රටින් රට – ජපනුන්ගේ හැටි (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජපන් බොස් කෙනෙක් අරාබියේ සේවය කර, ජපානයට මාරු වී යන අවස්ථාව උදාවී තිබිණ. කාර්යාලයේ අය එකතුව අඩි තුනක් දිග, දෙකක් පළල සුන්දර පින්තුරයක් සහ, එකළ අරාබියේ ජනප්රිය වූ, වාහනයේ තබා ගන්නා සුවඳ හමන යම් විශේෂිත ලී පෙට්ටියක් තෑග්ගක් වශයෙන් දුන්නෙමු. ඔහු ඉතා යටහත්ව කියා සිටියේ, “පින්තූරය එල්ලීමට ඔහුගේ නිවසේ බිත්තිවල ඉඩක් නැත” සහ,… “ඔහුට ජපානයේ වාහනයක් නැත” සේය.
ඒ පින්තුරය මාරු කර කුඩා පින්තුරයක් ගැනීමට අපට සිදු විය.
ඔහු අප්රිකාව, මැද පෙරදිග සහ යුරෝපයේ කොටසක් භාරව සිටි ජපන් සමාගමේ ලොක්කා විය. පසු කලෙක කුඩා ජපන් නිවාසයක් දකින තුරු ජපනා කියූ ඒ අන්ඩර දෙමළය මට අවබෝධ වුනේ නැත. එවැන්නෙක්ට ලොකු නිවසක් හෝ වාහනයක් නැතැයි කීම විශ්වාස කල නොහැකි විය.
සත්ය වශයෙන්ම ඔවුන් බොහෝ දෙනෙක්ට වාහන නැත. එක හේතුවක් වන්නේ වාහන නවත්වා තබන්නට ස්ථාන සොයා ගැනීමේ අපහසුව වේ. අනෙක් හේතුව වන්නේ පුද්ගලික වාහන අනවශ්ය වීමයි. එනම් පොදු ප්රවාහනය ඉතා දියුණු වීමයි. ලංකාවේ වුවද පොදු ප්රවාහනය දියුණු නම්, මෙතරම් පාරේ තදබදයක් ඇති වන්නේ නැත. රටක් දියුණු වීමේ එක මිම්මක් වන්නේ, රටේ පොදු ප්රවාහනය දියුණු වීමය.
මේ ගැන මෙලෝ හසරක්, අල බෝලයක් නොදත් එක ලංකාවේ දේශපාලු ගොනෙක් කියා සිටියේ, .. “ලංකාව දියුණු වන බවට ඇති හොඳම සාධකය, ලංකාවේ වැඩිවී ඇති ත්රී වීල යන්නය”… ! …!!
ක්ෂණික මෙන්ම නිවැරදි තීරණ ගැනීමට ජපනා ඉතා දක්ෂ වේ. මින් පෙර, “රටින් රට – ශීශේල්ස්” සේ ලියු, සුද්දාගේ ඇඟට මුත්රා කල ජපනා ගැන ලිපිය ඔබ කියවන්නට ඇත.
… “දෙවියන් පය ගහන්නට අකමැති ස්ථාන වල මෝඩයන් පිළුම් ගසති” … යයි කියමනකි. ජපන් නිර්මාපකයන් හැර වෙනත් කිසි කෙනෙක් එතෙක් නොදන්නා යන්ත්රයක දෝෂයක් නිරාකරණය කරන්නට මා මෝඩයෙක් සේ ඉදිරිපත් වූයෙමි. එකළ තරුණ කමට මෝඩකම සෑහෙන තරමකට එක් වී තිබිණ. මේ කාලයේ කාර්යාලයට පැමිණි සිටි ලොක්කා වූයේ ඉහත පින්තුරය අපෙන් ලැබූ ජපනා විය.
ඉඳ හිට ඔහු, දෙපාර්තමේන්තුවෙන් දෙපාර්තුමේන්තුවට වැඩ කෙරෙන ආකාරය බලන්නට යයි.
ඔහු මා කරන දෙය මඳ වෙලාවක් බලා සිට, .. “ලලිත් සාන්, … ඕක හදන්න උත්සාහ කරන එක නම් හොඳයි”… “එහෙත් ඔබට ඔය යන්ත්රය සඳහා පුහුණුවක් මෙතෙක් ලැබී නැහැ නේද? කියා ඇසුවේය. “සාන්” යන්න ජපන් ආකාරයට “මහතා”, කියන ක්රමය වේ. මා, එසේ පුහුණුවක් අවශ්ය නොවන බවත්, සරළ මූලධර්ම භාවිතා කර එහි ගැටලුව නිරාකරණය කල හැකි බව කීවෙමි. ප්රශංසාත්මකව හිස නමා ඔහු යන්නට ගියේ නැවත හවස එන බව කියමිනි.
නොදන්නා රෙද්දවල් වලට ඇඟිලි ගහන තවත් ජප්පෙක් පැමිණියේය යයි සිතුවෙමි.
කරගත්ත මෝඩකමේ තරම කියා අවබෝධ වූයේ, ඒ සංකීර්ණ යන්ත්ර කොටස ගලවා ගත් විටය. හවස ලොක්කා එන විට මා හීන් දාඩිය දමමින් එය නිම කරන්නට උත්සාහ කරමින් සිටියෙමි. ඔහු පැමිණ කිසි දෙයක් කතා නොකර, මා කරන්නේ කුමක්දැයි හොඳින් නිරීක්ෂණය කර ඔලුව වනමින් යන්නට ගියේය.
පසුදින උදයේ මා එය කරගන්නට නොහැකි වූ හෙයින් ජපානයට ඒ විස්තර දන්වා ලිපියක් ලියමින් සිටියෙමි. ලොක්කා ඇවිත් මගෙන් මෙසේ ඇසුවේය. … “ලලිත් සාන්, මමත් මේක උත්සාහ කර බලන්නද? … ඔහු මුලින් කාර්මිකයෙක් බව මා නොදැන සිටියෙමි. කොහොමත් ලොක්කාට “එපා” කියන්නට නොහැක. අනෙකුත් යන්ත්ර සහ ආම්පන්න කැඩුණු උපාංගයට සවි කරන ආකාරයෙන් ඔහු උපන් ඉංජිනේරුවෙක් බව වටහා ගන්නට මට වැඩි වෙලා ගියේ නැත.
විනාඩි දහයකින් පමණ ඔහු එය තනා නිම කර පණ ගැන්වූයේය.
පුදුමයෙන් පුදුමයට පත් වූ මා, ඔහු එය කලේ කෙසේද යයි ඇසුවෙමි. ඔහුගේ උත්තරය වූයේ, …” ඔය යන්ත්රය නිර්මාණයේ රිසර්ච් කොටසේ ඉංජිනේරු නායකයා මා වීමි” … යන්නය. … “එහෙත් මා කාර්මික දේ දන්නා බව අනෙක් අයට නොකියන්න” … “මා පැමිණ ඇත්තේ, ආයතන නායකයා සේ මිසෙක, ඉංජිනේරු කාර්යයන් කිරීමට නොවේ”… කීවේය.
… “ඔබේ උනන්දුව ආශාව සහ උත්සාහය අගය කරමි”… “එහෙත් ඔබ මෙය ඉතා මිළ අධික දෙයක් බව දනී”… “තවදුරට මෙය හදන්න උත්සාහ කළා නම්, ඔබ එය කඩා දමනු ඇත”… “ජපානයේවත් මේ සඳහා පුහුණු මාලා තවම සකස් කර නැත”… “එතෙක් ඉවසා, මේ ආකාරයේ දේවල් කෙලින්ම ජපානයට යවන්න ”… කියා ඔහු යන්නට ගියේය.
මෙවැනි දෙයක් ලංකාවේ වේද ?…?… දන්නවාට වඩා සිය ගුණයකින් පෙන්වීම නම් කෙරෙනු ඇත. බොහෝ විට ලංකාවේ කාර්මිකයෙක්, දෝෂයක් නිසා ඔහුගේ වැඩ පොළට රෝල්ස් රොයිස් වාහනයක් හෝ බුගාටියක් පැමිණියද, එහි දෝෂය තනන්නට ඉදිරිපත් වනු ඇත. වාහනයක් එන්ජිමේ නොදන්නා බට හෝ උපාංග අනවශ්ය යයි ඉවත් කරන, මක-බාස් ලා නම් සිටී. …“මට වැඩිය ලොක්කෙක් නැත” ,… සේ කියන කී දෙනෙක් අප අතර සිටීද?දන්නා දෙයක් පිළිබඳව මාන්නයෙන් පසුවන පුද්ගලයෙක් වුනානම් කවර ආකාරයේ පිළිතුරක් ලබා දෙනු ඇත්දැයි සිහිපත් වේ.
ලංකාවේ නම් ක්ෂේත්රයේ ‘අ’ යන්න නොදන්නා උන්, ඉහළ පුටුවල සිටී.
ජපනාගේ වෙනස මෙය වේ. දන්නේ නැත්නම් “දන්නේ නැහැ” කියන්න ඔවුන් පැකිලෙන්නේ නැත. නිවැරදි පුහුණුව නැත්නම් ඔවුන් දෙයක් අල්ලන්නවත් අකමැතිය.
එසේම ඔවුන්ගේ යමක් සඳහා දක්වන තීක්ෂණ මෙන්ම කේන්ද්රීය උනන්දුව පුදුමාකාර වේ.
ලංකාවේ එක්තරා ආයතනයක පුහුණුව ලබමින් සිටින කලකදී, මාසයක් පමණ ඒ පුහුණුවට අදාළ ජප්පෙක් යටතේ ඉගෙන ගනිමින් සිටියෙමු. ජපනා ලංකාවට පැමිණියේ මාසයකටය. මා සහ තව කීප දෙදෙනෙක් ඒ පුහුණුවට අනුයුක්ත කර තිබුණි. හිතට මහා කරදරයක් වූයේ, යන්ත්ර පවතින පෙදෙසට කිසිසේත්ම අපට පමණක් යෑමට නොහැකි වීමය. යන වතාවක් ඇත් නම්, ජපනා වලිගයක් සේ අප පසු පස පැමිණියේය.
මෙය විශාල පු* අමාරුවක් වී තිබුණු නිසා, මා ජපනාගේ මව සිහි කර, සිංහලෙන් හොඳ කුණුහරුප දෙකක් කියා ජපනා ගැන කියමින් අනෙක් අය සමඟ බැන්නෙමි. එවිට ජපනා තර්ජනාත්මකව මට සිංහළෙන් මෙසේ කීවේය. … “මම සිංගල ටික් ටික් දන්නවා! … මට කුණුහරුප බනිනවා කියා ලොක්කාට කියමි”…
ඔහු ඒ කුඩා කාලය තුල සෑහෙන තරමකට සිංහළ ඉගෙන ගෙන සිටියේය.
අරාබියේ ඉන්නා කල සිදුවූ තවත් සිදුවීමක් කියමි. මා සිටි නිවස නිවසක් නොව යන්ත්රාගාරයක් සේ හෝ, හරියටම කීවොත් ජන්ක්යාර්ඩ් එකක් විය. එනම් විසි කරන ලද යන්ත්ර කෑලි වලින් නිවස පුරවාගෙන සිටියෙමි. රටේම ඇති කාර්මික කොටස්, කුණු කන්දල් එකතු කිරීම මගේ විනෝදාංශය විය.
ඒ අතර කුඩා පෙට්රල් එන්ජිමක්, කලර් ෆොටෝ කොපි මැෂිමක්, ප්රොජෙක්ටර්, වීඩියෝ යන්ත්ර, කුඩා කයක් බෝට්ටුව, මගේ මාළු ටැංකි, කබල් කොම්පියුටර සහ ගියර් පෙට්ටි කීපයක්ද තිබිණ. මේ කාලයේ නිවසෙන් තවත් නිවසකට යෑමට ඒ බඩු අස් කරමින් සිටියෙමි. සියළු බඩු අනෙක් නිවසට ලොරි ලෝර්ඩ් කීපයකින් ගෙන යෑම අහවර වන විට පාන්දර දෙක පමණ විය. ඒ ගෙන ගිය බඩු ගැන සැක සිතු පොලිසිය පැමිණ ප්රශ්ණ ඇසුවද, ඒවා අහන්නේ අරාබි භාෂාවෙන් සහ උර්දු වලින් නිසා උත්තර දීමට මා අසමත් වුනෙමි.
එනිසා ඔවුන් මා සහ, ලොරියේ පැමිණි තිදෙනාද මාංචුද දමා සිරගත කළහ.
ඔවුන්ගේ චෝදනාව වූයේ, මෙය නිවසක් අස් කිරීමක් නොවන බවත්, නිවසකට අනවශ්ය සැක සහිත බොහෝ දේ මෙහි ඇති බවත්ය. දිනකට පසු උසස් පොළිස් නිළධාරියෙක් මේ ගැන ඉංග්රීසියෙන් ප්රශ්ණ කලවිට, හේතු කියා නිදහස ලබා ගතිමි. අරාබිය එපා වීමට මෙය මට හේතුවක් විය. ඒ කාලයේ මේ පළාතේ කව්රුන් හෝ හොර සල්ලි අච්චු ගසනවා යයි ආරංචි ගොස් තිබිණ. ඇසීමට ලැබුණු ආරංචි ඉතා බියකරු විය.
හැකි ඉක්මනින් මේ අපායෙන් ඉවත්ව ලංකාවට යෑම මගේ අරමුණ විය.
පසු දින කාර්යාලයට ගොස්, නැවත මා ලංකාවට යන බව කීවිට එවකට සිටි ජපන් බොස් මා ඔහුගේ කාර්යාලයට කැටුව ගොස්, … “ඕකට කලබල වෙන්න එපා ලලිත් සාන්, … මමත් දවසක් හිරේ හිටියා”… යයි කීවේය. ඔහුට වී ඇත්තේ, ඔහුගේ කුඩා පුතා පාරේ අතහැර දමා තිබුණු රෝද තුනේ කුඩා සයිකලයක් නිවසට ගෙන ඒමත්, එය ඔහු පියාට නොකියූ හෙයින්, නොදත් දෙයක් හෙයින් ජපන් බොස් ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමය.
අන් සතු භාණ්ඩයක් ගත් බවට කියූ පොලීසිය, ජපනාව දිනකට හිරේ දැම්මෝය.
ජපන් බොස් ඊළඟට මට කියා සිටියේ, හිරේ දී ලැබුණු ආහාර ගැනය. ඒවා ඉතා ඉස්තරම් බවත් නැවත හිරේ යන්නට ඔහු පැකිලෙන්නේ නැති බවත්ය. හිරේදී ලැබුණු කඩල කරිය, සළාදය, බාස්මතී බත්, මට්න් ඉස්ටුව, සබ්ජි හොද්ද, සහ අරාබි රොටි ඉස්තරම් බවද, ඉතා හොඳ විවේකයක් එහිදී ලැබුණු බවද, ඇඳ ඉතා සුව පහසු බවද ඔහු කීවේය. ඊළඟට ඔහු කීවේ එවැනි අවස්ථාවන් ජීවිතයේ අමතක නොවන විරළ අවස්ථාවන් හෙයින්, ඉන් අත්දැකීම් ලැබිය යුතු බවය.
එවිට ඕනෑම ව්යසනයකදී නොසැළී ජීවත් විය හැකි බවය. ජීවිතය යනු ‘පැච්’ දමමින් යා යුතු පික්නික් එකක් මෙන් ගමනක් මිසෙක, මළ ගෙදරකට යනවා මෙන් හඬ හඬා යා යුතු ගමනක් නොවන බවය.
එහි විශාල සත්යයක් ඇත. පසු කලෙක නයිජීරියාවේදී හොරු විසින් අප කිහිප දෙනෙක් වට කල අවස්ථාවේ ඒ අවවාදය සිහිපත් විය. එය වෙනම ඔබට කියමි. කෙසේ හෝ ඒ තරම් “කූල්” ජපන් ජාතිකයෙක් මා දුටුවේ නැත. කොහොමත් ජපන්නු “කූල් මිනිසුන්” වෙති. ඕනෑම තැනක කලබල නොවී වැඩ කිරීමට ඔවුන් අති දක්ෂයන් වෙති.
නැතිනම් දෙවන මහා ලෝක සංග්රාම සමයේදී, මිය යන බව දැන දැනම, සිනහ වෙමින් ගොස් පර්ල් වරායට බෝම්බ දමන්නේ නැත.
ජපනා ගේ කතාවෙන් පසුව, ආයතනයෙන් අස්ව අරාබියෙන් ඉවත්ව ලංකාවට යාමේ අදහස අත් හලෙමි.
ජපන්නු බොහෝ විට බිම මෙට්ට දමා එරමිණිය ගොතා හෝ කරාටේ ක්රීඩාවේ හිඳ ගන්නා ආකාරයට පාද පසු පසට නමා ඒ උඩ බිම හිඳ ගනී. එය ශරීරයේ සෞඛ්යයට හොඳ බව ඔවුන් කියති. පුටුවට සීමාවී ඇති ලංකාවේ අප බණ ගෙදරකට, පන්සලකට ගිය විට බිම හිඳ ගැනීමට කරන විකාරය ඔබට සිහිපත් වනු ඇත.
සමහරු කොට්ට සොයති. සමහරු හේත්තු වීමට බිත්ති සොයති.
පල්ලියේ බිම හිඳ ගන්නා රාජ්ය නායකයන් වැනි අය, පන්සලේ කුඩා පුටු වල හිඳ ගෙන රටටම විහිළු සපයති. මේ එකක්වත් ජපනාට අනවශ්යය.
එවැනි අවස්ථාවක අගමැති තියා, ජපන් අධිරාජයා වුවත් ඉඳ ගන්නේ බිමය.
ඔවුන්ගේ ඇති අනෙක් අගය කල හැකි දෙය වන්නේ ආහාර පිළිවෙත් වේ. වැදගත් එක උදාහරණයක් පමණක් කියමි. ඔවුන් අප මෙන්ම බත් කන්නෝය. එහෙත් ඒ බත් ප්රමාණය කුඩා තේ කෝප්පයකට වඩා වැඩි නොවේ. එමෙන් කිහිප ගුණයක එළවළු සහ සළාද ඔවුන් අනුභව කරති. නිර්මාංශ අනුභව කරන්නෙක්ට අවශ්ය පෝෂ්ය පදාර්ථ ලබා ගැනීමේ අවුලක් ජපන් ආහාර වල නැත.
විසි කරන ඕනෑම දෙයකින් ප්රයෝජන ගැනීමේ විස්මිත හැකියාව ජපනාට ඇත. හුදෙක් වයින් බෝතල් මූඩි වලින් කරන ලද බිත්ති සැරසිල්ලක් දුටුවෙමි.
ක්ලබ් එකකට ගිය විට ජපන්නුන්ගේ ඇති, කැරෝකී සිංදු එළි වෙන තුරු කියන්නට ඇති විශාල ආශාව සහ සමහර ජපන්නුන්ගේ නොනවතින සිගරට් බීම හැර, වෙන නම් කියන්න වෙන විශේෂ වරදක් නම් ඔවුන්ගේ නොදුටුවෙමි.
ජපානයේ දුම්රියක යන අවස්ථාවක සිදු වූ සිදුවීම් දෙකක් කියා ලිපිය අවසාන කරමි. එකක් වූයේ පොඩි උන් ඇතුළු දුම්රියේ ගමන් කරන්නන් සැහෙන දෙනෙක් පෙප්සි හෝ කොකා කෝලා වැනි පැණි බීම වීදුරු බෝතලයක ගෙන යෑම දැකීමය. ජපන්නු වැනි දැනුවත්, උගත් ජාතියකට මෙය නොහොබී යයිද, මේ තරම් සීණි දමා ඇති බීම දියවැඩියාවට මුල යයි සිතුවෙමි.
පසුව ඒ බීම මොනවා වත් නොව සීතල, සීණි රහිත, බදින ලද කහට තේ බව දැන ගතිමි. එය ඔවුන්ගේ සිරිතකි.
දෙවන සිදුවීම වූයේ, එම දුම්රිය පෙට්ටියක සිටි අය ගැනය. කාලයෙන් උපරිම ප්රයෝජන ගැනීමට ජපනා උපන් හපනෙකි. සියල්ලන් එක්කෝ කුමක් හෝ ලියමින්, පරිඝනකයක්, ටැබ් එකක් හෝ පත්තරයක් වත් බලමින් සිටියහ. දෙදෙනෙක් පමණක් කිසි පලක් නැති දේ කරමින් සිටියහ. පළක් නැති දේවල් කරමින් සිටියවුන්ගෙන් එකෙක් වූයේ, වසර තුනක පමණ වූ, දඟලමින් සිටි දරුවෙකි.
අනෙකා, “ගොඩයා කොළඹ ගියා” මෙන් වට පිට සහ උඩ බිම බලමින් ගිය මා විය.
මේ සිදුවීමෙන් පසු, කිසිවිටෙක කාලය නාස්ති නොකිරීමට සිතා ගතිමි.
උපුටා ගැනීම: Lalith Karunaratna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!