මම මේ සිදුවීම් ටික අඩයාලමට දාන්න ඕනෙ කියලා හිතුවෙ කාට හරි ප්රයෝජනවත් වේවි කියලා හිතුණ නිසා. විශේෂයෙන් මේ කියවන අයගේ පොඩි දරුවන් වෙනුවෙන්.
මම පුංචි කාලෙ හුගක් වේදනා වින්ද දරුවෙක්.
කෑම බීම අඩුපාඩුවක් නිසා නෙවෙයි.
මෙය කියවගෙන යන විට ඔබට වැටහෙයි.
මම සාමාන්ය මධ්යම පාන්තික දරුවෙක්.
වැවිමල් සොයුරියන් දෙන්නයි මට බාල සොයුරායි.
කාලයක් තිබුණා වැඩිමල් දෙන්නා පාසල් ගියාම ගෙදර ඉතිරි වෙන්නේ මායි මල්ලියි.
පාං කාරයෙක් එනවා හැමදාම. අපිට එයාව වටින්නෙ පාං වලට අමතරව පාට පාට කේක් ගේන නිසා.
මායි මල්ලියි මග බලාන ඉන්නවා එයා එනකම්.
අපිට ඕන පාට වලින් කේක් කෑලි දෙකක් තෝර ගත්තම අම්මා ඇවිත් සල්ලි ගෙවනවා.
එක දවසක් අම්මා අතේ කේක් කෑලි දෙකකට සල්ලි තියෙන්න නැතුව ඇති.
මල්ලි තෝරගත්ත කෑල්ල විතරක් අරං දීලා අම්මා එතනින් ගියා.
මම බිම පෙරලුනා. පෙරලි පෙරලි ඇඬුවා .
මාව නලවන්න කවුරුවත් ආවෙනෑ.
මම පාසල් යන්න පටන් අරන් දෙකේ පන්තියෙදි මැඩම් කිව්වා ගොතන්න උගන්නන්න රෙදිපටි තුනක් ගේන්න.
මම ගෙදර ඇවිත් කිව්වා රෙදිපටි තුනක් ගෙනියන්න ඕන බව.
“ඇයි මොකටද?”
අම්මා ඇහුවා .
“ගොතන්න උගන්නන්න ගේන්න කිව්වා “
“ඉතිං ටීචර් ගෙ කොණ්ඩෙ අල්ලං ගොතන්න බැරියැ?”
අම්මගෙ විහිලුවට තාත්තා ඇතුළු සේරම හිනාවුණා.
කොහොමහරි මම එදා රෙදිපටි ගෙනියන්නෙ නැතුව දඬුවම් වින්දා.
තව දවසක් පොඩි අක්කා ඉස්කෝලෙන් නරක වචනයක් ඉගෙන ගෙන ඇවිත්!
එයාට දැන් මේක හයියෙන් කියන්න ඕන වෙලා.
“අම්මේ….නංගි හු#& කිව්වා”
කියලා බෙරිහන් දුන්නා .
ඒ වෙනකොට මම ඒක අහලා තිබුණේ නැහැ.
අම්මා දුවගෙන ඇවිත් මගේ කටට ගහගෙන ගහගෙන ගියා.
ඒ හුඟක් පුංචි කාලෙ සිදුවීම් .
මට සතුටින් ගතකරපු
තරුණ කාලෙකුත් තිබුණෙ නැහැ.
මම මේවා ලිවුවෙ තව දරුවෙකුට ඒ වගේ දේවල් අපි සිතන්නේ නැතුව වෙනවානම් එය මග හරවන්න.
පසු කාලයක ගුරුපත්වීමක් ලැබූ මට
උගන්නන්න ලැබුණේ එදා මා පසු කළ වයසේ දරුවන් . මම ඒ අයට ඉගැන්නුවේ ගෙදර පරිසරය ගැන මනා අවබෝධයක් ලබා ගනිමිනුයි.
විශේෂයෙන් මට මතකයි විශය නිර්දේශයේ තිබුණා පටිතුනෙන් ගොතන්න.
හුඟක් දෙමව්පියෝ බොහොම දුප්පත් අය.
ඒත් දරුවන්ට එව්වේ පාට තුනකින් රිබන්පටි.
මට ඒ අය ගැන හරි ආඩම්බරයි !
උපුටා ගැනීම: Shiwani Sooriyabandara