රත්රන් වලටත් වඩා වටින කඩොලාන (පරිසරය හා ස්වභාධර්මය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වර්තමානය වෙද්දී වඩාත්ම කතාබහට ලක්විය යුතු කාලෝචිත ප්‍රස්තුතයක් විදියට කඩොලාන පරිසර පද්ධතිය හඳුන්වන්නට පුළුවන්.ඒ දිනෙන් දින වනාන්තරවලට වන හානිය වගේම කඩොලාන පද්ධතියටත් උරුම වී ඇති ඛේදනීය ඉරණම නිසා. සාමාන්‍යයෙන් ලෝකයේ බුද්ධිමත්ම සත්ත්වයා විදියට සලකන්නේ මිනිසා. නමුත් අද වෙද්දි ඒ බුද්ධිමත්ම මානවයා විසින් පරිසරයට කරන කෙනෙහිලිකම් මෙතෙකැයි කියන්නට බැහැ. අපි පරිසරයේ කොටස්කරුවන් වූ පලියට පරිසරය විනාශ කරන්නට අපිට අයිතියක් නැහැ. නමුත් කියන්නට කණගාටුයි, අද පරිසරයේ ජෛව විවිධත්වය රැක ගන්නට ශාක හා සත්ත්ව ප්‍රජාවේ පැවැත්මට විශාල සේවයක් ඉටු කරන කඩොලාන පරිසර පද්ධතියට හිමිවෙලා තියෙන ඉරණම ගැන. ඉතින් මේ කතා කරන්නට සුදුසුම කාලයයි . ඇයි අපේ පැවැත්මට කඩොලාන වැදගත් වෙන්නේ. ඉතින් මේ ලිපිය වෙන් වන්නේ රැකගත යුතු, කඩොලාන ශාකවල වැදගත්කම ගැන ඔබට නැවත මතක් කර දෙන්නට.

කඩොලාන පද්ධතියක් යනු 

කඩොලාන පද්ධතියක් කියන්නේ ඉතාම සංකීර්ණ පරිසර ව්‍යුහයක්. විශේෂයෙන්ම සඳහන් කළොත් කලපු වගේම වෙරළාශ්‍රිත පරිසර පද්ධතීන් රැක ගැනීමේ දැවැන්තම කාර්යබාරයක් ඉටුකරන ස්වාභාවික සම්පතක්. ඒ වගේම කඩොලාන පද්ධති සැමතැනකම දකින්නට ලැබෙන්නෙත් නැහැ. උදම් කලාපීය ජලයෙන් යටවෙන සීමාව තුළ හැදෙන ශාක කඩොලාන ශාක. කඩොලාන නිර්මාණය වෙන්නේ විශේෂ පරිසරයක. ඒ වගේම ඒ පද්ධතිය හිතුමතේට වෙනස් කරන්නට ගියොත් ජෛව විවිධත්වයට විතරක් නොවෙයි ඒ පරිසරයේ ඇති භෞතික තත්ත්වයනුත් වෙනස් වීමට ලක්වෙනවා.

නිෂ්පාදන හැකියාව අතින් වැඩි පරිසර පද්ධතියක් කඩොලාන කියන්නේ.ඒ පද්ධතිය නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණය වැඩියි. මේ නිෂ්පාදනය කරන ආහාර මත යැපෙන විශාල සත්ත්ව සංහතියක් සිටිනවා. විශේෂයෙන්ම කකුළුවන්ට, මත්ස්‍යයන්ට ආහාර වගේම වාසස්ථාන විදියටත්, බිත්තර දමන්නට සුරක්ෂිත ස්ථාන විදියටත් කඩොලාන පරිසරය සතුන්ට වැදගත්. ඒ වගේම මෙහි ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණයත් වැඩියි. ඒවා මත යැපෙන අනික් සත්ත්ව සන්තතියත් වැඩියි. ඒ නිසාම පහසුවෙන් ආහාර සොයා ගන්නටත් හැකියි.

කඩොලාන ශාක පද්ධතියේ ව්‍යාප්තිය 

ලෝකය පුරාම හෙක්ටයාර් මිලියන 18 කට ආසන්න කඩොලාන පරිසර පද්ධතීන් විසිරී ඇත්තේ රටවල් 103 ක වගේ ප්‍රමාණයක. ඒ උතුරු අක්ෂාංශ 32 ත්, දකුණු අක්ෂාංශ 38 ත් අතර පිහිටි රටවල. ඒ අතුරින් සංවර්ධිත රටවල් 19 ක් සහ එයින් 41 % ක් ආසියාතික රටවල ව්‍යාප්ත වී තියෙනවා. ඉතින් ලෝකයේම කඩොලාන ව්‍යාප්තව පවතින්නේ මුළු භූමි ප්‍රමාණයෙන් 4% ක ප්‍රමාණයක පමණයි.

කඩොලාන ශාක ප්‍රධාන වශයෙන් සත්‍ය කඩොලාන සහ ආශ්‍රිත කඩොලාන විදියට කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. සත්‍ය කඩොලානවලට වැවෙන්නට පුළුවන් වෙන්නේ අන්තර් උදම් කලාපයේ පමණයි. තවදුරටත් පැහැදිලි කළොත් සම්පූර්ණ කඩොලාන පරිසර පද්ධතියේ පමණක් දක්නට ලැබෙන තනි විශේෂයක් වශයෙන් වර්ධනය වීමේ හැකියාවක් සහිත කඩොලාන විශේෂ. මල් කඩොල්, හීන් කඩොල්, මට්ටි කඩොල් ,කිරල, මඩගස්, සහ මණ්ඩ ඒවාට නිදසුන් වෙනවා.

නමුත් ආශ්‍රිත කඩොලානවලට සාමාන්‍ය ලවණතාවය අඩු වගුරුවලත් වැවෙන්නට හැකියාව පවතිනවා. කැරැන්කොකු ,කටු ඉකිලි සහ ඇටුන වගේ කඩොලාන විශේෂ මේ සඳහා උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. ලෝකය පුරාම පවතින සත්‍ය කඩොලාන විශේෂ 54 න් ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන්නේ කඩොලාන විශේෂ 26 ක ප්‍රමාණයක්. එයින් 14 ක් සත්‍ය කඩොලාන වන අතර ආශ්‍රිත කඩොලාන 12 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර් 125 00ක් පමණ වන අතර වඩා විශාල ලෙස පැතිරී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය කලාප ආශ්‍රිතවයි. ඊට අමතරව ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන දිග ප්‍රදේශවල කලපු ආශ්‍රිතවත් මඩකලපුව,මාදු ගඟ, කෝකිලායි, රැකව , බූන්දල, කලමැටිය, ත්‍රිකුණාමලය,නයාරු, තොණ්ඩමන් ආරු, වෙඩි තලතිව් ආදී ප්‍රදේශවලත් බහුල ලෙස ව්‍යාප්තව පවතිනවා. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කලපු සහ මෝය ආශ්‍රිතව මහ කඩොල්, මල් කඩොල්, රතු කඩොල්, මණ්ඩා, බෑරිය, තෙල, කටු ඉකිලිය, ගිංපොල්  ආදී කඩොලාන ශාක 23 ක් පමණ දැනට දකින්නට ලැබෙනවා.

කඩොලාන පද්ධතිය ඉටු කරන මෙහෙයන් 

කලපු සහ මෝය පරිසර පද්ධතියේ පවතින ජල දූෂණය අවම කරමින් වෙරළබඩ කළාපයේ නිරන්තරයෙන් සිදුවන පාරිසරික වෙනස්වීම් දරා ගනිමින් හරිත පවුරක් සේ ක්‍රියා කිරීම .වායුගෝලීය කාබන් අවශෝෂණය සහ තැන්පත් කිරීම

මේ ක්‍රියාවලිය කඩොලාන ශාකයක් විසින් සිදුකරන ඉතාම වැදගත් මෙහෙයක් ලෙසට සැලකිය හැකියි. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන මොවුන් එවා පත්‍ර, කඳ, සහ මුල්වල තැන්පත් කර ගනු ලබනවා. ශාකය මියගොස් වැටෙද්දි තමන් විසින් අවශෝෂණය කරගත් කාබන් ද ඒ ශාකය රැගෙන යාම විශේෂයි.

ධීවර කර්මාන්තයේ වර්ධනයට-මත්ස්‍ය උගුල්, මස් අතු, මත්ස්‍ය ගාල් සැකසීමට , මාළු දැල් සහ රුවල් ඩයි කිරීමට අවශ්‍ය ටැනීන් වර්ග ලබා ගන්නට කඩොලාන මහත් සේ උපකාරී කරගනු ලබනවා.

කලපු හා මෝය පරිසර පද්ධතිය ඛාදනය වළක්වා ගැනීමට – මේ ශාක සතු කයිරු මුල් ඉතා හොඳින් පස සමඟ  බැඳී පවතින නිසාවෙන් පස ආවරණය වීමත් මුහුදු රළ පස සමඟ ගැටීම වැළකී මුහුදු ඛාදනයෙන් ආරක්ෂා කිරීමට ඉතා වැදගත්. 2004 වසරේ ලංකාවට තදින්ම බලපෑ සුනාමියෙන් අඩුම හානියක් සිදුවුණේ වෙරළ කලාපයේ කඩොලාන ශාකවලින් ආවරණය වුණු ප්‍රදේශවලට වීම එයට කදිම නිදසුනයි.

ස්වාභාවික ආපදා කළමණාකරණයට වැදගත්වීම-මුහුදට සහ ගං මෝයට එක්වන රොන් මඩ, බැර ලෝහ ආදී ද්‍රව්‍ය පෙරනයක් ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන්ම මුහුදේ සිට එන වේගවත් සුළං පළමුව කඩොලාන ශාකවල වැදීමෙන් රට තුළට එද්දී සුළගේ වේගය අඩු කරන්නේ කඩොලාන ශාක මගින්.

විශාල ආහාර දාමයක ආරම්භකයා වීම – බොහෝ මුහුදු ජීවීන්ට ආහාර සපයන ආහාර ගබඩාවක් වීම. සාමාන්‍යයෙන් කඩොලාන වැස්ම අඩුව යද්දී අවට මුහුදේ හෝ කලපුවේ මත්ස්‍ය අස්වැන්න අඩුවන බවට සොයා ගෙන තිබෙන අතර වැනසී යන එක් කඩොලාන හෙක්ටයාරයකට අවට මුහුදෙන් ලබාගත හැකි මත්ස්‍ය අස්වැන්න වසරකට කිලෝග්රෑම් 480 කින් අඩු වන බවට ගණන් බලා ඇත.

  • කැරැන්කොකු ලෙස හැඳින්වෙන මී වන වර්ගයට අයත් කඩොලාන ශාකයේ දළු ඉතා ජනප්‍රිය මැල්ලුමක් ලෙස ආහාරයට ගත හැකිවීම , කිරල පළතුරක් විදියටත්, මල් කඩොලාන හා කටු ඉකිලිය  ඖෂධයක් ලෙසත් වැදගත්
  • ගිං පොල් ශාකයේ අතුවලින් පැදුරු වට්ටි පෙට්ටි සෑදීමටත්, ගොන් කඳුරු ශාකයේ කඳ වෙස් මුහුණු කැපීමටත් භාවිතා කළ හැකිවීම
  • ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, ජාන සම්පත් රකින්නට, සංචාරක පක්ෂීන් නිරීක්ෂණයට ආදී කාරණා සඳහාත් විශාල මෙහෙයක් මේ පරිසර පද්ධතිය ඉටුකර දෙනවා.

කඩොලාන පද්ධතිය විනාශ වන හේතු 

අනෙක් සෑම ස්වාභාවික සම්පතක් විනාශ කරන්නා සේ කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීමේ වගකීමත් භාරගත යුතු වෙන්නේ මිනිසාමයි. අධි පරිභෝජනයත්, කඩොලානවල වැදගත්කම ගැන නිසි අවබෝධයක් නැතිවීමත් නිසා අද වනවිට ඉතාමත් අවාසනාවන්ත විදියට කඩොලාන පරිසර පද්ධතිය මිනිසා විසින් විනාශ කරමින් පවතිනවා.පරිසර විශේෂඥයන් අනාවැකි පළකර ඇති විදියට ඉදිරි වසර 100 තුළදී කඩොලාන ශාක පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වනවා. ඒ සඳහා බලපාන මිනිස් කටයුතු.

  • කඩොලාන පරිසරයේ බිම් කෘෂි බිම් බවට පරිවර්තනය කිරීම
  • වගුරු ගොඩකර නිවාස සහ හොටෙල් ආදී වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම
  • දැව සහ දර සඳහා පාලනයකින් තොරව කඩොලාන කැපීම
  • ලුණු කර්මාන්තයට හා සත්ත්ව අභිජනනය සඳහා  කඩොලාන බිම් යොදා ගැනීම
  • කර්මාන්තශාලාවලින් ඉවතලන කැළි කසල කඩොලාන බිම්වලට මුදා හැරීම
  • අපද්‍රව්‍ය සහිත ජලය කඩොලාන ජලයට එකතු කිරීම
  • කඩොලාන ආශ්‍රිත කලපුවල වැලිගොඩ දැමීම

කඩොලාන ශාක පද්ධතිය රැක ගැනීමට කළ හැකි දේ 

  • කඩොලාන ශාකවලට සහ එහි ජෛව විවිධත්වයට හානි සිදු නොවන ආකාරයෙන් කඩොලාන ශාකවලින් ප්‍රයෝජන ගැනීම
  • කඩොලාන නැවත වගා කිරීම
  • පාසල් අධ්‍යාපනය තුළින් පවා කඩොලාන ශාකවල ඇති වැදගත්කම වටහාදීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • කඩොලාන විනාශ කරන්නන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට බළධාරීන් කටයුතු කිරීම

ඉතින් ස්වභාවදහමේ අපූරු දායාදයක් වන , උරගයන්, මත්ස්‍යයන් දේශීය සහ සංචාරක පක්ෂීන්ගේ වාසස්ථානයක් වශයෙන් ද, ශුෂ්ක පරිසර තත්ත්වයන් හමුවේ ජීවීන් අනුවර්තනය වී වර්ගයා ඉදිරියට ගෙන යන ස්වාභාවික විද්‍යාගාරයක් ලෙසටත්, මේ කඩොලාන පරිසර පද්ධතියේ වටිනාකම කියා නිම කරන්නට බැහැ. නමුත් අද එය නිකම්ම නිකම් වගුරු බිමක් ලෙස සලකා සිදුකරන කඩොලාන විනාශය සැබැවින්ම කණගාටුදායකයි. දිනෙන් දින මියැදෙන මේ වටිනා ශාක පද්ධතිය රැක ගන්නට බලධාරින් දැඩිව අවධානය යොමු කළ යුතු කාළය එළඹි තිබේ.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!