රුපියල් විස්ස සහ කසාදය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදා දවසෙත් දවල් එකට විතර මම කොළඹින් මහරගම බස් එකකට නැග්ගෙ නුගේගොඩට යන්න. බස් එකට නගින වෙලාවේ ඒකෙ හිටියෙ දෙන්නෙක් තුන්දෙනෙක් උනාට මම බහින තැන ලං වෙනකොට පොල් පැටෙව්වා වගේ සෙනග වැඩි වෙනව . ඒ බව දන්න නිසා මම වාඩි උනේ පිටිපස්සෙ දොර ගාවම තියන දෙන්නෙකුට විතරක් වාඩි වෙන්න පුළුවන් සීට් එකේ.
ටික වෙලාවක් ඉන්නකොට බස් එකට එක්කෙනා දෙන්න නැගල වාඩි උනා . ඒත් මං ලග සීට් එක හිස් . බස් එක යන්න පටන්ගන්න මොහොත වෙනකොට කොහේදෝ ඉදල ආපු, පොත් දෙකතුනක් අතේ තියාගත්ත පිරිමි ළමයෙක් මං ලග වාඩි උන නිසා මට ජනේලය අයිනට යන්න සිද්ද උනා. බැලු බැල්මට මේ ළමය මට වඩා ටිකක් වයසින් වැඩි පාටයි . ක්ෂණිකව මම ජනේලය තිබුණ අයිනට මාරූනා. ඊට පස්සෙ ජනේලෙන් එහා පැත්තෙ පේන බස් , මිනිස්සු සහ දුම් පිරුණු පරිසරය දිහා ඔහේ බලාගෙන හිටපු එක.
ඒ අතරේ කොන්දොස්තර මහත්තයා ඇවිත් මගෙන් ගමන් ගාස්තුව නම් වැඩියෙනුත් එක්ක ඉල්ලගත්ත. ඒත් මම ඉතුරු සල්ලි ගන්න උත්සහ කලේ නෑ. මම කලේ ආපහු ජනේලෙන් එහා පැත්ත බලාගෙන හිටපු එක.
ටික වෙලාවක් යනකොට බස් එක ඇතුලෙන් කොන්දොස්තර මහත්තයගේ නොවන ආගන්තුක කටහඩක් ඇහෙන්න පටන් ගත්ත. මම දැහැනෙන් මිදිල බස් එක ඇතුලෙ වෙන්නෙ මොනවද කියල බැලුව. මහත්තයට පිං සිද්ද වෙනවා, නෝනට පින්සිද්ද වෙනව, බබාට පින් සිද්ද වෙනවා කියාගෙන සල්ලි ඉල්ලන කෙනෙක්ගෙ සද්දෙ තමයි මට ඇහිලා තියෙන්නෙ.
අතේ වැඩිය සල්ලි නොතිබුන නිසාත්, මම වාඩි වෙලා හිටපු තැනට ගොඩක් ඉස්සරහින් ඒ මිනිසා හිටපු නිසාත් මම අපහු ජනේලෙන් එලිය බලාගෙන ඉන්න පටන් ගත්ත.
ටික වෙලාවක් යද්දී අර ආගන්තුක හඩ ඇහෙන්න පටන්ගත්තෙ මගේ දකුණු කණ ගාවින්මයි. විනාඩියක් දෙකක් එකම දේ එකම සද්දෙන් ඇහුන නිසා මම ආපහු ඔලුව හරවල බස් එක ඇතුල බැලුව.
ආගන්තුක මිනිසා මම හිටපු තැනට ඇවිත් ඔහුගේ දුක නොනවත්වා කියවනව. මගේ දකුණු පැත්තෙ වාඩි වෙලා හිටපු පිරිමි ළමය ඔහේ ඉස්සරහ බලාගෙන ඉන්නව ගොලුවෙක් බීරෙක් වගේ.
ඒත් ඊලග මොහොතෙ සාක්කුවෙන් ගත්ත රුපියල් විස්සෙ නෝට්ටු කොලයක් යාචක මිනිසා අතේ තියපු පිරිමි ළමයා අපහු ගල් පිළිමයක් වගේ ඉස්සරහ බලාගෙන ඉන්න පටන් ගත්තා. මුදල් ලැබුනත් ඔහු ඉවතට ගියේ නම් නෑ. ඒ වෙනුවට ඔහු කලේ පිං දෙන එක.
සාමාන්යයෙන් කියන දේවල් වලට අමතරව “මහත්තයගෙයි නෝනගෙයි ජිවිතේ යහපත් වෙන්න ඕනෙ මේ කරන පින් බල මහිමයෙන් .දෙන්නගෙ හිතේ කහටක් ඇතිවෙලා නම් ඒවා නැතිවෙලා ඉදිරි ජිවිතේ යහපත් වෙන්න ඕනේ, කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනෙ ……” වගේ ගොඩක් දේවල් කියනව මම අහගෙන.
“මහත්තයගෙයි නෝනගෙයි ජිවිතේ යහපත් වෙන්න ඕනෙ, දෙන්නගෙ හිතේ කහටක් ඇතිවෙලා නම් ඒවා නැතිවෙලා ඉදිරි ජිවිතේ යහපත් වෙන්න ඕනේ ……” කියන ටික ඇහෙනකොටම මගේ මෝඩ මොලේට තේරුණා උනේ මොකක්ද කියල. එත් එක්කම ඒ පින් දීම මටත් මහා කන්දොස්කිරියාවක් වෙලා තිබුන නිසා මම කලේ මගේ අතේ ගුලිකරගෙන තිබුන රුපියල් විස්සක කොලයක් අර මිනිසාට දීපු එක.
එත් එක්කම මගෙත්, මගේ දකුණු පසින් වාඩි වෙලා ගිය පිරිමි ළමයාගේත් මුහුණු දිහා ප්රශ්නාර්ථයකින් බලපු යාචක මිනිසා ක්ෂණිකව බස් රථයෙන් බැහැල යන සද්දයට දැහැනෙන් මිදුන වගේ මගේ දිහා බලපු පිරිමි ළමයා ” විස්ස නොදුන්නනම් කසාදත් බන්දලා දෙනවා ” කියමින් ආපහු ගල් පිළිමයක් වගේ නිශ්චල උනා.
  උපුටා ගැනීම:  Vindya Thilakarathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!