රන් මාලය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ මගේ අම්මා මා වැඩි වියට පත් වු දිනයේ මා ගෙල පැළදි රන් මාලයයි.එයට හරිම අපූරු ඉතිහාසයක් ඇත.මම මොන්ටිසෝරි යන කාලේ ඉදන්ම අම්මා මාසෙකට දෙකකට වරක් ගෝල්ඩන් මුදලාලිගේ කඩයට ගොස් මාලයකට සල්ලි බැන්දාය.
පොල් අතු ඉවීමෙන් ,පොල් විකිණීමෙන් අම්මා කෙසේ හෝ රුපියල් දෙතුන් සියයක් මේ සදහා ඉතුරු කර ගත්තාය.
” මයෙ කෙලීට මාල පොටකට මුදලාලි”
හැම වතාවකම අම්මා බිලෙහි ගණන් ලකුණු කර ගනියි.
” පොඩි කෙලියෙ.ඔන්න ඕක එක්කහු කරල බලහන් කීයක් තියනවද කියල.මුදලාලි කීව තව වැඩි ගානක් ගෙවන්ඩ නැහැයි කියල”
ඒ හැම වතාවකම මම ගණන් එකතු කර අම්මාට කියයි.නියමිත දිනය උදා වුණි.මගේ කොටහලු දවසයි.නහවා ගෙට ගෙන වතාවත් කළ පසු අම්මා මාලය මගේ කරට පැළදුවාය.
” අපූරුයි”
අම්මාගේ කටින් කියවුණි.මම අම්මාට හොරෙන් කීප වතාවක්ම කණ්නාඩිය ළගට ගොස් මාලය අත ගා බැලුවෙමි.මගුල් දාට පසු දාත් මාලය පැළද සිටීමට අවසර ලැබුණු අතර අම්මා එය පසුව ගලවා ගත්තාය.ඉන් පසුව එය මගේ ගෙල සැරසුවේ ගමනක් යන විට පමණි.අනෙක් සෑම දිනකම මාලයට අම්මාගේ හිස තබන කොට්ටයේ පුළුං ඇතුළට වී ඉන්නට සිදු විය.අම්මා හා මා හැරුණු කොට තාත්තාවත් මාලය තිබෙන තැන දැන සිටියේ නැත.
ඉගෙනීම් කටයුතු සමග මා ලොකු විය.අම්මා වියපත් විය.මා ගුරු පත්වීමක් ලැබ පත්වීම් ගන්නට යන පළමු දිනය උදා වුණි.
අම්මාගේ ලස්සන රෝස පැහැ වොයිල් සාරිය මාලය නිසා හැඩ වූවා කීවොත් මා නිවැරදිය.
“මම බලන් උන්නෙ අද වගෙ දවසක් එනකන් තමයි පොඩි කෙලිය”
අම්මා මගේ කරට මාලය දමන ගමන් කීවාය.එදා පටන් අම්මා මාලය ගලවන්නැයි කීවේ නැත.විසි හතර පැයේම එය ගෙලෙහි තිබුණි.බෝ පෙත්තක් ඇතුළේ තිබුණු පුංචි බෝ කොළය සහිත පෙන්ඩන්ට් එකට මම මහත් ඇලුම් කළෙමි.ඒ තුළ තිබූ රතු පාට ගල පොඩි මාමා සොයා දුන් එකකි.
කාලය ගත විය.අම්මාගේ මරණයෙන් හාර මසකට පමණ පසු පාසලේදී මගේ ගෙල බැදි මාලය ගැලවී එල්ලෙමින් තිබෙන අයුරු දුටුවෙමි.
” අනේ!” මට කියවිණි.
පෙන්ඩන්ට් එක සෑම තැනම සෙවුව ද හමු නොවුණි.ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකුත් ළමුන් කිහිප දෙනෙකුත් එය සෙවුව ද හමු නොවුණි.මට මහත් වේදනාවක් දැනුණි.පෙන්ඩන්ට් එක නැතුව මාලය කරට පාලු වගේ සිතුණි.
” කමක් නෑ.අම්මා නැති වෙලාත් හිත හදා ගත් මට පෙන්ඩන්ට් එක මොකක්ද? මාලෙ හරි තියනවනේ.මාලෙත් නැති වුණා නම් කොයි තරම් පාඩුද?”
මම මගේ යහළු ගුරුතුමියට එසේ කියද්දී ඇය එය සනාථ කරන්නට මෙන් හිස සැලුවාය.
මම ගෙදර ආවෙමි.පහුවදා නිවාඩු දවසක් බැවින් ටිකක් යහමින් නිදා ගත්තෙමි.එක් වරම මාලය සිහි වී ගෙල අත ගා බැලුවෙමි.
” දෙවියනේ! ඇත්තටම මාලය බෙල්ලේ නෑ නේද?”
මාලය බෙල්ලේ නොවුණි.මම මල්ලීට කතා කළෙමි.මාලය නැති බව පැවසූවෙමි.කාමරය පුරාම මාලය සෙවූවෙමි.
” ඊයේ හවස තේ බොද්දී මාලෙ බෙල්ලේ තිබුණා මතකයි”
මල්ලී කීවාය.
“එහෙනම් බය වෙන්න දෙයක් නෑ.ගෙදර කොහේ හරි ඇති”
ඇද උඩ,යට පමණක් නොව කොට්ට උර පවා ගලවා බැලූවෙමි.එහෙත් හමු නොවුණි.
” පොඩ්ඩක් ඉන්නවකෝ”
මල්ලී එක් වරම ජනේලෙන් එලියට පැන්නේය.
” මේ තියෙන්නේ පෙන්ඩන්ට් එක”
බිම තිබූ පෙන්ඩන්ට් එක මල්ලී මට ගෙනත් දුන්නාය.මට සතුටක් දැණුනි.එහෙත් මාලය නැති වූ දුක එසේමය.
” මල්ලි අර නෙට් එක ලෙහිලා.නෙට් එක ගැට ගහනවකෝ.”
මල්ලී ජනේලය අසලම සිටි නිසා මම මල්ලීට කීවෙමි.
මේ අක්කේ මාලේ”
නෙට් එකේ පැටලී තිබූ මාලය මල්ලී පෙන්නුවේය.
මට දැනුණු සතුට නිම් හිම් නැත.රත්තරන් වලට ලෝබ නිසා නොව ,මාලය වටා ගෙතී තිබුණ රස කතාව නිසාය.තාත්තාටත් හොරෙන් අම්මා එකතු කළ දහඩිය කදුළු වලින් එය නිර්මිත නිසාය.ඇගේ දහඩිය සුවද ඉන් හමන නිසාය.
උපුටා ගැනීම:   කේ.ස්වර්ණමාලි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!