මම අවස්ථාවක් ලැබුනාම කරන දෙයක් තමයි රියැක්ෂන්ස් බලන එක.ඕගොල්ලොත් මේවා කරනවා ඇති.
අපේ පරණ කඩය කඩලා අපි අලුත් බිල්ඩිමක් හදන්න ගත්තා.ඇතුලේ වැඩ කලේ පාර පැත්ත ලොකු ඉටි රෙද්දකින් කවර් කරගෙන.එක දවසක් බාස් කෙනෙකුයි ගෝලයො දෙන්නෙකුයි වැඩ කරද්දි,එලියෙන් මගෙ නම කියලා “පුතා පුතා”කියන ලොකු කාලගෝට්ටියක් ඇහුණා.මම ඉටි රෙද්ද එහා මෙහා කරලා බැලුවා.අදුරන ඇන්ටි කෙනෙක් කුතුහලයෙන් මුසපත් වෙලා ඇවිත්.රියැක්ෂන්ස් නැරඹීමේ මහගු අවස්ථාවක්.මම පිලිතුරු වහාම සූදානම් කරගත්තා.
“මේ මොකද මේ වහගෙන ?රෙපයාර්ද?”
“නෑ අලුතෙන්ම හදනවා ඇන්ටි”
“මොනවා..!නඩුවක් තිබුණා නේද?”
“අපි දිනුවා ඇන්ටි”
“එතකොට අනිත් කට්ටිය?”
“පැරදුණා”
ඇන්ටි මගෙ දිහා ඇස් ලොකු කරලා බලලා.ඊලග ප්රශ්න ටිකට ශක්තිය එකතු කරගත්තා.
“නඩුව අවුරුදු කීයක්ද?”
“අවුරුදු විසි දෙකයි,තාත්තා පහලොවයි මම හතයි”
“මෙතන පර්චස්?”
“පහලොවමාරයි “
“මේ පැත්තෙ මායිම මොකක්ද?”
“අර බිත්තිය”
“අනිත් මායිම”
” අර තාප්පෙ”
“එතකොට පිටි පස්සේ මායිම?”
“කාණුවනෙ!”
ඊලගට ඇන්ටි වැඩ බිම සිසාරා බැලුවා.අපේ ප්රශ්නෝත්තර සංග්රහයට කට්ටිය කොර වෙලා.මේසන් බාස් එක අතකින් මේසන් හැන්දයි අනිත් අතින් බ්ලොක්ගල් බාගෙකුයි අරන් කටත් ඇරගෙන බලන් ඉන්නවා.බදාම අනන ගෝලයා සවල් පාර මගදි නවත්තලා සවල භාගෙට උස්සන් බලන් ඉන්නවා.බදාම අදින ගෝලයා බාල්දි දෙක අත් දෙකට උස්සන් ගල් ගැහිලා ඉන්නවා.
“මේගොල්ලො කොන්ත්රාත් ද දවස් පඩිද?”
“කොන්ත්රාත්”
“ගලක් බදින්න කීයද?”
“හතලිහයි!”
“කපරාරු අඩියක්?”
“විස්සයි!”
“එතකොට මේ දවස් ටිකේ වෙලදාමකුත් නෑ නේද?”
“නෑ අපි බඩු විකුණනවා පිටිපස්සෙ තියාගෙන.”
ප්රශ්න වලට සිං සිං ගාලා පිලිතුරු හම්බු වුණ නිසා ඇන්ටි දෙගිඩියාවට පත් වුණා.
“හරි පුතා මං එන්නම්”ඇන්ටි යන්න ගියා.
මේසන් බාස් කට හඩ අවදි කලා.
“අද ඒ ගෑනු කෙනාට නින්ද යයි නේද මහත්තයා ?ඔක්කොම විස්තර අඩුපාඩු නැතුව අහගත්තනේ?”
“අනිත් දවසේ ඔප්පුවෙයි,ප්ලෑනෙයි ,බාසුන්නැහේගෙ ඇග්රීමන්ට් එකෙයි ෆොටෝ කොපි ගහලා අතට දෙන්න මහත්තයා.ඒක ලේසියි!”බදාම අනන ගෝලයා බුලත් කෙලපාරක් වැලි ගොඩට ගහලා මට උපදෙස් දුන්නා!
******
අදුරන මලගෙදරක ගිහින් ඉද්දී හිතවත් අයියා කෙනෙක්(නම රංජිත් කියල හිතමු) මගෙන් අලුතෙන් හදන ගෙදරකට ලී ගැන උපදෙස් අහමින් හිටියා.
නෑදෑ වෙන ජෝඩුවක් අපිට ප්ලග් වුණා.
“රංජිත්,තාම බබාල නෑ නේද?”ඒ ජෝඩුවේ ඇන්ටි පැනපු ගමන් ඇහුවා.
අයියගෙ මූණ බලන් ඉද්දි ඇකිලිලා ගියා.”වෙලාව එන්න ඕනනෙ නැන්දේ?තාම නෑ ඉතින්.”අයියා හිමීට කියා ගත්තා.
“ආයෙ ඉතින් මොන වෙලාවක්ද? දැන් බැදලා අවුරුදු කීයක්ද?අපිට ඔය වෙද්දි ලොකු පුතයි පොඩි පුතයි දෙන්නම ඉන්නවා! නේද අනේ?”ඇන්ටි අංකල්වත් කතාවට ඇදගත්තා.
“ඔව් නැතුව?”අංකල් අහංකාර හිනාවක් දැම්මා.”ඩොක්ටර්ස්ල මොකද කියන්නෙ රංජිත් ?”
ඇන්ටිව අවුරුදු ගාණක් ආශ්රය කරල අංකල් චීත්තයක් වෙලාද නැත්නම් චීත්තෙට චීත්තෙ කාලෙකට කලින්ම සෙට් වෙලාද කියලා මම කල්පනා කලා.
“ඩොක්ටර්ස්ල එක එක ඒව කියනවා ඉතින්.”අයියා කාටවත් මූණ නොදී කිව්වා.අපි අතරෙ නිස්සද්දතාවක් පැතිරුණා.ටික වෙලාවකට පස්සේ ,
“වයිෆ් ගෙදර තනියම මම ගිහින් එන්නම් මල්ලි. එන්නම් අංකල් .එන්නම් ඇන්ටි.”රංජිත් අය්යා ආයාසයෙන් හිනාවක් මවාගෙන අපෙන් සමු අරන් ගියා.
අංකලුයි ඇන්ටියි හරිම තෘප්තිමත් මූණු දෙකකින් බලන් හිටියා.අපි කොලාට තොපිට බෑනෙ කියන්නා වගේ.
“ඔයත් ඉගෙන ගත්ත දෙයින් ප්රයෝජනයක් ගන්නෙ නෑ නේද? කඩයක් කර කර ඉන්නවා?”ඊලගට ජෝඩුව මා දිහාට හැරුණා.මට කම්මලේ බල්ලට වගේ ඕක පුරුදුයි.මගේ ජීවනෝපාය ගැන මම තෘප්තිමත්.ඉතින් මම බොහොම සන්තෝෂෙන් “ඔව්”කිව්වා තනි වචනෙන්.
මාව දුර්මුඛ කරන්න බැරිවුණ නිසා ආයෙ මාතෘකාව රංජිත් අය්යා දිහාවට හැරුණා.
“මොනවද මිනිහා ඔයත් එක්ක ඔච්චර කතා කලේ”මලගෙදරින් පිට වෙලා යන රංජිත් අය්යා දිහා බලමින් අංකල් සමච්චලෙන් ඇහුවා”දැන් මිනිහා කාටවත් වැඩිය මූණ දෙන්නෙ නෑ වචනෙන් දෙකෙන් ලිස්සලා යනවා!”
(දෙන්නම් ජම්බු තොපි දෙන්නට)”රංජිත් අය්යා අලුතෙන්ම ගෙයක් හදනවා.ඒක ගැන කතා කලේ”මම
වැඩි ගණනකට නැතිව කිව්වා.
අංකල්ගෙයි ඇන්ටිගෙයි ඇස් උඩ ගියා.
දෙන්නට ඒක දිරවගන්න ටිකක් වෙලා ගියා.
“අර පරණ ගේ වෙනුවට?තනි තට්ටුවෙ එකක් වෙන්න ඇති”ඇන්ටි විමසිල්ලෙන් ඇහුවා.
“නෑ තට්ටු තුනේ!”මමත් මම හදන එකක් වගේ ප්රීතියෙන් කියල දැම්මා.ඇත්තටම මට කිසිම දැනුමක් තිබ්බෙ නෑ ඒ හදන ගේ තට්ටු කීයක්ද කියලා.නමුත් රියැක්ෂන්ස් බැලීම වැදගත්නෙ.
ඇන්ටිගෙ මූණ බලාගෙන ඉන්දැද්දි වෙනස් වෙලා ගියා.”මොන එහෙකටද ඔය හැටි ගෙවල් ලමයිනුත් නැති ජෝඩුවකට!තණ්හාව නේද අනේ?”ඇන්ටි අංකල්ව දුකට හවුල් කරගත්තා.
“උඩ තට්ටු දෙක කුලියට දෙනවා කිව්වා. බබෙක් හම්බ වෙන්නත් ප්රයිවට් හොස්පිටල් ට්රීට්මන්ට් ගොඩක් කරනවා කිව්වෙ? දැන් හරි දියුණු ක්රම තියේලු.”මම ආයෙ නොදරුවෙක් වගේ කියාගෙන ගියා.ඒවත් අතින් දාපුවා.ඕවගෙ ඇත්ත නැත්ත හොයන්න අමාරු බවත් මන් දැනන් හිටියා.ජෝඩුව නිකම් තව් මැරිලා ගියා.
“අපිත් යන්නම් පුතා රෑ වුණා”අර මනුස්සයා තලා පෙලපු තෘප්තිය සහමුලින් වාශ්ප කරගෙන ජෝඩුව මගෙන් සමු ගත්තා.
*******
එක්තරා පැණියක් ප්රසිද්ධ වුණු කාලෙ සේල්ස් රෙප් කෙනෙක් මාව හම්බු වෙන්න ආවා.මිනිහා ආව වෙලේ ඉදන් වෙනදට වඩා අමුතුයි.මාව වර්ණනා කරනවා.දවස් හැටේ චෙක් එකට දවස් හැත්තෑපහක් හරි දින දාන්න කියනවා.යන්න වුවමනාවකුත් නෑ.
මගේ මේසය උඩ සැනිටයිසර් බෝතලයක් තියනවා නිතරම. එදා අමතක වීමකින් මේ සැනිටයිසර් එකත් එක්ක එක පෙලට මම පහන තියන්න ගන්න පොල්තෙල් බෝතලෙත් තියලා තිබුණා.ඒක ටිකක් අමුතු දුඹුරු පාට බෝතලයක්.සෑහෙන වෙලාවක් කැරකි කැරකි ඉදලා මිනිහා යන්න ලෑස්ති වෙලා එකපාරටම දැක්කා වගේ මේ බෝතලේ දිහා බලලා අහනවා,
“බොස් නම් පැණිය ගෙන්නා ගෙන නේද?බොස්ලට කන්ටෑක්ට්ස් ඇතිනෙ.මටත් බෝතලයක් ලයින් කරල දෙන්නකෝ?”
මම කතා නැතිව තෙල් බෝතලේ අරගෙන පත්තු වෙන පහනට තව තෙල් ටිකක් දැම්මා.
මිනිහා පෙන්නපු රියැක්ෂන් එක තමයි
බකස් ගාලා හිනා ගිය එක.මෙච්චර වෙලා දාපු ඇක්ටින් වැඩක් නැති වුණු බව දැනගෙන අවංකවම මිනිහට හිනා ගියා.මටත් හිනා ගියා.
**********
බදින්න කලින් මගේ බිරින්දෑත් මාත් මොකක්දෝ වුවමනාවකට මහරගම ගියා.
ඇමිටි බිල්ඩිම හරියේ ඇවිදන් යද්දි ආබාධිත පිරිමි මනුස්සයෙක් පේව්මන්ට් එකේ වැතිරිලා මගේ නෝනාට හරි දුක හිතෙන විදිහට “අම්මා,බඩගිනියි! අම්මා,බඩගිනියි අම්මා! “කිය කියා අතපෑවා.
මම පර්ස් එක ගන්න හැදුවත් මගෙ නෝනා ඒක වැලැකුවා.”සල්ලි දුන්නට මේ මනුස්සයට ඇවිදන් යන්න බෑනෙ අනේ!අපි කෑම එකක් අරන් දෙමු.”
සල්ලි ගන්න දත මැදගෙන හිටපු හිගන්නාගෙ මූණ බලන් ඉන්දෙද්දි ඇකිලිලා ගියා.මම ඒක දැක්කා. ඒත් නෝනා කියපු නිසා ඔක්කොම වැඩ නවත්තලා කඩේකින් හොද බත් එකක් ගෙනත් දුන්නා,
“ආ ඔයාගෙ හිගන පුතාට දෙන්න අම්මා”කියලා හිමීට කියන ගමන්.
නෝනා හරිම භක්තියෙන් මිනිහට කෑම එක දුන්නා.දැන් මිනිහට බඩගිනි නෑ වගේ. ඒත් කතා නැතිව මූණ එල්ලගෙන ඒක ගත්තා.ආයෙ ඉතින් මොකටද මං මිනිහට පොඩි ගාණකුත් දුන්නා.එතකොට නම් මල් හිනාවක රියැක්ෂන් එකක් පෙනුණා.
සංචරණ සීමා නිසා ලගකදි නෝනගේ හිගන පුතාව අපිට බලන්න යන්න බැරි වුණා.
**********
“හරි මචං අපි එකතු වෙලා දුරගමනක් යමු එහෙනම්.තෙරුවන් සරණයි”
පහුගිය ඇදිරිනීතිය කාලෙ (සංචරණ සීමා නෙමෙයි )මට නෙට්වර්ක් මාකටිං ගැන අදුන්වලා දෙන්න කතා කරපු යාලුවෙක් පලවෙනි කෝල් එක අවසන් කලේ ඒ විදිහට.
මම ස්වාභාවයෙන්ම තෙරුවන් සරණයි,බුදුසරණයි,නමෝ බුද්ධාය වගේ වචන පාවිච්චි කරන අයට බයයි.ඒ වචන උතුම් වචන.ඒවා අවංක ආශිර්වාදයකට භාවිතා කරන හුගදෙනෙක් ඇති.ඔවුන්ට හදවතින්ම ගරු කරනවා.හැබැයි මට හමු වුණු හුගක් පොලුකාරයෝ,ගේම් කාරයෝ ඒ වචන වලට මුවා වුණු අය.
මට විකුණන්න හදන සෝලා පවර් සිස්ටම් එක ඊට හුගක් අඩුවට තියෙන බව මම හොයාගත්තා.මෙලෝ රහකට නැති කෑම මේස පුටු කට්ටලයක් මං විකුණන ගාන වගේ දෙගුණයකටත් වැඩියි.
ඊලග සැරේ ටීම් ලීඩර්ද කවුද එක්ක මාව කොන්ෆරන්ස් කෝල් එකකට දැම්මා.
මිනිහගෙ දියුණුව ගැන පම්පෝරිය අහන් ඉදලා මම මෙහෙම ඇහුවා.”මමත් බිස්නස් එකක් කරන්නෙ.මිනිස්සු තමන්ට අවශ්යම දෙයක් ගන්නෙත් කේවල් කරලා, තෝරලා!එතකොට දැකපු නැති අනවශ්ය දෙයක් වැඩි ගාණකුත් ගෙවලා ගන්න කියන්නෙ කොහොමද මං?”
දෙන්නා ටිකක් නිහඩ වුණා.”ප්රඩක්ට් එක ගැන,ප්රයිස් එක ගැන හිතන්න එපා!මේකත් එක්ක ලැබෙන ඩීලර්ශිප් එක ගැන හිතන්න.ඒක අමිලයි!”ටීම් ලීඩර් බුවා
වහාම කිව්වා.
මම ඒක පිලිගත්තා වගේ මෙහෙම කිව්වා.”ඒත් මගේ ලග සල්ලි නෑනෙ මේ දවස්වල”
“පොලියට ගන්න.නැත්නම් අදුරන කීප දෙනෙකුගෙන් දහ දාහ,පන් දාහ ගානෙ ඉල්ලගන්න.මාස එකහමාරෙන් ඔක්කොම ණයත් බේරලා සෙට්ල් වෙන්න පුලුවන්.මිනිස්සු ආයෝජනය කරන්නෙ එහෙමයි!”ඔන්න මට ලැබුණු උපදෙස්.
“මං හිතලා බලන්නම් “
“ලොකුවට හිතන්න එපා.කරනවනම් කරන්න.නැත්නම් අතෑරලා දාන්න.සිම්පල්!
හුග දෙනෙක් බලන් ඉන්නවා සම්බන්ධ වෙන්න.කරනවනම් ඉක්මනටම කරන්න.නැත්නම් වැඩක් නෑ.”ටීම් ලීඩර් කිව්වා.
” ටීම් ලීඩර් අයියා කතා කලාට පස්සෙ ලේසියෙන් කවුරුවත් බෑ කියන්නේ නෑ මචන්.මේ අයියා අද ලබාගෙන තියෙන දියුණුව මාත් කවදහරි ලබාගන්නවා.අපිත් එක්ක සම්බන්ධ වෙන්න.”මගේ යාලුවා කිව්වා .ඇත්තටම මිනිහා මට කාලෙකට පස්සෙ කතා කරපු අදුරන කෙනෙක් විතරයි.
“මට බෑ මචං තෙරුවන් සරණයි!” කණගාටුවට කරුණ නම් රියැක්ෂන්ස් පෙනුණේ නෑ.
**********
මේ එකිනෙකට සම්බන්ධ නැති කතා ටිකක් ලියාගෙන මේ යකා මොනවා කියන්න යනවද කියල ඔබට හිතෙනවා ඇති.ඔබට කෙනෙක්ව හමු වුණාම පහත ප්රශ්න වගේ ඒවා අහන්න කලින් දෙවරක් හිතන්න.මොකද ඔබටත් රිටන් එක වදින්න පුලුවන් නිසා.අපි කවුරුවත් අංගසම්පූර්ණ නෑනෙ.
“තාම කවුරුවත් බදින්න හම්බු වුණේ නෑ?”
“තාම ජොබ් එකක් නෑ නේද?
“අපෝ තාම ට්රේනින්ද?”
“ඉගන ගන්න එක අතෑරියද?”
“බබාල නැද්ද?”
“දැන් කාලෙ බිස්නස් වලින් ලාබ තියෙනවද?”
“බිස්නස් කරනවනම් ඔහොම පොඩියට හරි යන්නෙ නෑ!මහා පරිමාණයෙන් ම කරන්න ඕනෑ.”
“එතන පඩි නෑ නේද?”
“ආපෝ කෙට්ටු වෙලා?”
“අම්මෝ මහත් වෙලා!”
“කලු වෙලා!”
“කහ වෙලා!”
“ඇයි ඕක ගත්තෙ ?ඕක දැන් මාකට් නෑනෙ?”
ඔබට දෙයක් තිබුනා කියලා නැති අයට පම්පෝරි ගහන්න එපා.මිනිස්සුන්ව මානසිකව වට්ටලා සතුටක් ලබන්නත් එපා. ඕපදූප හොයන්න ආසාවට තමුන්ගෙ වැදගත් කම හෑල්ලු කරගන්න එපා.තමුන්ට දෙයක් ඕනෑ නම් ගරු රගපෑම් නොකර කෙලින් ඉල්ලන්න.පුලුවන් නම් දෙයි.නැත්නම් බෑ කියයි.ඒ වගේම තමුන් අමාරුවක වැටුනා කියලා තව අය ඒකට ඇදගන්නත් ඕන නෑනෙ.ඔන්න ඔය ටිකයි මට කියන්න ඕනෙ වුනේ.අපේ මූණේ තප්පරේක රියැක්ෂන් එකකින් හිතේ තියන ජරාව එලියට පේනවා. මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගැන ප්රශ්න ගොඩක් අහලා අපි එකතු කරගන්න තොරතුරු සම්භාරය ඇත්තටම අපිට වැදගත් ද?ඉතින් වැදගත් නැති තොරතුරු නොසොයා ඉමු.
උපුටා ගැනීම: නාලක කල්දේරා