කොලුවෝ ඔය බොඩිය ඇතුළට දාලා දොරවල් වහලා දාපන්..අද හරි මහන්සියි..සල්ලි වගේ නෙවෙයි දවසකට කරන්න ඇහැකි සීමාවක් තියෙනවනේ..
හොඳයි රතු මහත්තයා..
උඹ බොනවද ?
ඉස්කෝලේ යන කාලේ නම් ඉස්කෝලෙන් පැනපු දවසක ගල් කාලක් ගහලා තියෙනවා රතු මහත්තයා..
උඹ තනියම ? උඹ අමර පුතෙක්නේ බං..
හා..හා.. එහෙනම් ඔන්න ඔහෙන් ඈඳි ගනින්..මේ රස්සාව කරන්න නම් පොඩියට දෙක තුනක් ගන්නම ඕන.. උඹ අලුත් නිසා උඹට ටිකක් අමුතු ඇති.. ටික දවසක් යනකොට ඇරිලා යයි..මම උඹට මේ සිල්පෙ දෙන්නේ මට පුතෙක් නැති නිසා..මේවා කෙල්ලෝ කරන රස්සා නෙවෙයිනේ බං..
රතු මහත්තයා කොහොමෙයි මේ රස්සාවට පුරුදු පුහුණු වුණේ ?
මගේ අප්පොච්චත් මේකම තමයි කොරේ..උන්දැට උඹ වගේ ගෝලයෝ හිටියේ නෑ.. එක පාර බොඩි දෙක තුන ආවත් අපේ අප්පොච්චා වැඩේ කොරනවා ආයේ තිතට..මේ අහල ගං හතේ එක මල් ශාලාවක එකෙක් නෑ අපේ අප්පොච්චා වගේ ඉස්තරම් විධියට මිනී වැඩ කරන..පණ පිහිටුවනවා වගේ බොලව්…පණ පිහිටුවනවා වගේ..මැරිච්ච එකා ජීවත් වෙලා උන්නට වඩා හැඩයි..
රතු මහත්තයා මේකට ආව විධිය කිව්වේ නෑනේ ඉතිං ?
යමක් කමක් තේරෙන සන්ධියේ ඉඳලා මාත් එනවා නිතරම වගේ තාත්තගේ වැඩ බලන්න.. අම්මා නම් වැඩි මනාපයක් නෑ.. කෝ ඔය සෝඩා බෝතලේ ගනින්..
( අශෝක වීදුරුවේ මැද කට්ටයට අරක්කු දමාගෙන ඊට සෝඩා ඇබිත්තක් වක් කරගත් රතු මහත්තයා එක උගුරට එය ගිල දැම්මේය.. එය දුටු ජිනසේනගේ මුහුණ ඇඹුල් විය. )
හැමදාම මහත්තයා ඔහොම බොනවද ?
නැතුව කොහොමද බං ? රෑ දෙගොඩහරියක් වෙනකම් තනියම මීනී එක්ක ඔට්ටු වෙනකොට..
මේ වෙනකොට මිනී කීයක් විතර කපලා තියෙනවද රතු මහත්තයා ?
හ් හ් හා…විසි තිස් දාහක් කපලා ඇති බං..
දෙයි හාමුදුරුවනේ…එච්චර ?
යකෝ මං දැන් අවුරුදු විසි එකක් මේ රස්සාවේ..අප්පොච්චා නැතිවෙනකොට මට වයස දාහතරයි..
හ්ම්ම්ම්..
ඔන්න ඔය කුම්බලාවෝ කෑල්ල ගනින් මෙහෙට.. ඉක්මන් කරපන් මගෙ කෙල්ල නිදියන්න ඉස්සෙල්ලා යන්න ඕන ගෙදරට.. දවස් දෙකකින් කෙල්ලගේ මූණ දැක්කේ නෑ.. හෙට උදේ මං උඹට මේ කර්මාන්තෙ දේවල් ඩිංඟක් කියලා දෙන්නම්.. ඔන්න මං අන්තිම එක ගත්තා එහෙනම්.. මේ ටික උඹ දා ගනින්..ඉඳා..
රතු මහත්තයා අපි දෙන්නා එක්කාසු වෙලා තුන් කාලක් ගැහුවා නොවැ මේ ඩිංඟට..( ජිනසේන මහත් ආඩම්බරෙන් කීවේය. )
ඔය මොකද්ද බං..මගේ දරුවගේ වයසේ වගේ බොඩි ආවම මම බෝතලේ තනියම ගහලා තියෙනවා..
අම්මපා කියන්න රතු මහත්තයා..!
අර මක්කටෙයි මං උඹට කෙබර දොඩන්නේ..? මගේ අම්මාපල්ල.. හරි වේදනයි බං හිතට..මාස හත අටේ ඒවත් එනවා..
අනේ අපොයි !
චුට්ටි කෝ ? නිදිද ?
ඔයා එනකම් මග බලන් ඉඳලා ඔන්න පුටුවෙම නින්ද ගියා.. දුවට ටිකක් සනීප මදි වගේ..උණ අරගෙන මයෙ හිතේ..ඇඟ ගින්දර වගේ..ඒ පාර මං ගොහින් ඇඳෙන් තිබ්බා..
ඒ මොකෝ අර හිටි හැටියේ ? කෙල්ල කෑවද ?
මොන..කටේ තිබ්බේ නෑ.. අප්පච්චි ආවම කන්නම් කියලා උන්නා..
ගිණි මැලේට වගේ උණ අරංනේ දෙයියනේ.. හෙට උදෙන්ම ඩිස්පැන්සරියට එක්කගෙන යං..
ඒක තමයි මාත් බැලුවේ.. කොහෙද මේ වටේ ඉන්න හැත්තගේ ඇස් වහ වැදිලම තමයි.. ඕං මේ පාරත් විභාගෙන් කෙල්ල ඉහලින්ම සමත් වෙලා.. මුන්ට ඇහැකිය ඕවා දරාගන්න..ඔන්න මං ඔයාගේ පංඟුව බෙදලා වහ දාලා තියෙන්නේ..මූණ කට හෝදගෙන ගොහින් කන්න..
මට ඕන නැති කෑමක් නෑ..මැණිකේ උඹ ඩිංඟක් කා හරි අතේ පණිවුඩයක් එව්වා නම් මං තකහනියක් ඇවිඳින් කෙල්ලව අරගෙන යනවනේ ඩිස්පැන්සරියට..
රෑ වෙන්න තමයි වැඩි වුණේ..
රතු මහත්තයා..රතු මහත්තයා..
ආ පොඩ්ඩක් ඉඳින් ජිනසේන..මහත්තයා කියලා ගියා උඹ ආවොත් ඩිංඟක් ඉන්න කියන්නෙයි කියලා..දෝණිව අරගෙන බයිසිකලෙන් ඩිස්පැන්සරියට ගියා..දැන් එනවා ඇති මයෙ හිතේ..
අර මොකෝ ?
දෝණිට ඊයේ සහලෝලා උණ ගත්තා..
හැබෑට..
ආහ්…කොලුවෝ උඹ ආවද ? බහින්න චුට්ටියේ..මැණිකේ..කෙල්ලව පරිස්සමට එක්ක පලයන් ගෙට..
මොකෑ දොස්තර මහත්තයා කීවේ ?
පපුවට සෙම බැහැලයි කියන්නේ ? ආපහු උණ ගත්තොත් මහ ඉස්පිරිතාලේ එක්ක යන්න වෙයි කිව්වා..උඹ කහට ඩිංඟක් බිව්වැයි කොලුවෝ ?
ඕන නෑ රතු මහත්තයා..
එහෙනම් යමං..සුනංගු වුණා..අද උදෙන්ම භාර දෙන්නත් වැඩක් තියෙනවා..ඒ වැඩෙන්ම මම උඹට කියලා දෙන්නම් මේක කොරන හැටි.. ඒ හැටි දෙයක් නෑ බං..හිතේ හයිය විතරයි ඕන..
හා හා හොඳමයි රතු මහත්තයා..
දැන් මේක පිරිමි බොඩියක් නිසා ටිකක් වෙලා යනවා..මොකද රැවුල කපන්න ඕන.. රැවුල පොඩ්ඩ්ක් හරි ගැස්සුණොත් මූණ සවුත්තු වෙනවා.. මුලින්ම කොරන්න ඕන බොඩිය හොඳට හෝදන්න ඕන.. මල මුත්රා, හොටු සෙම පිටවෙච්චා තෙත රෙදි කෑල්ලකින් හොඳට ඉවත් කරන්නත් අමතක කරන්න එපා.. ඒක තමයි මගේ විශේෂත්වය..මොකද ගොඩක් තැන්වල බොඩිය පිරිසිදු කරන එකට මැලි වෙනවා..ඊට පස්සේ දකුණු කලවේ බල නහරේ හොයලා බෙහෙත් ගහන්න ඕන..
මොනවද රතු මහත්තයා බෙහෙත් කිව්වේ ?
මේ තියෙන්නේ..මේකට ෆෝමලින් කියලා තමයි සිදාදියේ කියන්නේ.. අපෙ අප්පොච්චලා කියන්නේ බෙහෙත් ගහනවා කියලා..මෙතනදි උඹ අහන්න ඕන පුරස්නේ ඕක නෙවෙයි..බල නහරෙ හරියටම හොයා ගන්නේ කොහොමද කියන එක..
ඇත්තෙයි ?
මොකද බං බල නහරෙ වැරදුණොත් මුළු සරුවාංගෙටම බෙහෙත් දුවන්නේ නෑ.. එතනින්ම වැඩේ අවුල්..මේන්න බලපං මෙන්න මෙහෙම හරි තැනින් බල නහරෙ හොයාගෙන සීරුවෙන් බෙහෙත් ගහන්න ඕන..
( ජිනසේන ඇසි පිය නොගහා ඉතා ඕනෑකමින් ඒ දෙස බලා සිටියි. )
( දිගු හුස්මක් හෙළා..) ඊට පස්සේ මක්කෙයි රතු මහත්තයා..?
ඊට පස්සේ ඩිංඟක් වෙලා ගත වුණාම මුළු සරුවාංගෙම බෙහෙත් දුවනවා.. දැන් මෙන්න මේ උල් පිහි තලේ අරගෙන බඩ මැද්දෙන් පලන්න ඕන..
මො..මො..මොකක් ? අනේ මට බැරියෝ ඒක කොරන්න..
කට වහගෙන බලාගෙන හිටු..මේක මේ විධියට පළලා ඇඟ ඇතුළේ තියෙන දේවල් අහක් කරන්න ඕනා..
( ජිනසේනට හීන් දාඩිය දමා ක්ලාන්ත ගතියක් හා ඔක්කාර ගතියක් දැණුනද යටි හිතේ ඇති කුතුහලය මුසු කැමැත්ත නිසාවෙන් දරාගෙන සිටියේය. )
ර…ර..රතු මහත්තයා…කෝ මේකේ
ලේ…කෝ මේකේ ලේ..ඒකනේ අහන්න ගියේ ?
බෙහෙත් ගැහුවම ලේ එන්නේ නෑ..ඒක උඹට පස්සේ තේරේවී..
මාර වැඩක්නේ රතු මහත්තයා..
දැන් මේ පළපු තැනින් පුළුන්, රෙදි කෑලි ඔබලා බොඩිය ගානට හදාගන්න ඕන.. ඊට පස්සේ පොඩි මැස්මක් දාන්න ඕන.. හරි දැන් බොඩියේ වැඩේ ඉවරයි.. ඊට පස්සේ තියෙන්නේ ඇඳුම් අන්දලා පෙට්ටිය ඇතුළ සරස ගන්න එක..
රතු අයියේ..රතු අයියේ..
මොකෑ බං බෙරිහන් දෙන්නේ..?
ර..ර..රතු අයියේ..චුට්ටි දුව හැල හොල්මනක් නැතුව වැටිලා ඉන්නවා ගෙදර..මැනිකේ අක්කා මට කිව්වා හනික ගිහින් රතු අයියට පණිවිඩේ කියලා එන්නෙයි කියලා..
හැබෑට..කොලුවෝ මේ කෝට් බෑයයි කලිසමයි උඹට පුළුවන් විධියට අන්ඳවලා තියපං.. මං සුටුස් ගාලා එන්නම්..
බයිසිකලේ හරව ගනිං ජයන්ත මල්ලි..විගහට යමං..
අනේ බලන්න මහත්තයා අපේ දරුවා කතා කරන්නේ නෑනේ..( මැණිකේ ගම දෙවනත් වෙන්න විලාප නගන්නීය. )
දෝණී..දෝණී.. චුට්ටි..චුට්ටි.. කතා කරන්න දරුවෝ..
( මිනිස් සිරුරේ රෝම කූපයක් ගානේ දන්නා රතු මහත්තයාට දෝණිගේ අතේ නාඩි ඇල්ලා බැලූ විට සියල්ලටම දැන් පමා වැඩි වග දැණුනේය. දත්මිටි කාගෙන ඇස් වලින් කඳුළු නොහලා, නළියන දෙකම්මුල් වලින් යුතුව නැගී සිටි ඔහු තම හිස කිහිප වරක් උළුවස්සේ හප්ප ගත්තේ එතැන සිටි කිහිප දෙනෙකු පැන ඔහුව හේ කරන්නට වෙර දරන අතරතුරදීය.. මැණිකේටද දැන් සියල්ල වැටහිණි..හැඩි දැඩි දේහදාරී පුරුෂයෙකු වූ රතු මහත්තයා මෙල්ල කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. මැනිකේ රතු මහත්තයා සමීපයට යාමට තැත් කළද කුලප්පු වූ මී හරකෙකු මෙන් ඔහු ප්රචණ්ඩ විය.. )
අනේ මගේ දරුවා…( ඔහු මහ හයියෙන් විලාප නගන්නට විය. )
( පැමිණි සියලු දෙනා ටිකෙන් ටික රතු මහත්තයාගේ හිත සනසන්නට විය. මද වේලාවකට පසුව දෝණිගේ නිසල දේහය තම දෝතට ගත් ඔහු පයින්ම ඇයව ඔසවාගෙන හඬ හඬා තම රැකියා ස්ථානය වූ රත්නපාල මල් ශාලාව වෙත ගියේය. මග දිගට ඔහු පසුපසින් මැනිකේද හඬා වැළපෙමින් පියමනින්නට වූවාය..)
බ..බ..බලාපං කොලුවෝ.. අද තවත් වැඩක් ආවා අපිට ( මහ හයියෙන් හඬමින් කීවේය..)
( ජිනසේනට කුමකින් කුමක් සිදුවන්නේදැයි ඇස් අදහා ගන්නට නොහැකි විය. )
මො..මො..මේ චුට්ටි දුවනේ..ර..ර..රතු මහත්තයා මොකෑ මේ ?
( චුට්ටිගේ නිසල සිරුර මල් ශාලාවේ මිනී කපන මේසය උඩින් පරිස්සමට තැබූ රතු මහත්තයා දරුවාව බදාගෙන සෑහෙන වෙලාවක් හඬන්නට විය..දෝණි ඉපදුන දවසේ සිට තමා සමඟ කෙළි සෙල්ලම් කළ ආකාරය, මහ රාත්රියේ තමා එනතුරු මග බලා සිටින අයුරුද, එක බත් කටක් ඈට කැවූ පසු දෙවන බත් කට කවන්න සැරසෙද්දි “මේ බත් කට අප්පච්චිට” යැයි කියලා එය තම අත අල්ලා තමාගේ කටට දමන අයුරුද රතු මහත්තයාට සිහිවෙන්නට විය..)
ඇයි දෙවියනේ මං මැරෙන්න ඉස්සෙල්ලා මගේ දුවවත් මගේ ලඟට මෙහෙම එව්වේ ?
උඹ පලයන් මෙතනින්..පලයන්..මගේ දුව ඇඟ සෝදන්න යන්නේ..
( ඒ හඬට ජිනසේන තිගැස්සුණේය.. වහා එතනින් දොර වසාගෙන ඉවත්ව ගියේය. )
Charith Wijemanna
මූලාශ්‍රය: කෙටි කතා එකතුව