රස්තියාදුව (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක අපි ඒ ලෙවල් කරන කාලේ වෙච්ච සිරා සීන් එකක්. මං ඒ ලෙවල් කලේ ආර්ට්. සිංහල වලට පන්ති ගියේ රොටරියේ- සන්නගේ(උපුල් ශාන්ත සන්නස්ගල). මිනිහගේ දේශපාලනේට එච්චරම කැමති නැති උනත් පුද්ගලයා විදිහට මිනිහගෙන් ගන්න දේවල් ඕනෑ තරම්. ඒ හින්දා අපි සෙට් එකම සන්නගේ ගෝලයෝ. කොහොම හරි අවුරුද්දක් විතර යනකොට තියරි ක්ලාස් වලට අමතරව රිවිෂන් එකත් පටං ගත්තා කියමුකො. දවසක් දෙකක් යනකොට ඕක වහ කදුරු වගේ. උදේ අටේ ඉඳං හවස දෙක වෙනකං.. ටිකෙන් ටික රිවිෂන් යෑම සෙට් එකේ හැම එකෙක්ටම වගේ අරහං වෙලා තිබුනේ. ඉස්කෝලේ නොගිහිං රිවිෂන් යන්න ගෙදරින් ආවත් කොහේ හරි රස්තියාදුවක් ගහන එක තමයි ඉතිං කරන්නේ.
මෙහෙම යනකොට අපේ එකෙක් කිව්වා අද පොඩි අඩියක් ගහමු කලෙක්ෂන් එකක් දාලා කියලා. හැමෝම වගේ ඕකට ඕකේ එක දුන්නා. හිටියේ අට දෙනෙක් වගෙ. බොන සීන් එකක් හින්ද වෙන වෙලාවල් වලට ලොරි ටෝක් දාන එවුනුත් පස්ස ගැහුවා. රුපියල් දෙසීය තුන්සීය දාලා බෝතල් දෙකකටත් අනෙකුත් අවශ්ය කළමනා වලටත් ඇති වෙන විදියේ මුදලක් එකතු උනා. ඔක්කොමත් හරි දැං කොහෙන්ද බඩු ගන්නේ කියන ප්රශ්නේ ආවා. අපි 138ක එල්ලිලා මහරගමට ඇවිල්ලා එතනින් 119ක නැග්ගා. අපි දැන් බොන්න සෙට් වෙන්නේ දෙහිවල බීච් එකේ. බීච් එක කිව්වට ඒක පරණ රෙස්ටුරන්ට් එකක්. සුනාමියෙන් විනාශ වෙච්ච නටඹුන් ගොඩක් තියෙන්නේ. ඉස්කෝලෙ කාලෙන් පස්සෙත් අපි පුරුද්දක් විදියට එතන ආතල් දාන්නම ස්ථිර කරං හිටියේ. කොහොමෙන් කොහොමෙන් හරි බොරලැස්ගමුවේ ආර්පිකෝ එකෙන් ස්කොට් ඩ්රයිජින් බෝතල් දෙකකුත් අරං අපි දෙහිවල ස්ටේෂන් එක ළඟින් බැස්සා. ඩ්රයිජින් ඒ කාලේ පාසල් ළමුන් අතර ෆේමස් බ්රෑන්ඩ් එකක්. හේතුව කිසිම ගඳක් සුවඳක් නැති එක. ස්ටේෂම ළඟ තිබුන පෙට්ටි කඩේකින් බිත්තර රොටි කපාගෙන ඒකට හොදිත් දාගෙන බයිට් එකක් හදාගෙන කට්ටිය එක්කම බැස්සා රේල් පාරට. මම මේ කියන පොට් එක තියෙන්නේ රේල් පාරට බැහැලා දකුණු පැත්තට මීටර් 200ක් විතර ගියාම.
දෙන්නා තුන් දෙනා කයිය ගගහා රේල් පාර දිගේ ඉස්සරහට යනකොට ගල්කිස්ස පැත්තේ ඉඳං කෝච්චියක් එනවා. “ඕක ස්ටේෂන් එකේ නවත්තලා බං යන්නේ,එතකොට අපිට යතහැකි” කියලා එකෙක් කිව්වා. මාත් මං එක්ක දෙපැත්තේ ගිහිපි අනික් උන් දෙන්නත් ඌ කියපු එක විශ්වාස කරලා බයිලයක් ගගහා ඉස්සරහට ඇවිදගෙන ගියා. ඒත් එන්න එන්නම කෝච්චියේ සද්දේ වෙනසක් වෙන්නේ නෑ. නවත්තන පාටක් පේන්නෙත් නෑ. මේ වෙනකොට අපි ස්ටේෂන් එක පහු කරලා මීටර් 150ක් වගේ ඇවිත්. උන්ට කොච්චර විශ්වාස උනත් මගේ නම් හිත කියන්නේම මේක ඇවිත් අපිවත් යටකරං යයි කියලා.
මේක එන විදියට බේරෙන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. රේල් පාර අයිනේ තියෙන කුණු ඇලට උඩින් එහා පැත්තට පනින එක. කෝච්චිය එන්න එන්නම ලං වෙනවා මිත්රෝරුනි. සියළුම හක්තිය කකුල් දෙකට දාලා ඇල අයින දිගේ දුවං ගිහින් මං එක්ක ගිහිපු දෙන්නගෙන් එකෙක් ඈල උඩින් පැන්නා එහා පැත්තට. හානියක් නෑ.. ඒත් මං මගේ ශරීර ඉස්කම්බයත් එක්ක පනින එක අවදානම් නේ ද කියලා හිතුනත් කෝච්චියට හැප්පිලා මැරෙනවට වැඩිය කුණු ඇලේ වැටෙන එක හොඳයි කියලා හිතලා මාත් පුල් ඩම් එක දාලා පැන්නා කියාංකො. බුදුසරණයි සහෝදරවරුණි අකුලකුත් කඩාගෙන මම වැල්ලේ ගේක මිදුලකට පත බෑ උනා.. අපේ සෙට් එකේ අනික පේන්න නෑ. ඌ කෝච්චිය එක්කම දුවනවා. අපි දැං සීන් එක බලාගෙන. දැං වදියි දැං වදියි කියලා බලාගෙන හිටියා. අපිට වෙන කරන්න දේකුත් නෑ. අශ්ව බල බර ගානක ස්පීඩ් එකෙන් එන කෝව්චියක් එක්ක දුවන්න ඌටත් බෑ.
ප්රශ්න කෝටියකට උත්තර නැති කරගෙන මූව වැදුනා කියපංකො කෝච්චියේ. වට දෙකක් විතර උඩ කැරකිලා වැල්ලට වීසි උනා. මගේ ඔළුවට එක එක විකාර දැං ගලාගෙන එනවා. මේවා මීඩියා වලත් යයි. ඉස්කෝලේ නම යයි. අනික උගේ බෑග් එකේ අරක්කු බෝතල් දෙකත්.. අම්මට සිරි වෙන වැඩක්නේ උනේ කියාගෙන කෝච්චියත් ගියා. අරුත් වැටිච්ච විදියටම ඉන්නවා.අහළ පහළ ගෙවල් වල.මිනිස්සුත් සීන් එක බලාගෙන. තැන තැන කතාවෙනවා “පන්ති යන කොල්ලෙක් වෙන්න ඇති” කියලා. තව තැනක් කතා වෙනවා “මෙයා එක්ක තව කට්ටියක් ආවා නේද..?” කියලා. අන්න එතකොට පොඩි චූ බරක් වගේ එකකුත් ආවා. මෙතනින් එහාට කරන්න තියෙන්නේ මොනවද කියලා දස අතේ කල්පනා කරද්දි අර කෝච්චියේ හැප්පුණ එකා එක පාරටම නැගිටලා බෑග් එකත් ඉස්සරහට කරකවගෙන බිම ඉඳගත්තා. දඩ බඩ ගාලා බැග් එක ඇරලා අත් දෙකට බෝතල් දෙක අරගෙන
” ඒ මචං…, බිඳිලා නෑ.. දෙකම ඕකේ…” කිව්වා..
අපි ඌව දැක්කේ නෑ වගේ වැල්ල පැත්තට බැහැලා අනිත් උන් සෙට් වෙලා හිටපු තැනට ආවා. ඌට හීරීමක්වත් නෑ.. උගේ වාසනාව වගේම අපේ අවාසනාව.. එදා මූ මළානම් මේ පාප මිත්ර සේවනය සදහටම නවත්තනවා… කොහෙද ඉතිං.. අදටත් උං අපි – ඒ වගේම තමයි..!!!
උපුටා ගැනීම:  Thisara Mihijaya Bulegoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!