එක වසරට ඇතුලත් වෙනකොට මාව හොඳම ටීච කියලා ප්රසිද්ධ ගුරුතුමියගේ පන්තියට වැටුනා. එයා ගොඩක් වසයි, හැබැයි නියමෙට උගන්වනවා, ඒ පන්තියට වැටුන එක වාසනාවක් කියලා අම්මා අතින් තව ඇන්ටි කෙනෙක් කියනවා අහගෙන හිටියා. ඒක අහලා මම නම් බය උනා.
එක වසරට ගිය අලුත මගේ වැඩ පොතේ මුල් හරියෙම තිබුන රඹුටන් ගෙඩි තුනක පින්තූරයක් පාට කරන්න. ටීච කිව්වා රතු පාට, කහ පාට, කොළ පාට වලින් කැමති පාටක් දාගෙන එන්න කියලා.
රතු රඹුටන් මම ඒ වෙද්දි කාලා තිබුනා, කහ ඒවා කාලා තිබුනෙ නෑ. පාට දෙකම පාරෙ විකුණන්න තියෙනවත් මම දැකලා තියෙනවා. ඒත් ඒ වෙද්දි රඹුටන් ගහක ගෙඩි හැදිලා තියෙනවා දැකලා තිබ්බෙ නෑ. ගොඩාක් වර්ගවල පළතුරු ගස් අපේ මහ ගෙදර වත්තෙ තිබුණා. අලිගැට පේර සහ රඹුටන් ගස් දෙකක් තිබුනට ඒවා කවදාවත් පීදුනේ නෑ. රඹුටන් ළඟ පාත ගෙදරකවත් තිබිලා නෑ.
මම හිතාගෙන හිටියේ අමු ගෙඩි කොළ පාටයි, භාගෙට ඉදුනු ගෙඩි කහ පාටයි, හොඳටම ඉදුනු ගෙඩි රතු පාටයි කියලා. ඉතින් වීරයා වගේ පළවෙනි ගෙඩිය කොළ පාටත්, දෙවෙනි ගෙඩිය කහ පාටත්, තුන්වෙනි එක රතු පාටත් දාගෙන ගියා.
මගේ වැඩ පොත වීසි වෙලා ගියා.
පොත විසි වෙනකොට පුංචි මගේ පපුව ගලක් එල්ලුවා වගේ බර උනා.
“මොනවද මේ කරලා තියෙන්නෙ, මම කිව්වෙ එක පාටක් දාගෙන එන්න කියලා. අරන් යනවා මේක, එක පාටක් දාගෙන එනවා…” ටීච හැමෝටම ඇහෙන්න කෑගැහුවා. මුලු පන්තියම මීක් නැතුව මගෙ දිහා බලාගෙන හිටියා.
පොත්පත්වලට වැඳලා පාවිච්චි කරන්න කියලා අම්මා කියලා දීලා තිබුනා. එහෙම පොත වීසි වෙද්දි මට ගොඩාක් දුක හිතුනා. ඇයි එක පාරක්වත් ටීච ඇහුවෙ නැත්තෙ මම එහෙම කරන්න හේතුව. මම ඇට්ටර, කියන දේ නාහන ළමයෙකුත් නෙමෙයි. කියන දේ අහන කරන, පිළිවෙලකට වැඩ කරපු ළමයෙක්. මගේ සිතුවිල්ල අමු මෝඩයි තමයි. ඒත් ටීචට එක පාරක් හරි අහන්න තිබුනා “ඇයි පුතේ මෙහෙම කලේ” කියලා. ඊට පස්සෙ කරුණාවෙන් නිවැරදි කරන්න තිබුණ. ඒත් එහෙම උනේ නෑ.
දෙවෙනි පාර මම ඔක්කොම ගෙඩි රතු පාට ගාගෙන ගියේ තිබුන පාටවල් උඩින්මයි. ගොම ගෑවා වගේ. පොත කැත උනාට ඊටත් වඩා දුකයි. කඳුලුත් පොතට වැටුනා. මගෙ හිතත් ගොම පාටට අඳුරු උනා.
මේ සිදුවීමට අවුරුදු තිහක් ගතවුනත් තාමත් මම හිතනවා ඇයි මගෙන් ඇහුවෙ නැත්තෙ “ඇයි පුතේ මෙහෙම කලේ” කියලා. මම උත්තර දෙන්න බලාගෙන ඉන්නවා.
දැන් මගේ පුතා වරදක් කලා උනත්, හරි දේ කලා උනත් මම අහනවා “ඇයි පුතේ මෙහෙම කලේ” කියලා. එයාටම ආවේණික, අපි නොහිතන තාර්කික, නිර්මාණශීලී, හරි හුරුබුහුටි උත්තර එයාලා ළඟ තියෙන්න පුලුවන්. ඒවා වැරදි නම් කරුණාවෙන් නිවැරදි කරන්න පුලුවන්.
ඔයාලත් පුලුවන් හැම වෙලේම අහන්න…
“ඇයි පුතේ මෙහෙම කලේ…”
සේයාරුව අන්තර්ජාලයෙනි
– උපුටා ගැනීම: නිල්මි ගුණවර්ධන –