“ආරක්ෂක අංශ වලට ඒ මනුස්සයාව හම්බවුණු වෙලාවේ එයා ඉකි ගගහ ඇඬුවා. ඒගොල්ලො එයාගෙන් ඇහුවා අඬන්නෙ ඇයි කියලා. එහෙම අහපුවහම එයා කෑගගහ අඬන්න ගත්තා.” මේ කතාව කියන්නෙ විශේෂ බලකා සෙබළෙක්.
හමුදා සෙබළෙකු හැටියට රාජකාරි කරන එක විශාල ගෞරවයක් හැටියට වර නගලා තියෙන රටක මිනිස්සුන්ට, හමුදා සෙබළෙකුගේ චිත්ත සංවේදනා වලටත් වටිනාකමක් තියෙන බව අමතක වෙනවා. මිනී ගොඩගැහුණු, කඳුළු කතා වලින් පිරුණු සටන් බිම්වල තමන්ගේ ජීවිතයම දියකරපු ඔවුන්ට ඔවුන්ගේ කතාව කියන්න කවුරුවත් ඉඩ දෙන්නෙ නෑ. ඔවුන් වේදනාව පිටකරන්න හදන හැම මොහොතකදීම “නෑ නෑ ඔයා තමයි අපේ වීරයා! ඔයා තමයි අපේ අභිමානය!” කියන රෙදි ගුලිය කටේ ඔබනවා හැර, ශරීරය තුවාල නොවුනත් මනස තුවාල වුණු රණවිරුවන්ගේ මනස සුවපත් කරන්න කවුරුවත් උනන්දු වෙන්නෙ නැහැ.
එහෙම වුනහම ඒ මානසික වේදනාව පිටවෙන්නේ වෙනත් විදිවලින්. ගුටි බැට වලින්, මිනී මැරුම් වලින්, ගිනි තැබීම් වලින්, වෙඩි තැබීම් වලින් ඒ වේදනාව පිටවෙන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ රණවිරුවෝ හරිම ශක්තිමත්. අවුරුදු 25කට වැඩි, කියාගන්න බැරි දරුණු අත්දැකීම් හංගගෙන, ඒවායින් විඳව විඳව වුනත් අපිට හිරිහැර නොකර ඉන්න ඒ රණවිරුවන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒත් ඒකම කිය කිය ඉන්න එක අපි ඔවුන්ට කරන අසාධාරණයක්. අපි ඔවුන්ට කතා කරන්න ඉඩ දෙන්න ඕන. ඔවුන් ඇත්තෙත් ලොකු වේදනාවකින්. ඔවුනුත් මිනිස්සු!
මම කියාගෙන ආපු කතාව සිදුවෙන්නේ ISIS ත්රස්තවාදීන් විසින් පාලනය කරපු, ඉරාකයේ මුස්ලිම් ජනතාවගෙන් පිරුණු මොසුල් නගරයේ. මේ ප්රදේශයේ හිටියා ටිකක් වයසක තාත්තෙක්. වයසක කෙනෙක් වුනාට ඔහුට හිටපු පිරිමි දරුවෝ දෙන්නා එච්චර ලොකු නෑ. ඒ මුස්ලිම් සංස්කෘතියේ හැටි. වයස අවුරුදු 55-60 මුස්ලිම් මහත්තුරුන්ටත් තරුණ බිරින්දෑවරු සහ පොඩි දරුවෝ ඉන්න අවස්ථා වැඩියි. ඒක වැරදියි කියන්න මට අයිතියක් නෑ. ඒක ඔවුන්ගේ නිදහස. මේකත් එහෙම අවස්ථාවක්.
රජයේ හමුදා ස්ථානගත වෙලා හිටියේ මේ ප්රදේශයෙන් ටිකක් දුරට වෙන්න. ISIS නීති රීති කියන්නේ බොහොම දරුණු නීති රීති බව අපි දන්නවා. මිනිස්සුන්ව එච්චර නීති රීති දාලා පාලනය කළයුතු නැති වුනත් ISIS නීතිය යටතේ එහෙම පාලනය වෙනවා. ඉතින් මම කලින් කියපු වයසක තාත්තට අවශ්ය වුනා ඒ දරුණු පාලනයෙන් ගැලවිලා, තමන්ගේ බිරිඳත් දරුවො දෙන්නත් අරගෙන රජයේ පාලන ප්රදේශයට යන්න.
ඒක දහවල් කාලයේදී කරන්න තරම් හැකියාවක් ඔහුට තිබුනේ නැහැ. ත්රස්තවාදී ස්නයිපර් වෙඩික්කරුවෝ නගරය පුරාම ස්ථානගත කරලා තිබුනා. නගරයෙන් පලා යන මිනිස්සුන්ට දුටු තැන වෙඩිතියන්න ඔවුන්ට අණ ලැබිලා තිබුනා. බිරිඳ සහ දරුවෝ දෙන්නා නිසාම කාලයක් ඉවසගෙන හිටියත් එක්තරා රාත්රියකදී නගරයෙන් පලා යන්න මේ තාත්තා සැලසුම් කළා.
වයස අවුරුදු 2ක සහ 4ක පිරිමි දරුවෝ දෙන්නා එක්ක බිරිඳවත් ලෑස්ති කරගත්තු මේ තාත්තා රාත්රියේ හොරෙන්ම එළියට බැස්සා. ඔවුන් එක්තරා වීදියකට අඩිය තැබුවා. අඩිය තියනකොටම සැඟවී හිටපු ස්නයිපර් වෙඩික්කරුවෙක් මේ පවුල පලා යනවා දැක්කා. ඔහු එදෙසට වෙඩි තැබුවා. ඉලක්කය සාර්ථක වුනා. අර තාත්තගේ බිරිඳ සහ දරුවන්ගේ අම්මා එතනම මියගියා.
ඉක්මණට බිරිඳගේ මළසිරුර උස්සගත්තු මේ තාත්තා තමන්ගේ දරුවෝ දෙන්නවත් එක්කරගෙන ඔහුගේ ගෙවත්තට දුවලා බිරිඳව මිහිදන් කළා. දැන් දරුවෝ දෙන්නා අඬනවා මහ සද්දෙන්. මේ විදිහට නම් එදා රෑ නගරයෙන් පැනලා යන්න විදිහක් නෑ. දරුවන්ගේ සද්දේ ඉතාම වැඩියි. අනතුරක් අතළඟ. මේ තාත්තා ඉක්මන් තීරණයක් ගත්තා. දරුවන්ට නිදිපෙති දීපු තාත්තා ඔවුන්ව නිදි කළා. දරුවො දෙන්නා නිදාගත්තා.
තමන්ගේ උරහිස් දෙකට දරුවො දෙන්නගේ ඔළු දෙක හේත්තු කරගත්තු මේ තාත්තා, ඒ දෙන්නවත් වඩාගෙන සද්ද නැතුව පලායන්න හැදුවා විතරයි, තවත් ස්නයිපර් ප්රහාරයක් ඇවිත් තමන්ගේ එක් උරහිසක් මත හිටපු දරුවෙකුගේ හිස පසාරු කරගෙන ගියා. ඔහු දරුවො දෙන්නව උස්සගෙන ආයෙත් ගෙවත්තට දිව්වා. වෙඩි කාපු දරුවා සදහටම නිදි, අනෙක් දරුවා නිදිපෙති නිසා නිදි. ඔහු දරුවෝ දෙන්නව බිමින් තබලා, එදා දවසේ හාරපු දෙවැනි මිනීවළත් හෑරුවා.
වෙව්ලමින් කලබලයෙන් හිටපු ඔහු ඉක්මණින් දරුවාව මිහිදන් කරලා ආයෙත් නගරයෙන් පලායන්න හිතුවා. නැවතිලා පලක් තිබුනේ නැහැ. කට්ට කරුවලේ කිසිවක් හරිහැටි පෙනුනෙත් නැහැ. තුන්වැනි පාරටත් නගරයෙන් පලායන්න අඩි තියපු ඔහු ඊළඟ දවසේ පාන්දර වෙද්දී රජයේ හමුදා වලට ළඟාවුනා. ඒ වෙලාවෙයි ඔහු අඬන්න පටන් ගත්තේ.
“ආරක්ෂක අංශ වලට ඒ මනුස්සයාව හම්බවුණු වෙලාවේ එයා ඉකි ගගහ ඇඬුවා. ඒගොල්ලො එයාගෙන් ඇහුවා අඬන්නෙ ඇයි කියලා. එහෙම අහපුවහම එයා කෑගගහ අඬන්න ගත්තා.” මේ කතාව කියන්නෙ ඉරාක විශේෂ බලකා සෙබළෙක්.
අසරණ තාත්තා කෑලි කපන අඳුරේ තමන්ගේ බිරිඳගේ මිනී වළට එහායින් වළදාලා තිබුනේ වෙඩි වැදුණු දරුවාගේ සිරුර නෙමෙයි. නිදියගෙන හිටපු දරුවාගේ සිරුර. ඔහු හමුදාව වෙත ඇවිත් තිබුනේ මළ දරුවාගේ සිරුර කරේ තියාගෙන.
මේ වගේ ජීවිත දහස් ගණන් අපේ රටේ යුද්ධය අතරතුරත් දකින්න ලැබෙන්න ඇති. ඒත් ඒ කතා කියන්න බැරිවෙන්න අපේ රටේ හමුදා සෙබළුන්ව යම් විදිහකින් හිරකරලා ඇති. ඒ වේදනාවල් ඔවුන්ගේ හිත් ඇතුළේ කැකෑරෙමින් ඇති. එහෙම තිබියදීත් ඔවුන් අපි වෙනුවෙන් මඳ සිනහ පා සේවය කරනවා ඇති.
දෙවැනි ලෝක යුද්ධය, කොරියානු යුද්ධය, වියට්නාම යුද්ධය, ගල්ෆ් යුද්ධය, බෝල්කන් යුද්ධය, කාශ්මීර යුද්ධය වගේ මෙකී නොකී යුද්ධ වල වීර කතා වගේම මානුෂීය කතාන්දර හැදෙන්නේ සෙබළාගේ අත්දැකීම් විස්තර කරන්න සෙබළාට ලැබෙන නිදහසත් එක්ක. ඔවුන්ගේ හිත නිදහස් වෙන්නෙත් ඒ කතා කියන්න ඉඩ දීමත් එක්ක. නරක යුධ සාහිත්යයකට නොදෙවෙනි මානුෂීය යුධ සාහිත්යයක් ලෝකෙට උපදින්නේත් ඒවා එක්ක. මිනිස්සු කිහිපදෙනෙක් හරි පාඩම් ඉගෙනගන්නෙත් ඒවා එක්ක.
ඒත් අපේ රටේ ඒ කිසිම දෙයක් නෑ. අපේ සෙබළු මානසිකව විඳින්නේ සුළුපටු වේදනාවක් වෙන්න පුළුවන්ද?
සියළු රණවිරුවන්ට උපහාර වේවා!
උපුටා ගැනීම: අසංක හදිරම්පෑල.