට අත්තිවාරම කැපූ දා තාත්තා විසින් ඉදිරිපස මිදුලේ රඹුටන් පැළයක් සිටුවන ලදී. එම කුඩා රඹුටන් පැළය එකවරම මහ ගසක් වූවායැයි අපට හැඟුනේ ගම්මිරිස් ඇට තරමේ කුඩා මල් පොට්ටු අතු අග දුටු අද උදෑසනය. මෙතෙක් දවසක් එවැනි ගසක් මිදුලේ ඇති බවක් අපට සිහිවූයේ නැත.උදෑසන මිදුල අමදින විට ගස යට පුරුද්දක් ලෙස ඇමදීමක් කරනු මිස කිසිවිටෙකත් හිස ඔසවා ඉහළ බැලීමක් මා හෝ නංගී විසින් නොකරන ලදී. වත්ත හා ගස් වැල් ගැන නිතර අවධානයෙන් සිටින අම්මා රඹුටන් ගස පීදී ඇති බව අපට පැවසුවාය. පැළය ඉන්දවූ පසු තාත්තා නිවසේ සිටි සෑම අවස්ථාවක ම එයට දැක්වූ සාත්තුව සැලකිල්ල රඹුටන් ගසකට නොවටිනා තරම් විය. පැළය ආවරණය වන සේ අමු පොල් අතු අහුරා කොටුවක් තැනුවේය . පැළය අඩියක් දෙකක් උස යන විට ඒ වටා දඬු වැටක් බැන්දේය.
” මේක මැලේසියන් රඹුටන් පැළයක්. මං හොඳ පැළ තවානකින් ගෙනාවේ..” කුඩා රඹුටන් පැළයේ වතගොත පවසමින් තාත්තා ඕනෑවටත් වඩා එය සුරැකීය. එහෙත් මටත් නංගීටත් එය අනෙකක් සේම සාමාන්ය ගසක් විය. ගමෙන් සැතපුම් තිහ හතළිහක දුරින් රජයේ කන්තෝරුවක ලිපිකරුවෙක් වූ තාත්තා කන්තෝරුව අසලම නිවසක නවාතැන් ගෙන සිටියි.සති අන්ත නිවාඩුවට සිකුරාදා නිවසට විත් සඳුදා හිමිදිරියේ ම නැවත පිටත් වී යයි.වත්ත පිටිය එළිපෙහෙළි කිරීම , එළවළු පාත්තියක් දැමීම , නිවසේ යම් අඩුපාඩුවක් ඇත්නම් එය පිළිසකර කිරීම වැනි කටයුතු සති අන්තයේ තාත්තා ගෙ වෙහෙසින් සිදුවෙයි. ඒ අතර තුර රඹුටන් ගසට අන් සියල්ලටම වඩා සැලකිල්ලක් ලැබෙයි. නංගීත් මමත් ඒ ගැන පවසා තාත්තා ට ඔච්චම් කළෙමු.
” ඕක පීදුනාම හැදෙන ගෙඩි රත්තරන් ද “
” ගෙඩි හැදුනම කාලා බලන්නකො. එතකොට හිතෙයි ඒ තමා අමෘතෙ කියලා ” තාත්තා කිසිවිටෙකත් අපට පැරදුනේ නැත. වසර කිහිපයක් ගත වූවත් රඹුටන් ගස පීදුනේ නැත. තාත්තා ට එහි කිසිදු වගක් නැත. ආදරයෙන් හදා වඩා ගත් දරුවෙකුගේ සුරතල් බලමින් සතුටු වන පියෙකු සේ රඹුටන් ගස අතු පතර විහිදා වැඩෙන අයුරු බලා තාත්තා සතුටු වූවේය. අපිට එය සෑමවිටම විහිළුවක් ම පමණක් විය. එහෙත් දැන් ගස පීදී ඇත. තවත් දෙදිනකින් තාත්තා පැමිණෙයි. රඹුටන් අතු අගිස්සේ පිපී දිලෙන කුඩා කැකුළු දකින කල තාත්තා ප්රීතියට පත් වෙනු නොඅනුමානය . අපි කිසි දිනෙක විශේෂයෙන් නොසැලකූ රඹුටන් ගස පීදුනා යැයි දැනුදු විශේෂයක් නොමැති නිසාවෙන් එම සිද්ධිය එදිනෙදා කටයුතු අතරින් බැහැර කළෙමු. එහෙත් සති අන්තයේ නිවසට පැමිණි තාත්තාට එය දියණියක මල්වර වූ පමණටම ප්රීතිදායක සිද්ධියක් විය. ඔහු රඹුටන් ගසේ මුදුන් මුලේ සිට ඉහළම දල්ල දක්වා වර්ණනා කළේය.
දිනෙන් දින අතු අගිස්සේ වැලිකැට මෙන් පිරී පැවති රඹුටන් මල් මෝරා කුඩා ගෙඩි පෙනෙන්නට විය. එහෙත් ගසේ තිබෙන ප්රමාණයට වඩා ගසින් වැටී අතු ගා කුණු වලට වැටෙන ප්රමාණය වැඩිය.
” මෙහෙම වැටුනාම මොන රහද කියලා බලන්නවත් ගෙඩියක් ඉතුරු වෙන එකක් නැහැ ” ඉඳහිට දිනක මිදුල අමදින නංගී පවසන්නීය.
“හොඳට ඉදිලා කනවා මිස වැටෙන ගැට එහෙම කටේවත් තියන්න එපා. ඉඳුල් කලොත් සත්තු එයි ගෙඩි ටික කන්න ” එක් සති අන්තයක නිවසට පැමිණි තාත්තා නැවත යෑමට සූදානම්ව පැවසීය .එහෙත් ඒ වන විටත් නංගීත් මමත් ගෙඩි කිහිපයකම රස බලා තිබුනෙමු. තාත්තා ට විහිළු කරමින් සිනා සුනත් කියන්නට බැරි තරමේ පැණි රසකින් යුත් රඹුටන් වර්ගයක් බව අපට වැටහී තිබුණත් අපි ඒ බවක් නොඇඟෙව්වමු. ටිකෙන් ටික ලේ බිංදු සේ තද රක්ත වර්ණයට හැරවුණු රඹුටන් පොකුරු දකිද්දී පාරේ යන අයගෙත් නිවසට ආගිය අයගෙත් දෙනෙත් නිරතුරුවම රඹුටන් ගසට යොමුවිය.තෙමසකට වරක් පමණ පැමිණෙන ආච්චිඅම්මා ආ දිනෙක රඹුටන් ගස පිළිබඳව කතා බහක් ඇතිවිය.
” අනේ පුතේ රඹුටන් ගහ කාට හරි බදු දීපන්. හොඳ රඹුටන් නිසා සෑහෙන ගාණක් ගන්න පුළුවන් වෙයි. ” ආච්චිඅම්මාගෙ යෝජනාව අප සිත්ගත්තක් නම් නොවීය. මහගෙදර වත්තේ වැටෙන පොල් අත්ත පවා විකුණා මුදල් කර ගන්නා ආච්චිඅම්මාට රඹුටන් ගස මුදල් ආකරයක සේ පෙනෙන්නට ඇත.
” අනේ අම්මේ කෙල්ලො දෙන්නට කන්න තරම්වත් නෑනෙ….මොනවා විකුණනන්න ද ” තාත්තාගෙ පිළිතුරෙන් රඹුටන් ගස පිළිබඳව ගනුදෙනුව නිමාවිය. ලේනුන් සහ කුරුල්ලන්ගෙන් රඹුටන් බේරාගැනීමට අපි ටකයක් සවි කලෙමු. උදෑසන පාසල් යන ඇතැම් කුඩා දරුවන් රඹුටන් ගස දෙස ආසාවෙන් බලයි. සමහර දිනෙක එවැනි කුඩා දරුවෙක් ට නංගී රඹුටන් ගෙඩි කිහිපයක් දෙන්නීය. හදිස්සියෙම දවාලක ලොකු නැන්දා පැමිණියාය.පැයක් දෙකක් අම්මා සමග වල්පල් කියවූ ලොකු නැන්දා යන්නට සූදානම්ව අනවසරයෙන් ම මල්ලක් පිරෙන්නට රඹුටන් කඩාගත්තාය. අපි කිසිත් නොකියා බලා සිටියෙමු. ඉඳහිට අප නිවසට එන බාප්පා හිටිහැටියේ දිනක පැමිණියේය.සෙනසුරාදවක් බැවින් එදින තාත්තා ද නිවසේ විය. තාත්තා හා ආගිය තොරතුරු විමසමින් හුන් බාප්පා මිදුලට බැස රඹුටන් ගස දෙස මහත් ඕනෑකමින් බැලුවේය.
” අයියේ මට රඹුටන් ගෙඩි සීයක් විතර ඕනි ලොකු දුවලගෙ ගෙදර ගෙනියන්න. ” නංගීත් මමත් මුහුණට මුහුණ බලාගතිමු.
” මං දැනගත්තා කවදාවත් නැතුව එනකොට ” නංගී මගෙ කණට කර පැවසුවාය .කිසිත් නොකියූ තාත්තා ගෙතුලට ගොස් මල්ලක් ගෙනවිත් එය පිරෙන්නට රඹුටන් කඩා දුන්නේය.සතියක් පමණ ගෙවෙද්දි රඹුටන් ගසේ ඵලදාවෙන් හරි අඩකට ආසන්න ප්රමාණයක් අඩු විය. හදිස්සියකට හැර අප නිවසට නොපැමිණි ඥාතීන් , යාළු මිත්රයින් රඹුටන් ගස දෙස බලමින් නිවසට ගොඩවිය. අවුරුද්දකට සැරයක් හැදෙන රඹුටන් ගෙඩියක් නිසා කිසි කෙනෙකු අමනාප කර ගන්නට එපායැයි අම්මා අපට අවවාද කළාය.එහෙත් නංගී නිතරම තරහෙන් පිපිරෙමින් සිටියාය.ගස පීදී ගෙඩි මෝරා ඉදෙන්නට ගිය කාලයට වඩා ඉදුණු රඹුටන් අවසන් වන්නට ගත වූ කාලය අඩු විය.සති අන්තයේ නිවසට එන තාත්තා වත්තට පය තබන්නේ රඹුටන් ගස දෙස නෙත් යොමු කරමිනි. ගස පීදුන දා සිට කන්තෝරුවට ගෙන යන්නට ගෙඩි තුන් හාරසීයක්වත් ඉතුරු කරගතයුතුයැයි තාත්තා නිතර පැවසීය .ගසේ මුදුන් අතුවල පමණක් මේ වන විට ගෙඩි ඉතුරුව ඇත.
” මේ ඉතුරු වෙලා තියෙන ගෙඩි ටික පාලට එන්න කියලා හෙට හවසට කඩවා ගන්න ඕනි.” සෙනසුරාදා සවස තාත්තා පවසනු අපට ඇසිණි. ඉරිදා උදෑසනම තාත්තා යහළුවෙක් මුණ ගැසීමට ගිය බැවින් පාලට පණිවිඩය යැවීමට අම්මාට බාර විය. එහෙත් නිවසින් පිටට යාමට නොහැකි තරමට වැඩ රාජකාරි ගොන්නකට මැදි වී සිටි අම්මා අප දෙන්නාට පාලගේ නිවසට යන ලෙස පැවසුවාය .නංගීත් මමත් පාල කැඳවාගෙන පැමිණියෙමු . පාරේ ඈත පැමිණෙන විට වංගුවේ ඇති අප නිවසත් මිදුලත් පැහැදිලිව දිස් වේ.
” අක්කේ රඹුටන් ගහ මුදුනෙ කවුද ඉන්නවා ” නංගී කෑ ගැසුවාය. අපි දෙදෙනා හැල්මේ නිවස දෙසට දිව්වෙමු. අම්මා ඉදිරිපස උළුවස්සට බර දී ගස දෙස බලා සිටියි.
” කවුද ” නංගී අම්මාගෙන් විමසුවාය.
” සිරිල් “
සිරිල් අයියා , තාත්තා ගෙ වැඩිමහල් සහෝදරයා ගෙ නාහෙට නාහන කිසිවෙකුට ගරු සරුවක් නොකරන එකම පුතුය.
” සිරිල් අයියේ ඔය රඹුටන් ටික තාත්තා ඔෆිස් එකට ගෙනියන්න ඉතුරු කලේ ” නංගී කෝපයෙන් පුපුරු ගසමින් කෑ ගැසුවාය .
” අනේ කටවහගෙන ඉන්නවා .මං මේවට සල්ලි දෙන්නම්.” ගහ මුදුනේ සිට සිරිල් අයියා බෙරිහන් දුන්නේය . අතරින් පතර ගෙඩියක් දෙකක් ඉතුරු කර සියල්ල ගෝනියකට පුරවාගත් සිරිල් අයියා ගසෙන් බැස්සෙය.අම්මා කිසිත් නොකියා බලා සිටියාය.ජනෙල් පියනක රඳවා තිබූ කමිසය ඇඟලාගත් සිරිල් අයියා ගෝනිය කරට ගෙන කඩුල්ලෙන් පැන පාර දිගේ මොහොතකින් නොපෙනී ගියේය.
” සිරිල් ගෙ පවුලගෙ ගමේ ගෙනියන්නලු ” මෙතෙක් නිහඬව සිටි අම්මා කටහඬ අවදි කළාය. සිරිල් අයියා අතින් ගිලිහුණු රඹුටන් ගෙඩි කිහිපයක් ඇහිඳ ගත් පාල ද යන්නට ගියේය.අපි තිදෙන නිවස ඉදිරිපස සිමෙන්ති පඩියේ වාඩි වුණෙමු. පැයක් පමණ ගතවිය.තාත්තා පාරේ ඈත කෙළවර එනු දුටු අපි කිසිත් නොවූ අයුරින් උන්නෙමු.
” ආ පාල රඹුටන් ටික කැඩුවද ” ගස දෙස බලමින් තාත්තා කඩුල්ල පැන්නේය. අම්මා තාත්තා ගෙ පැනය මඟ හරිමින් නිවස තුලට වැදුණාය.මම තාත්තා ඇසූ දේ නෑසුන සේ උන්නෙමි. එහෙත් නංගී නිහඬ නැත. ඇය සිදුවූ සියල්ල තාත්තා ට අකුරක් නෑර කීවාය.තද අව්වේ පැමිණ කළු පැහැව අඳුරුව තිබූ තාත්තා ගෙ මුහුණ ලේ පුරා කම්මුල් රත් පැහැ ගැන්විණි.මා හුන් තැනින් නැගී සිටීමට ගල් ගැසී ඇති බවක් දැනුනි. තාත්තා ගෙ කෝපයෙන් ගිනියම් වූ දෙනෙතින් පිට වූ බැල්මෙන් සියල්ල ගිනි ගෙන දැවී අළු වී යතැයි මට සිතුණි. කමිසය ගලවා රෙදි වැලට දැමු තාත්තා ඉක්මන් ගමනින් ගෙතුලට රිංගා ගත්තේය.මොහොතකින් පොරවත් රැගෙන ආ ඔහු දරාගත නොහැකි වූ කෝපය පිටකරමින් රඹුටන් ගසට නොනවත්වා පහර එල්ල කළේය .වහා දිව ආ අම්මා , තාත්තා වළක්වාගන්නට ගත් උත්සාහය ද අසාර්ථක විය. ගතවූයේ මොහොතකි. මහා ශබ්දයක් නගමින් මෙතෙක් දවසක් සැමගේ රස නහර පින වු රඹුටන් ගස මහ පොළොව බදාගත්තේය.මගේ දෑසට කඳුලක් නැගී දෙකම්මුල් මතින් බේරී ගියේය.
” ඇයි තාත්තේ ගහ කැපුවේ ” මුවින් නැගිය නොහැකි පැනය මම සිතින් නැගුවෙමි. පොරව පැත්තක දැමූ තාත්තා සිමෙන්ති පඩියේ මා අසලින් වාඩිවිය. තාත්තා සෙමෙන් මාගේ හිසකේ අතරින් ඇඟිලි රිංගුවේය.
” තරහද දුවේ ” මම නැතැයි කීමට උත්සාහ කල මුත් මුවෙන් කිසිත් පිට නොවුණි. මම සෙමෙන් හිස ඔසවා තාත්තා දෙස බැලීමි.ඈත කඳු යායට දෙනෙත් රඳවා සිටි තාත්තාගේ නෙතඟින් උණුසුම් කඳුළු බිඳුවක් රූරා වැටුණි. මම එය රඹුටන් ගස නිසා ඇති වූවක් ද තමන් ගැන ඉපදුණ කඳුලක්දැයි තේරුන් ගන්නට නොහැකිව වෙහෙසින් හෙම්බත් වුණු තාත්තාගේ මුහුණ දෙස බලා උන්නෙමි.
 උපුටා ගැනීම:  දේශානි පෙරේරා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!