මේක ටිකක් පුදුම හිතෙන කතාවක්. 80 දශකයේ මුලම මා මොනරාගල දුෂ්කර සේවයට ආ පසු ඒ අත් දැකීම් ඇසුරෙන් ලියූ කතා ගොඩක් අඩයාලමේ කියවල ඇතිනෙ. මේ කතාව නම් 90 දශකයටයි අයිති.
මා කෙටි කාලීන ගුරු සේවයෙන් පසුව මොනරාගල දිස්ත්රික් අධ්යාපන කාර්යාලයට ඇවිත් විවිධ අධ්යාපන සේවා වල රාජකාරි කළා. මේ සිදුවීම වනවිට මා වැඩ කළේ උපාධි ගුරු පුහුණු ආයතනයේ කතිකාචාර්ය කෙනෙක් විදියට . ඒකෙන් කළේ උපාධි ගුරුවරුන්ට පශ්චාත් අධ්යාපන ඩිප්ලෝමා දෙන එක.
මේ කතාවට සම්බන්ධ ගුරුවරයා හමු වුනේ එතනදි. ඔහු උපාධිධාරි පිරිවෙන් ගුරුවරයෙක් . පොඩි කෙසඟ සිරුරක් ඇති, කළු පැහැයෙන් යුතු, තීක්ෂණ බැල්මක් සහිත , රැවුල වවපු, කොණ්ඩය බෙල්ල දක්වා ඇති ඔහු අමුතු බවක් පෙන්වන අයෙක්. ඔහු මට වඩා ගොඩක් වැඩිමල් බව පේනවා.
මට ඔහුව හොඳින් මතක හිටියේ ඔහු මගේ දේශන වලට දක්වන ප්රතිරෝධය නිසයි. ඔහු මා උගන්වන අධ්යාපන මනෝවිද්යාව පිළිගත්තේ නැහැ. ඒ බව ඔහු මගේ මුහුණටම කියනවා. නිතරම වාදශීලී මුකරි බවක් පෙන්වනවා. ඔහුගේ අවංක කතාව නිසා මට ඔහු ප්රියයි. ඔහුත් මට ප්රියයි. මා ෆේල් වුනොත් ෆේල් වෙන්නෙ මනෝවිද්යාව තමයි සර් කියල නිතරම මට කියනව.
ඔහු දවසක් අපේ ගෙදර ආව. ඔහු ලියා මුද්රණය කළ ලස්සනම කවි පොතක් මට තෑගි කරන්න තමයි ඇවිත් තිබුනෙ. ඒක මට දීල දණ නමා ආචාර කළා. මේක බලන් හිටපු අපේ පුතුන් ඒ දෙස පුදුමයෙන් බලා සිටියා. ඒක වටහා ගත් ඔහු ළමයිට කිව්ව ,” පුතාල දන්නවද තාත්ත මගෙ ගුරුවරයෙක් . ඒ නිසයි මේ ගරුත්වය. පුතාලත් ගුරුවරුන්ට ගරු කරන්න ඕන ” කියල. අන්න එහෙමයි එයාගෙ හැටි. ඒ දුන්න පොතේ සියලුම කවි අතිශයින් සෘංගාරාත්මක බව මට තාම මතකයි.
ඔහුත් සමඟ තොරතුරු කතා කරන ගමන් මා ඇහුව ඇයි ඔය රැවුල බාන්නෙ නැත්තෙ කියල. ඔහු හිනාවෙල කිව්ව ඒක ලොකු කතාවක් කියල. අපේ ඒ කාලෙ හිටපු අධ්යක්ෂක සර් ඔය ප්රශ්නෙම මගෙන් ඇහුව කියලත් කිව්ව.
ඔහුත් ඔහුගෙ අයියත් දෙන්නම පේරාදෙණි උපාධි කරයො. දෙන්නම 71 විප්ලවයේ පතාක යෝධයෝ .අයිය මේ ප්රදේශයේ ප්රාදේශීය නායකයෙක්. ඔවුන්ගෙ ගම මොනරාගල විශාල වශයෙන් උගතුන් බිහිවූ ප්රසිද්ධ දුෂ්කර ගමක්. විදේශ විශ්ව විද්යාල වල උගන්වන අය පවා මේ ගමෙන් බිහිවුනා. ඒ වගේම 71 දි මුළු ගමම විප්ලව කඳවුරක්. මුළු රටේම මේ ගමේ නම ප්රසිද්ධයි .කොටින්ම ඒ කාලෙ යුධහමුදා කඳවුරක් පවා තිබුනලු මේ ගමේ.
මා පත්වීම ගන්න කාලෙ හිටපු දිස්ත්රික් අධ්යාපන අධ්යක්ෂක තමයි මොහු පත්වීම ගත් කාලෙත් මෙහේ ඉඳල තියෙන්නෙ. මම නම් ඔහුව දැකල නැහැ. ඔහු තමා මොනරාගල පළමු දිස්ත්රික් අධ්යාපන අධ්යක්ෂක .ඊට පෙර මොනරාගල පාලනය කරල තියෙන්නෙ බණ්ඩාරවෙල අධ්යක්ෂක. මෙයා හමුදාවෙ හිටපු කර්නල් කෙනෙක්. හරිම සැර නිලධාරියෙක් . කොණ්ඩෙ වවපු , රැවුල වවපු, සයිඩ් බන්ස් වවපු ගුරු වරුන්ව පෙන්නන්න බැහැලු. බනිනවලු දුටු තැන.ඇයි හමුදා විනයනෙ.
ඉතින් දැන් තමයි නියම කතාවට එන්ටර් වෙන්නෙ. අර අපේ මිත්ර ගුරු වරයගෙන් මා ඇහුවනෙ රැවුල බාන් නැත්තෙ ඇයි කියල. ඒකට පිලිතුරක් විදියට තමයි මේ කතාව කිව්වෙ.
මොහු පත්වීම් ගත් දිනයේ ඒ ගුරුවරුන්ට අධ්යාපන කාර්යාලයේ රැස්වීමක් තියල උපදෙස් දුන්නලු .අර අධ්යක්ෂක විනය පිලිබඳ දේශනයක් කළාලු. රැවුල් කොණ්ඩ ගැනත් කතා කළාලු. එක පාරටම මේ ගුරුවරයගෙ ලින්කන් රැවුල දැකල ඔහුට තද වුනාලු නාලගිරි ඇතාට වගේ. කිව්වලු රැස්වීමෙන් පස්සෙ කාමරේට ඇවිත් එයාව හමුවෙන්න කියල. බය වුනු අනිත් ගුරුවරු මුහුණට මුහුණ බලා ගත්තලු. මොහුට නම් ගානක් වත් නැහැලු. ඉතින් 71 විප්ලව කාරයින්ට කොයින්ද බය දැනෙන ස්නායු .
මිනිහ අන්තිමේදි ගියාලු අධ්යක්ෂ කාමරයට. එයා මෙයාව දැක්ක ගමන්ම බනින්න පටන් ගත්තලු. ඇයි ඕයි තමුසෙ වැඩ කරන්න යන්නෙ ගව පට්ටියකද? හෙට වෙනකොට රැවුල බාල නොතිබුනොත් බලාගෙනයි කියල හෙන සද්දයක් දැම්මලුනෙ. ආයි ඇහුවලු ඇයි ඔය රැවුල වවන්නෙ කියල.
ඒ පාර අපේ ගුරා රැවුල ටිකක් අත ගාල ගානක් නැතිව කිව්වලු
” මට රැවුල බාන්න ගියාම සර්ව මතක් වෙනව. උදේට හැමදාම සර්ව මතක් වෙනවට මා කැමති නැහැ කියල “
මට සර්ගෙ අම්මව මතක් වෙනව කියන එක බොහෝම අමාරුවෙන් බ්රේක් කර ගත්තලු.
ඉතින් මේ කිව්ව කුණුහරපෙට දෙකොන මූට්ටු වෙච්ච සර් ඇහුවලු තමුසෙගෙ ඔය පිස්සු කතාවෙ තේරුම මොකක්ද ඕයි තමුසෙට නුහුගුණද කියල.
දැන් අපේ ගුරුතුමා සර්ට කියනවලු , සර්ට මතකද 1971 විද්යෝදය කැම්පස් එකේ කැරලිකරුවන්ගෙ පුනරුත්ථාපන කඳවුර. සර්නෙ ඒකෙ අණ දෙන නිලධාරියා. ඒකෙ සැකකරුවන් වැඩිවෙල උතුරා යන කොට සර් නේද කිව්වෙ අපිට පැනල යන්න කියල. අපි සර්ගෙ වචනෙ විස්වාස කරල පැන යන විට සර් නේද අණ දුන්නෙ අපිට වෙඩි තියන්න. කොච්චර දෙනෙක් මැරුම් කෑවද එදා. මෙන්න බලන්න සර් මට වෙඩි වැදුනු තැන. මා පූරුවෙ වාසනාවකට තමයි සර් බේරුනෙ කියල රැවුල හොඳට පාදල මුහුණෙ විශාල තුවාල කැළල සර්ට පෙන්නුවලු . මටත් එදා ඒ විදියටම ඒ කැළල ඔහු පෙන්නුවා. ඒක බයානක කැළලක්. ඒ කැළල රැවුලෙන් වහගෙන තමා මිනිහ ඉඳල තියෙන්නෙ.
මේ කතාව අහපු අර සර් අසිහියෙන් වගේ බලාගෙන හිටියලු. ඔලුව ටයි එක ලඟට කඩා වැටුනලු. ටික වෙලාවකට පස්සෙ බොහොම අමාරුවෙන් වචන ගැටගහල කිව්වලු ,
” පුතා මට සමාවෙන්න. ඕන උදව්වක් අවශ්ය වුනොත් මාව හමු වෙන්න කියල “
.
ඉතින් ඊට පස්සෙ අපේ ගුරු තුමා කවදාවත් අර සර්ව හමුවෙන්න ගියෙත් නැහැලු. කවදාවත් රැවුල බෑවෙත් නැහැලු.
අද මේ කතාව මා කිව්වත් කතාවෙ චරිත දෙක නම් අපෙන් සමුගෙන බොහෝ කල්.
………………………………නිමි……………………………….
උපුටා ගැනීම: Jayakumara Ranchagoda