රූපිකා තවත් වරක් කැඩපත ඉදිරියේ දිස්වන තම රුව දෙස බැලුවාය. එය පරිපූර්ණ රුවකි. මුහුණේ එකදු කැළලක් වුව සොයාගන්නට නැත. දණිස දක්වා කඩාහැලෙන කෙස් කළඹ ඇගේ රුව තවත් ඔප්නංවා ඇත. රූපිකාගේ මුවට සිහින් සිනා රැල්ලක් නැඟිනි.
ඔහුද කඩවසම්ය… තම රුවටම කැපෙන රුවක් ඔහුටත් ඇත. දෙමව්පිය කැමැත්තට රූපිකා බැලීමට අද ඔහු පැමිණියත් කීමට තරම් කිසිදු වරදක් ඔහු කෙරෙන් දිස් වූයේ නැත. වැඩිදුර කතාබහ කිරීමට නම් අවස්ථාව නොලැබුණු බව සැබෑය. නමුත් තම ලොකු අයියාගේ බිරිඳ මනාලයාගේ නිවසින් රූපිකා බැලීමට පැමිණීමටත් පෙර සිටම සියළු විස්තර රූපිකාත් දෙමව්පියන් හමුවේත් කියා තිබුනි. රූපිකාගේ ලොකු නෑනා වන ඈ ඒ විස්තර එතරම් මැනවින් දැන උන්නේ ඇගේ ළඟම නෑදෑයින් මනාළයාගේ ගමෙහි වීම නිසාය.
” නංගිට හොඳ සැපට ඉන්න පුළුවන් . රස්සාවට යන්න ඕනෙත් නෑ. මිනිහට හොඳට සල්ලි..!බිස්නස්නෙ කරන්නෙ… ඔය මොකුත් නෙවේ කොල්ල දැක්කනම් නංගි කැමති වෙන්නෙ ඉහටත් උඩින්..”
නෑනණ්ඩිය නිවසට ආ දවසේ පටන් තමා සමඟ උන්නේ නොරුස්නා බවකින් බව රූපිකාට දැනී තිබුනි. අතරින් පතර ඇසෙන නෝක්කාඩු ඇනුම් පද සියල්ලම තමා විවාහයකට නොයා තවමත් නිවසට බරක් වී සිටීම නිසා බව රූපිකා දැන උන්නාය. ගමේම පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ රැකියාව කල රූපිකා තමාට සෑහෙන මට්ටමේ මුදලක් උපයාගත්තද එය නිවසට වියදම් කිරීමට දෙමව්පියන් ඉඩ දුන්නේ නැත. රූපිකාගේ නෑනණ්ඩිය වන දේවිකාට එයද ඉවසුම් නොදෙන්නක් විය.
දෙමව්පියන් රූපිකාට මංගල යෝජනා සොයන අතරතුර දුරින් නෑකමක් ඇති සරත් විසින් රූපිකාට මංගල යෝජනාවක්ද ගෙන එන ලදි. දෙමව්පියන් සහෝදරයා මෙන්ම මුව්න් නොකීවද රූපිකා පවා උන්නේ එයට කැමැත්තෙනි. එහෙත් දේවිකා මැදිහත් වී ඒ යෝජනාව ඉවතලූයේ සරත්ගේ මව ලෙඩ ඇඳෙහි සිට්න බැවින් රූපිකාට බැලමෙහෙවරකම් කිරීමට සිදු වේයැයි කියමිනි. තම නිවසේ සුරතලියට දුක් විඳීමට සිදු වේ යැයි බියෙන් දෙමව්පියෝද සරත්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළහ.
එහෙත් දේවිකා විසින් සරත් හා රූපිකා බිඳවාලීමේ අරමුණ වූයේ එය නොවේ. සරත් තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සාර්ථක ජීවිතයක් ගත කරන යහපත් පුද්ගලයකු විය. දේවිකාගේ සැමියාට ස්ථීර යැයි කිව හැකි රැකියාවක් නොවීය. කලින් කලට රැකියා මාරු කරමින් උන් තම සැමියාට වඩා සරත් බොහෝ ඉහලින් සිටීම දේවිකා රුචි නොකලාය. රූපිකා තමාට වඩා ඉහළින් වැජඹෙනු ඇතැයි බිය වූ දේවිකා වහා සරත්ගේ යෝජනාව ප්‍රතික්ෂේප වන තැනට කරුණු ඇති කළාය.
තමා වෙත මඳක්වත් ඇඟෑලුම් නොපාන දේවිකා තම යහපතට යැයි කියා සරත්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම රූපිකාගේ සැකයට හේතු වූවත් ඇය එය සිත තුළම තබා ගත්තාය. ඉන් මසකට පසු දේවිකා විසින්ම තමාට මංගල යෝජනාවක් සොයාගෙන පැමිණීම පිළිබඳව රූපිකා තවත් පුදුම වූවාය. තම නෑනාගේ හැටි දන්නා බැවින් රූපිකා ඒ පිළිබඳව වැඩිදුර උනන්දු නොවූයේ ඈ සෙවූ මනාළයා කිසිසේත් තමාට නොගැළපෙනු ඇතැයි සිතීමෙනි. නමුත් මේ වන විට රූපිකා සිටින්නේ පුදුමයට පත් වූ සිතිවිල්ලෙනි. තමා නුරුස්සන නෑනා විසින් එතරම් කඩවසම් තරුණයකු තමාට යෝජනා කිරීම ඇදහීමට නොහැකි තරම්ය. සරත් විටින් විට තම සිතෙහි ඇති අදහස රූපිකාට දැනෙන්නට සැලැස්වූ අවස්ථාවලදී ඔහු පිළිබඳව සිතේ යම් කැමැත්තක් තිබුණද එය ඔහුට නොපවසා සිටීම එක් අතකින් හොඳකට සිටිය බව රූපිකා තනිව සිතුවාය.
එක් දිනක සැඳෑ අඳුර එබිකම් කරන මොහොතක කුඹුරු යාය කෙළවර වූ නාන ලිඳ අසලදී රූපිකාට සරත් හමු විය. හිත හොඳ තරුණයකු වූ සරත් කිසිවිටකත් රූපිකා තමාගේ යෝජනාව පසෙක ලා වෙනත් තරුණයකු හා දීග යන්නට කැමති වීම වරදක් ලෙස දුටුවේ නැත.
” නංගි කසාද බඳින්න යනවැයි කියල මට ආරංචියි..”
සරත් කීවේ යම්කිසි දුකක් සිත තුල සඟවාගෙන බව රූපිකා දුටුවාය. ඇයට අනුකම්පාවක් දැනුනි.
“සරත් අයිය මාත් එක්ක තරහද..? අම්මලා හොයල දීපු එකක්නේ. මං කොහොමද බෑයි කියන්නෙ..”
රූපිකා සරත්ගේ සිත නොරිදෙන සේ සෙමින් කීවාය. සරත්ගේ මුවින් සිහින් සුසුමක් පිටවිය.
“ඇත්ත නංගි…අපි කොහොමද හදපු වඩපු දෙමව්පියන්ට පිටුපාන්නෙ. මගෙ තරහක් නෑ තුන්හිතක වත්. නංගිගෙ නෑන පෙරෙදා එපිටදා හම්බවෙලා මට කිව්වා හොඳ ඉලන්දාරියෙක් නංගිව බඳින්නෙ කියලා.. මට සතුටුයි නංගි කොහෙ හිටියත් සතුටින් ඉන්නවනම්..”
අපහසුවෙන් මෙන් වෙව්ලන හඬ්න් කියූ සරත් රූපිකාගෙන් සමුගෙන යන්නට ගියේය.
රූපිකාගේ විවාහය කඩවසම් තරුණයකු වූ නිමල් සමඟ සිදු කිරීමට සියල්ලන්ගේම කැමැත්ත හිමිවිය. ඒ අතරතුර නිමල්ගේ ගමෙහි පදිංචි දේවිකාගේ නැන්දා පැමිණ මනාලයා සහ ඔහුගේ පවුලේ උදවිය ගැන කල වර්ණනාව රූපිකාගේ සිත ප්‍රීතිමත් කරන්නට විය.
” අක්කෙ ඔන්න දුවට හොඳ වැදගත් පවුලක් හම්බුනේ. මනමාලය වැඩිමල්ම දරුවනෙ. අපි හොඳට දන්නව. කොළඹ දිහෑවෙ බ්ස්නස් කොරන්නෙ. අනිත් අයියල මල්ලිලත් හොඳ තැන් වල රස්සා කරන අය. එක නංගියි හිටියේ. දැන් අවුරුදු දෙකක් වගේ කසාද බැඳල…අම්ම විතරනෙ ඉන්නෙ.දුවට ඉතින් අම්මත් බලාගෙන පාඩුවෙ ඉන්නයි තියෙන්නෙ. රස්සා ඕන්නෙත් නෑ..”
සියලු කරුණු කාරනා මැනවින් සිතට ගත්තත් රැකියාවෙන් ඉවත් වීමට රූපිකා කැමැත්තක් දැක්වූයේ නැත. ඒ පිළිබඳව කිසිවකුට පැවසීමටද ඇය ඉක්මන් නොවීය.
විවාහය තීන්දු වීමෙන් පසු මංගල්‍යයට පෙර නිමල් තම මවත් සමඟ දෙවතාවක් පමණ රූපිකා දැකීමට පැමිණියේය. අන් අයගෙන් අසා දැනගන්නවාට වඩා නිමල් සමඟම කතා බස්කොට තොරතුරු දැන ගැනීමේ ආශාවක් රූපිකාගේ සිත යට දැඟළුවද නිමල්ගේ මව නිසා ඒ අශාව යටපත් කරගන්නට රූපිකාට සිදුවුනි. වචනයක් දෙකක් නිමල් සමඟ හුවමාරු කර ගැනීමත් සමඟ එතැනට එන නිමල්ගේ මව රූපිකා කතාවට අල්ලාගත්තාය. ඉඳින් විවාහයට පෙර හමුවූ දෙවතාවේදීම හරිහැටි යමක් කතාබහ කරගන්නට ඔවුන් දෙදෙනාට හැකිවූයේ නැත.
රූපිකාගෙත් නිමල්ගේත් විවාහය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මනාලයාගේ පාර්ශවයේ නෑදෑයින් රූපිකාගේ හැඩරුව සහ තැන්පත් කම ගැන අතිශය සතුටට පත් වූහ. රූපිකා උන්නේ අපමණ ප්‍රීතියෙනි. නිමල්ගේ මුහුනෙහිද වූයේ ප්‍රීතිමත් අහිංසක සිනහවකි. මංගල්‍යයේ කටයුතු ඉතාමත් සතුටුදායක ලෙස අවසන් විය. රූපිකා සහ නිමල්ගේ නවාතැන වූයේද නිමල්ගේ මවත් අවිවාහක බාල සොයුරන් දෙදෙනෙකුත් උන් මහගෙදරයි.
දින සති ගත වන්නට විය. රූපිකා සිහින මැවූ ලෝකය දෙදරා යන්නට මහ කාලයක් ගත නොවූයේ සැබෑ තතු ඇය ඉදිරියේ සියැසින් දැක ගැනීමට ලැබීමෙනි. රූපිකා කම්පා වූවාය. තම නෑනණ්ඩියගේ සීනි තැවරූ වදන් ව්‍යාජ ඒවා බව රූපිකාට හොඳහැටි පසක් වී හමාරය. නිමල්ගේ සුන්දර රූපකායට තමා වශී වූ තරම්…! සත්තකින්ම ඔහු සතු වූයේ උපතින් ලත් රුව පමණක්මය. ඒ හැරුණු කොට අවුරුදු කිහිපයකට පෙර වූ මාරාන්තික රිය අනතුරකින් දිවි ගලවාගත් ඔහුගේ සිරුරේ ආබාධයන් එමට විය. දෑස් පෙනීම දුර්වල වූ නිමල්ගේ එක් කන් ඇසීමද දුර්වල විය. අනතුරින් බිඳී ගිය අත් පා නැවත සකසා ඇතත් කිසිදු බර වැඩක් කිරීමට නොහැකිය. සැබැවින්ම ඔහු විසින් කල රැකියාවක් හෝ ව්‍යාපාරයක්ද නොවීය. හරිහැටි ඉගෙනීමක් නැති වූ ඔහු මෝඩපහේ පුද්ගලයකු වූ අතර සිහිකල්පනාවද අඩු බව රූපිකාට තේරුම් ගන්නට මහ කාලයක් ගත නොවීය.
රැකියාවෙන් ඉවත් වී සැප පහසුකම් පිරි ජීවිතයක් ගත කරන්නට උන් රූපිකාට සිදුවූයේ තවදුරටත් රැකියාවක් කරමින් තම සැමියා පෝෂණය කරන්නටය. නිමල්ගේ මව මෙන්ම අනෙකුත් සොහොයුරන් හා නෑදෑ පිරිවර උන්නේ කිසිවක් සිදු නොවූ ලෙසය. රූපිකා තනිවම කඳුලු සැලුවාය. දික්කසාදයකට යන්නට තරම් ආවේගයක් ඇති වූවත් දෙමව්පියන්ගේ නම්බුව ගැන සිතා ඈ නිහඬ වූවාය. නිමල්ගේ නිවසේ සියලු දෙනා ඇයට ඇඟෑලුම් කම් පෑවත් වෙනසක් නොකළත් ඇයට සිදු වූ අසාධාරණය පිළිබඳව වදනක් හෝ දොඩන්නට කිසිවකුත් වූයේ නැත.
රූපිකා තම රැකියාවට යන අතරතුර ඉඳහිට තම දෙමව්පියන් බලන්නටද ගියාය. තමා කොතරම් දුක් වින්දත් අවසනාවන්ත වූවත් තම මවට හෝ පියාට ඒ පිළිබඳව වදනක් හෝ ඇඟවීමට රූපිකා උත්සාහ නොකළාය. දේව්කාද හැසිරුනේ කිසිවක් නොදත් ලෙසය. මව්පියන්ගේ කතා බහින් රූපිකාට දැනගන්නට ලැබුනේ සරත්ද එම ගමෙහිම වූ දුප්පත් නිවසක තරුණියක් හා විවාහපත් වූ බවය. රූපිකා ඒ තරුණිය දැන උන්නාය. අඳින්නට ඇඳුමක් වත් නැති තරමේ දුප්පත් එකියක වූ ඈ දැන් සැප විඳිනු ඇතැයි සිහිවීමෙන් රූපිකාට හීල්ලිනි. සිතෙහි ඇවිලෙන දුක් ගින්න කීමට කෙනෙක් නැති කල රූපිකා තනිවම හඬා වැටුනාය.
දුක් කඳුලු මැඳ දෑ ඇවුරුද්දක් ගත විය. නිමල්ගේ බාල සොහොයුරන් මේ වන ව්ට රූපිකා තම සොහොයුරියක මෙන් සමීපව උන්හ. නමුත් ඇගේ සිතෙහි ඇති දුක හඳුනාගැනීමට කිසිවකුට හැකිවූයේ නැත. මේ වෙන විට සොහොයුරන් විහිළුවෙන් තහලුවෙන් තම අයියාගේ විවාහය සිදු කල අන්දම රස කරමින් රූපිකාට විටින් විට පවසන්නට වූයේ රූපිකා හාස්‍යයට ලක් කරමිනි.
“අක්කට මතකද දෙපාරක් වගේ අක්කව බලන්න ආවා අම්මයි අයියයි..? වැඩිය කතා කරන්න එපා කියල මෙහෙදි කියල කියල එක්කරන් ගියේ. ඒත් කියන දේ නාහා කතාවට පැටලෙන්න ගියා කියල අම්ම එදා ගෙදර ඇවිත් හොඳටම බැන්නා ..හහ් හහ් හා..”
සොයුරන් එවදන් පවසමින් සිනාසෙන ව්ට රූපිකාගේ පපුවට පිහියෙන් අනින්නාක් මෙන් දැනෙන්නට විය.
රූපිකාගේ කුසට දරුවෙක් පැමිණියේ විවාහයෙන් තුන් අවුරුද්දක් ගත වූ තැනය. ඉන් පසු රූපිකාගේ එකම බලාපොරොත්තුව වූයේ කුස ඔත් දරුවා පමණි. නිවසේ කිසිවකුත් තමාට වෙනස්කම් නොකලත් ජීවිතය කණපිට හරවන්නට තරම් රැවටීමක් කල ඔවුන් ගැන රූපිකාට වූයේ කලකිරීමකි. එහෙත් ඒ සියල්ල සිතින් දරාගෙන නිමල්ගේ මවටත් සොහොයුරන්ටත් හැකි ඉහලම අයුරින් සළකන්නට රූපිකා පසුබට නොවූවාය. නිමල්ට නම් කිසිම විටෙක රූපිකා හෝ ඇගේ කුස උන් දරුවා ගැන වගක් නොවීය. උදේ පාන්දර නැඟිට කා බී සප්පායම් වන ඔහු නිවසින් පිටවී රස්තියාදුවේ ගොස් නැවත දහවල් ආහාරයට නිවසට පැමිණ කා බී නින්දට වැටෙයි.
මෙලෙස කාලය ගත කරන අතරතුර විවාහපත් වී වෙනත් ගමක වෙසෙන නිමල්ගේ සොහොයුරිය වන නීලා කිහිප වරක් නිවසට පැමිණියේ තම සැමියා සමඟ ආරවුල් ඇති කර ගනිමිනි. දින දෙක තුනෙහි නිවසේ රැඳී සිටි නීලා දුක් ගැනවිලි කියන්නට තෝරා ගත්තේ රූපිකාවය. තම සිතෙහි කොතරම් කරදර වූවත් නීලාගේ සිත සැනසීමට වදනක් හෝ දෙඩීමට රූපිකා අමතක නොකළාය. දෙතුන් වතාවක් එලෙස දබරව පැමිණ ආපසු ගිය නීලා එක් සවස් යාමයක නිවසට පැමිණියේ ආපසු සැමියාගේ නිවසට නොයන අධිශ්ඨානය සහිතවයි. එහෙත් ඈ පැමිණ තිබුනෙ තම අවුරුදු පහක සිඟිති දියණියද නිවසේ දමා ඇඳිවත පමණක් රැගෙනයි. රූපිකාගේ ඇඳුම් පැළඳුම් කිහිපයක් නීලා වෙනුවෙන් ලබා දෙන්නට රූපිකා පසුබට වූයේ නැත .එදින රාත්‍රියේ නිවසේ සියළු දෙනා ඉදිරිපිට නීලා හඬාවැටුනේ තමා රැවටීමට ලක් වූ බව කියමිනි.
” අනේ අම්මා…මොකද්ද මට මේ උනේ. අම්මල නේද හොඳට සල්ලි බාගෙ තියනව කියල මට මේ මිනිහව කසාද බන්දල දුන්නේ. මාව බඳිනකොටත් තව ගෑණියෙක් ඉඳලා ඒ මිනිහට… ඒ ගෑණි මට කතා කලා …කීප සැරයක්ම කතා කලා…අම්මගෙ කීමට මාව බැන්දලු…අම්ම නැති නිසා දැන් මාව එපා කියනවා …අනේ දෙයියනේ…!”
නීලාගේ මව කෝපයෙන් මෙන්ම දුකින් පුපුරන්නට වූවාය. රූපිකා මේ සියල්ල දෙස බලා උන්නේ මුනිවත රකිමිනි. නිමල්ට නම් ඒ කිසිවක් වගේ වගක් නොවූ අතර අනෙත් සොයුරන් දෙදෙනා උන්නේද කෝපයෙන් පුපුරමිනි.
” මේකා මරන්න වටිනවනෙ. ඇයි අක්කෙ උඹට තිබ්බනෙ අඩුම තරමින් අර දරුවවත් අරන් එන්න..”
බාල සොහොයුරා කීවේ කෝපයෙනි. දියණිය සිහිවී නීලාගේ හැඬුම තවත් වැඩි විය.
” අනේ මං ගේන්න හැදුවා…! මට ළමයව දෙන්නෙ නෑ කීවා. රස්සාවක් නැතිව දරුවෙක් හදන්නෙ කොහොමද කියල බැල්ලියකට වගෙ බැනල එළෙව්වෙ මාව…!
නීලාගේ මව කඳුළු වගුරවමින් තම දියණියට සිදුවූ දේ පිළිබඳව කම්පා වූවාය.
” ඕකට හෙනම ගහන්න ඕන. හෙනම ගහන්න ඕන. මලක් වගේ මම කෙල්ලව හැදුවෙ…මගෙ කෙල්ලව රැවැට්ටුවා .අපෙ පවුලම රැවැට්ටුවා… වැහි නැති හෙන ගහන්න ඕන ඕකට…අනේ දෙයියයනේ..!”
රූපිකා නිසල දෑසින් තම නැන්දම්මාගේ වියරුව දෙස බලා උන්නාය. තම දියණිය රැවටූවන්ට හෙන ඉල්ලන විට රූපිකාගේ මුවට සිහින් සිනා රැල්ලක් නැඟිනි.
” මේ ගෙදරට දැන් මේ කඩා පාත් උනෙත් ඒ වගේ හෙනයක් වෙන්න ඇති…”
රූපිකා තම සිත ඇතුලෙන් කීවාය.
නිමි.
උපුටා ගැනීම: පුෂ්පිකා විජේරත්න.