ඒ එක්තරා පෙබරවාරියක අග්ගිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවරයි. ඒ වෙද්දී හේමන්තයේදි නිද්රෝපගතවූ වෘක්ෂලතාවෝ වසන්තය පිලිගන්නට මාන බලමින් මාස කිහිපයක් පුරා දැරූ අඳුරු කළු අලු පැහැ පලවා හරිමින් ලා හරිත පැහැයන් තවරාගෙන සංක්රාන්ති සමයක සිටි සෙයකි. එනමුදු සිරුරු ගල් කරන්නාවූද, තෙතබරිත කරන්නාවූද, මහා හිමවරුසා ඔනෑම මොහොතක බලාපොරොත්තු වියයුතුය.
මෙන්න මෙදා මා සිටියේ රාජකාරි කිහිපයක් මැද ආ විවේකී දිනයේ නගරසිරි නැරඹ්මට ඉසුබුවක් ලද ප්රීතියෙන් ඔකඳ වෙමිනි. කාලගුණ අනාවැකි අනුව පසුදා වොෂින්ටනයට ප්රචන්ඩ හිම වරුසාවකි. එවන් දිනවල ගමන් බිමන් , සාප්පු සවාරි , සාද සුම්මාය. එනිසා නටන නැටුමක් අදම , රාජකාරි විවේකී දිනයේදී නටාගත යුතුව තිබිණි.
ඇමෙරිකාවේ ඉතිහාස කථාව හරි කෙටිය. එනමුදු තමන් සතු ඒ කෙටි ඉතිහාසය රැක ගැනීම සඳහා ඇමරිකානුවෝ ඉමහත් කැපවීමක් කරති. ලොව වැඩිම කෞතුකාගාර හා කලාගාර ගණනක් ඇත්තේද ඇමරිකාවේය.
රතු ඉන්දියානුවන් නමැති ස්‌වදේශික ප්රජාවගේ ඉඩම් බලෙන් අල්ලාගෙන, බ්රිතාන්යයෙන් පැමිණි සුද්දන් විසින් ඇමරිකාව ගොඩ නංවනු ලැබීම පිළිබඳ ඉතිහාස කතාව ඉපැරණි සාක්ෂි සහිතව තම කෞතුකාගාර සහ කලාගාරවල සුරක්ෂිත ලෙස සංරක්ෂණය කර ඇති ඔව්හු සමාජයේ දෘශ්යමාන උරැමයන් රැක ගැනීම, පර්යේෂණ මගින් එම උරැමයන් පිළිබද දැණුම වැඩීම, විශේෂ ප්රදර්ශන මගින් අධ්යාපනය සහ අවබෝධය ලබා දීම, නරඹන්නන්ට විනෝදාස්වාදය ලබා දීම, කුතු හලය දනවන, දුර්ලභ හෝ අද්භූතදෑ එක් රැස් කිරීම හා ඒවා ප්රදර්ශනය කිරීම ඉතාමත් ක්රමානුකූලව සිදු කරයි.
මට ඕනෑ වී තිබුණේ එවන් ලෝක පුජිත ඇමරිකානු කෞතුකාගාර අතරින් වොෂින්ටන් නගරයේ පිහිටා ඇති ස්වභාවික ඉතිහාසය පිළිබඳ ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරය කරා යන්නටය. එහි ඇති අපේ ශ්රීලාංකික මාතෘ භූමියෙන් සොයාගත් බව සඳහන් මිණිකැට වල චායාරූ ලබා ගන්නටය. මොන මංගල්ලයක් වුණත් තනියෙන් නැරඹුවාට වැඩක් නැති නිසා ඒ එක් කරගත් කතාන්තර කාට හෝ කියන්නටය.
ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරය යනුඅති දැවන්ත ගොඩ නැගිලි සංකීර්ණයකි. නත්තල් දින හැරුණු විට වසරේ සෑම දිනක ම උදෑසන 10 සිට සවස 5.30 දක්වා මහජන ප්රදර්ශනය සඳහා නොමිලේ විවෘත මෙය සෑම විටම ලෝ සතර කොනින් එන්නාවූ නරඹන්නන් ගෙන් ගැලරි පිරී යනු ලබයි.
වසර බිලියන ගණනක් පුරා පෘථිවියේ සහ සත්ත්වයින්ගේ පරිණාමය සිදු වූ ආකාරය මැනවින් විදහා දක්වන ස්වභාවික ඉතිහාසය පිළිබඳ දහස් ගණන් වූ නිදර්ශකද පොලෝ කුහරයේ මධ්යයේ සිට සුර්ය ග්රහ මණ්ඩලය දක්වා අසිරිය නේක මාදිලියෙන් නරඹන්නටද, ප්රතිනිර්මාණය කරන ලද හෝමෝ නියැන්ඩර්තාල් මානවයින්, පිරමීඩවලින් හමු වූ බළලුන්ගේ මමී, සජීවී කොරල් පරයක් දුර්ලභ නිල් පැහැයකින් යුක්ත හෝප් දියමන්තිය, වැනි සුවිශේෂී ප්රදර්ශන භාණ්ඩ රැසක් ම දැක ගැනීමට හැකියාව ලැබෙන මෙහි ඇති නිදර්ශක ප්රමාණය මිලියන 126 කි අධිකය . ඒවාට සත්ත්ව, ශාක, ඛනිජ පාෂාණ , ෆොසිල, උල්කා ග්රාහක වස්තු, මනු සිරුරු කොටස් ආදිය ඇතුලත්ය. දින ගනනාවක් කැරකුණොත් සාර සුබාවට කරුණු එක් කරගත හැක.
ශ්රී ලාංකික අපිට බොහෝම ආඩම්බර විය හැකි ස්ථානයක් මෙම කෞතුකාගාරයේ එක අංශයක වේ. ඒ භූ විද්යා මැණික් හා පාෂාණ සඳහා වූ Janet Annenberg Hooker ශාලාවයි. මේ ශාලාව තුල නෙත් සිත් වශීකෘත කරන්නාවූ දේදුනු වර්ණ පාෂාණ වර්ගද ලොව මිල කල නොහැකි මැණික් , දියමන්ති ආභරණ ප්රදර්ශනයට තබා ඇති අතර ඒ අතර ලෝකප්රසිද්ධ හෝප් දියමන්තියද ස්ටාර් ඔෆ් ඒෂියා සෆායර් ද වේ මෙය ලොව විශාලතම සෆායර් වලින් එකකි . මෙහි මැණික් නිදර්ශක 15000 ක් ද , ඛණිජ නිදර්ශක 350000 තවත් 300000 අධික පාෂාණ හා ලෝපස් ද නිදර්ශකද 35000 ක් වූ උල්කාශම නිදර්ශක ද ඇත.
ඒ අතුරින් මෙහි ප්රදර්ශනයට තබා ඇති ශ්රී ලාංකික මැණික් නිදර්ශක සංක්යාව විශාලය . එයට ස්ටාර් ඔෆ් බොම්බේ නමින් හඳුන්වන නමුත් ලංකාවෙන් සොයාගත් ස්ටාර් වර්ගයේ නිල මැණිකද ඇතුලත්ය. ලොව මෙතෙක් සොයාගත් කපා නිමකළ විශාලතම පළමු, දෙවන , තෙවන නිල් මැණික් තුනම ලැබී ඇත්තේ ශ්රී ලංකාවෙන්ය .ඉන් දෙවැනි විශාලතමයා වන Logan Sapphire මෙම ශාලාවේ සාඩම්බරයෙන් තැන්පත් කර තිබේ. එය දිදුලන කාන්ති විහිදෙන නිකැළැල් ඉන්ද්ර නීල මාණික්යයකි. බරින් කැරට් 423 වන අතර රන් හා රිදියෙන් කල පළඳනාවක එබ්බවී සිටින්නී තවත් අනගි දියමන්ති 20 ක් සමගින් .මෙය ආභරණයක් ලෙසට ගත කල මේ කෞතුකාගාර එකතුවේ විශාලතමයා ලෙසට සැලකේ.
මේ මැණික පිලිබඳ අපූරු පුරාවෘතයකි. මෙය ලැබී ඇත්තේ 1950 පෙර රත්නපුර ප්රදේශයෙන් බව වාර්තා වල සදහන්ය . කපා නිමකළ පසු බොම්බායේ දී බ්රිතාන්ය ජාතික සාමිවරයෙක් වෙත අලෙවි කල බවත් පසුව යුරෝපයේදී අතින් අතට ගිය මැණික අවසානයේදී ඇමෙරිකානු ධන කුවේරයකු මෙන්ම ඇමෙරිකානු හමුදාවේ කර්නල් වරයෙක් හා පෘතුගාලයේ ඇමෙරිකානු තානාපති (1953-54) සේවය කල කර්නල් Meyer Robert Guggenheim අතට පත් වී ඇත. ඔවුන් පාරම්පරික ඇමරිකානු ධන කුවේරයන් වූ අතර ඔහුගේ මුත්තණුවන් 19 වන ශත වර්ෂයේ ඇමරිකාවේ විසු ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙක්වී. ඔවුන් පතල් කැණීම් , යපස් හා ලෝහ කැණීම් කර්මාන්ත වල නියලුනාවූ පිරිසක් බවට සදහන් වේ.
කර්නල් Meyer Robert Guggenheim 1952 දී ඔහුගේ ප්රිය බිරිඳ වූ Rebecca Polly Pollard Guggenheim මැතිණියට මේ මිලකළ නොහැකි පළඳනාව පිරිනමන්නේ නත්තල් ත්යාගයක් ලෙසටයි. අන්න මහත්තැන් ලා. මෙකල ඔවුන් වොෂින්ටනයේ විසු අතර දෙස් විදෙස් ප්රභූන් ඇසුරු කල බවත්, කලා, සංස්කෘතික හා සාමාජිය කටයුතු වලදී නොමද සහයක් දුන් බවත්, ඇමරිකාවේ බොහෝකෞතුකාගාරයන් හි තත්වය ඉහල නැංවීමට අරමුදල් දොඩ නැංවීමට සක්රියව සහය දුන් බව සඳහන්.
ඔවුන් ස්මිත්සෝනියන් ආයතනයත් සමග තිබු දිගුකාලින සම්බන්දතාවය අනුව සිය සැමියාගේ මරණය සිදුවූ 1959 වසරට පසු වසරේම Rebecca Polly Pollard Guggenheim මැතිණිය මේ මිලකළ නොහැකි අබරණය කෞතුකාගාරයට පරිත්යාග කරන්නේ මෙවන් ලෝකප්රකට බොහෝ මුතු මැණික් දියමන්ති ආබරණ සමග බැඳී එන්නාවූ කථා වැනිම තවත් අනුවේදනීය කතාවකට අනුවයි.
එනම් ඇගේ සැමියා වූ කර්නල් වරයා දන්නදා පටන් අන්ත සල්ලාලයෙක් වී සිටියේලු. ඔහුගේ මරණින් පසු ඒ වැන්දඹු කාන්තාවට උවමනා වී ඇත්තේ මේ අනර්ඝ පලදනාවෙන් අත් මිදෙන්නටයි. එනිසා ඇය මෙය ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයට පිරිනැමීමට කටයුතු යෙදුවාය. මේ සවන් ඇදහිය නොහැකි පරිත්යාගය පිලිබඳ වතාවක් ඇගේ බොහෝ සමීප මිතුරෙකු වූ කෞතුකාගාරය පාෂාණ අංශයේ එවකට පරිපාලක ධුරය දැරූ Jeffrey E. Post, විමසා සිටි අවස්ථාවේ ඈ පවසා තිබුණේ මේ පළඳනාව දකින වාරයක් පාසා තමන්ට වංචා කල, බොරු කල සල්ලාල සැමියා සිහිපත් වන බවත් මුළු ලෝකයක් වටින්නේවී නමුත් ඉන් තමන්ට පලක් නොවන බවත්ය .
පසුව ඈ John A. Logan සමග විවාහ වන අතර ඔබට මේ චායාරූ වලින් පෙනෙන ලෙසට මාණික්ය යේ සඳහන් වන්නේ John A. Logan මහත්මියගේ පරිත්යාගයක් බවත් මාණික්ය යේ නමද Logan Sapphire බවත් ය. ඒ කොතැනකවත් ඇයට මේ ත්යාගය ලබා දුන් මියගිය Guggenheim නමක් සඳහන් වන්නේ නැත .එසේ කිරීමෙන් ඇයට තම සල්ලාල සැමියාට රිදවීම ගැන ප්රීති වුණාදැයි කීමට නොහැක.
කෙසේ නමුත් දැන් මේ පළඳනාව තවත් එවැනිම ඓතිහාසික කතාන්තර කැටිකොට ගත් Bismarck Sapphire Necklace හා The Hall Sapphire and Diamond Necklace, සමග එකට කැබිනෙට්ටුවක විරාජමානව බබලමින් සිටින්නීය . සහතිකවම මෙවන් ස්වභාව ධර්මයේ අග්රගණ්ය නිමැවුම් තිබිය යුත්තේ සණ්ඩු සරුවල්, කඳුළු විලාප, ඛේදවාචකයන් ගෙන් පිරුණු මන්දිර වල හෝ අතිශයින් පුද්ගලික අඳුරු සේප්පු තුලවත් නොව මෙවන් සියල් ලෝවැසි ජනයාට නැරඹීමෙන් සන්තුශ්ටියට පත්විය හැකි හැකි නමුත් ආරක්ෂාකාරී නිවස්න වල බවට නම් විවාදයක් නොමැත. ඒ අනුව ඒවා ලොව හොඳම තෙනක ඉන්නාවග කිවමනාය.




උපුටා ගැනීම: Bhadhra Piyadigama Koswatte