මිනිසෙකු ගෙ ජීවිතේ සුන්දරම කාලය පාසල් කාලය යැයි ඇසීමෙන් මට සතුටක් දැනෙන්නේ නෑ .කුසගින්න කොහොම සතුටක් ගෙනේවිදැයි
මම දන්නෙ නෑ .හුළංකීරිය අලයක්, බතල අලයක්
පොල් ඇබින්දක් වත් නැතිව කාල වතුර ටිකක් බීලා ඉස්කෝලෙට ගියේ එහෙමත් දවසක. දුර්වර්ණ වෙච්ච සුදු කොට කලිසමට ඊටම ගැලපෙන කමිසයක් ඇදගෙන යන හැම දවසකම අම්මාගෙ ඇස් දෙක කදුලුවලින් පිරිලා තිබුණා . ඉස්කෝලෙ කොල්ලෝ මට විහිලු කරන්නේ
‘කිලිට්ටා’ කියලා .ඒ නම මුලු ඉස්කෝලෙම ප්රසිද්ධ යි.
අපේ ගෙදර තියෙන්නෙ කුඹුරු යායක් මැද පුංචි ගොඩැල්ලක . ගෙදර කිව්වත් මිනිස්සු කියන්නේ වාඩිය කියලා .වරිච්චි බිත්තියට මැටිබෝල ඔබලා
පොල් අතු හෙවිල්ලලා . අම්මටයි ,තාත්තටයි මටයි අතපය දිග හැරලා නිදාගන්න නම් පුළුවන් .
මොකද ගෙයි බඩු මුට්ටුවකට තිබුණෙ තාත්තා නිදාගන්න වැල් කැඩුණු ලණු ඇද විතරමයි .
මිදුලේ පොලවට සමාන්තරව ඇලවෙලා තියෙන පොල්ගහ මගේ පුටුව. කණු හතරක් හිටවල ලෑලි ගහලා හදාගත් මැස්ස මගේ ලියන මේසෙ. වස්සවලාහක දෙවියන් වහන්සේ වැඩි ය දවසට මගේ ඉස්කෝලෙ වැඩ නතර කරනවා.
අපේ ගෙදර ඉදල ඉස්කෝලෙට හැතැක්ම තුනක් විතර තියෙනවා . බස් එකෙන් යනවා නම් සත විස්සක් ඕන.අම්මා කොහොමහරි සත විසිපහක් හොයලා දෙනවා. මම වැසි දවසක වත් බස් එකේ ගියේ නෑ . ඉතිරි කරගත්ත සල්ලිවලින් තමයි අවශ්ය දේවල් ගත්තෙ . අම්මා හිතන්නැතෙ ඉස්කෝලෙට කොපි පොත් අවශ්ය නැතිව ඇති කියලා .
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය ආරම්භ වනුයේ මම අ.පො.ස.( සා. පෙල ) ට ඇතුළත් වුනාට පස්සෙ . ඒ අවුරුද්දේ අපේ පන්ති භාර ගුරුවරිය සහ ගණිතය හාර ගුරුවරිය වුනේ අලුතින් පැමිණි
සේපාලිකා කාරියවසම් මැතිනිය යි.මාසයකට ව්තර පස්සෙ මගේ ගණිතමය හැකියාව ගැන සේපාලිකා මිස් පුදුමයෙන් වගේ අගය කළා .
“අනුර , පුතා ඔයාට පුලුවන්ද ‘රත්න ගණිතය ‘
පොතක් අරගන්න. ඒක රුපියල් විස්සක් විතර වෙයි. ඒකෙ ඉතාමත් පැහැදිලිව නිදර්ශන මගින් ගණිත ගැටළු විසදන හැටි කියලා තියෙනවා .මාස හයක් විතර මහන්සි වෙන්න . මම උදව් කරන්නම් .”
සේපාලිකා මිස්ගෙ කටහඩේ තිබුණෙ මහා කරුණාවන්ත බවක්. ඈත දෙව්ලොවක සිට
මා අමතන බවක් මට දැනුණා .
” අම්මා මට අච්චු පොතක් ගන්න වෙලා තියෙනවා . හැබැයි ලොකු මුදලක් යනවා . රුපියල් විස්සක් විතර වෙනවා . “
අම්මා ගේ ඇස් ව්ශාල වුනේ කදුලක් එක්ක.
” මං මොනවා හරි කරන්නම් ‘
එදින සවස ඇය රත්න ගණිතය පොතක් මට ගෙනත් දුන්නා . ඇගේ කන් පෙති හිස්ව තිබුණා .මම දරාගත නොහැකි ශෝකයකින් හඩා වැටුණා.
“ඇයි පුතේ උඹ අඩන්නෙ . උඹට පුළුවන් දොහොක බේරලා දීපන් “
මට පුළුවන් දවසක බේරලා දීපන් කියන්නේ කරාඹු කූට්ටම ගැන ඇල්ම අතහැර දැමීමකි . අම්මා ටික දවසක් යනතුරු ගෙයින් පිටට ගියේ සෙම්ප්රතිශ්යාව වැළැදුනු රෝගියකු යන්නා සේ හිස තුවායකින් වසා ගෙනය.
” පුතේ අද උයන්න මොකුත් තිබුණෙ නෑ .ඔය දෙල්
අටුකොස් ටිකක් තිබිල රත් කළා . හාල් හුණ්ඩුවක් ඉල්ලා ගන්න සිරාගෙ කඩේට ගියා . මේක මාව එලවා ගත්තා . තියෙන ණය ගෙවන්න කියලා .”
ඇගේ ආත්ම ගෞරවය බිද වැටුණු අවස්ථා පිළිබඳ මම සිහිපත් කළා .
අම්මා විසින් වියන ලද පොල් කොළ පැදුරක් බිම එලාගෙන මුනින් අතට වැතිරී නිවසටම දැල්වෙන එකම භූමිතෙල් කුප්පි ලම්පුව හිස අසළින් තබා මම රත්න ගණිතය හැදෑරුවා .
” අම්මා නිදාගන්න .ඇයි අම්මා නිදි මරන්නෙ”
” උඹ කුප්පි ලම්පුව ඔලුව ළග තියාගෙන ඉද්දී
මං කොහොමද නිදාගන්නෙ ” අම්මා කිව්වේ දරු සෙනෙහසකින් උතුරා යන කටහඩකින් .
කුසට ප්රමාණවත් බත් ඇටයක් නොමැතිව නමුත් හිතට අවශ්ය ප්රමාණයටත් වඩා ගණිතමය දැනුමෙන් මම පිරුණෙමි. ඒ සතුටත් සමග අම්මා ගේ කදුලු වියැකී යන සෙයක් මට දැනිණ .ඒ හැමවිටම මම අම්මා ගෙ කන් පෙති දෙස බලන්නට පුරුදුව සිටියා .
මා දන්නා කාලයක සිට මම කිසිම වාර විභාගයකින් පංතියේ දෙවැනි ස්ථානයෙන් පහලට
ගියේ නෑ . ගණිතය විෂයට මම සම්පූර්ණ ලකුණු ලබා ඇති වග සේපාලිකා මිස් කිව්වේ මුලු පංතියටම ඇහෙන්න.
” අනුර , උඹට බැරිද අපේ ගෙදරට ඇවිත් මට
ගණන් ටිකක් කියලා දෙන්න . උඹ ගෙදරට කියලා අපේ ගෙදර නවතින්න බලා ගෙන වරෙන්කො .
ඔය තියෙන ඇදුම් කීපයක් අරගෙන ” පියසුමන කිව්වා . පියසුමන ගම්භාරයෙකුගෙ පුතෙක් .
” මට ගේන්න තරම් ඇදුම් නෑ මචං “
දිලිදුකම විසින් වසාගත් මගේ මුලු ජීවිතයම ඔහු ඉදිරියෙහි ප්රදර්ශනය කළෙමි .
මම පියසුමන ගෙ ගෙදර නැවතී ඉස්කෝලෙ ගියේ සතුටකින් .ඔහු අලුතින් පාසැල් ඇදුම් කට්ටල හයක් සහ සපත්තු ජෝඩුවක් ගෙනවිත් තිබුණා .
මම මෙතරම් වාසනාවකට උරුමක්කාරයෙක් වූයේ කෙසේද? එහෙත් මට ‘ කිලුට්ටා ‘ කියා විහිලු
කලවුන් අතර පියසුමන ද සිටි බව මට සිහිපත් වූයේ ඇදුම් භාරගත්තාට පසුවය
කුස පිරෙන්න තුන් වේලටම ආහාර ගත්තේත් දවසකට දෙතුන් වතාවක් කිරි තේ එකක් ලැබුවේ පියසුමනලාගේ ගෙදරින් .එහෙත් ආහාර ගන්නා හැම මොහොතකම මම මගේ දෙමව්පියන් ගේ කුසගින්න සිහිපත් කරමින් නිහඩව හැඩුවෙමි. මම සුවපහසු සයනක පළමුවරට නිදාගත්තේ පියසුමනලාගේ ගෙදරදීය.ඇද ඇතිරිල්ලේ සහ කොට්ට උරයේ සුවඳ මගේ සිත ප්රබෝධයක් ඇති කළා .
” සුමනේ, මට ටැක්ටර් එක උගන්නපන්කො නිවාඩුවකට කීයක් හරි හොයාගන්න පුළුවන් නෙ මට. ” මගේ යෝජනාවට කිසිම පැකිලීමකින් තොරව පියසුමන කැමති වුණා .
නිවාඩු දිනවල වෙහෙස නොතකා කුඹුරු සීසෑමෙන් මම යම් මුදලක් සොයා ගත්තා .එහෙත්
පියසුමන මගේ වැඩ ගැන සතුටක් දැක්වූයේ නෑ .දවසක් වැවේ ගොඩවානක සැඩ ජලය ගැලීමෙන් හෑරුණු වක්කලමක දියනෑමට පියසුමනත්, මමත් තවත් මිතුරෙක් සමග ගියේ අම්මාට නොදන්නවා ය. විනාඩියක් යන්නට මත්තෙන් අම්මා වක්කලම අසළට පැමිණියේ කෙසේදැයි අද දවස දක්වාත් මම නොදනිමි .අපි තිදෙනා වක්කලමෙන් ගොඩවී ඇලේ තිබූ දියහබරල කොල තුනක් කඩාගෙන හෙලුව වසාගෙන පැනගිය අයුරු අදත් මට සිහිපත් වන්නේ යටපත් කරගත නොහැකි සිනහවකින් .
එම සිද්ධිය සම්බන්ධයෙන් මට දඩුවම් නොදුන් ඇය හඩා වැටුණේ එම වක්කලම මිනිසුන් බිලිගන්නා තැනක් නිසාය .
මම උසස් පෙළ සමත් වූයේ දිස්ත්රික්කයේ දෙවැන්නා වෙමින්. මගේ සතුට පළමුවෙන්ම දැන්විය යුතු සේපාලිකා මිස් දැන් ඉන්නෙ ඇගේ ගම් පෙදෙස වන නුගේගොඩ ය. මම ඇය උගන්වන උසස් කාන්තා බාලිකාව අසළට පැමිණියේ පාසල නිමා වනවාත් සමගය .ඇය ප්රධාන දොරටුව වෙත පැමිණියේ තවත් ගුරුවරියන් කීපදෙනෙක් සමග ය.
” අනුර පුතා ඔයා මොකද මෙහේ ? “
” මම මිස් බලන්නමයි ආවෙ ” කියමින් දණ නමා
දහසක් බාලිකාවන් ඉදිරිපිට ආචාර කළා.
කෙල්ලන්ගෙ දගකාර සිනාවක් පැතිරෙද්දිත් මම ගෞරවාන්විත යටහත් බවකින් පසුපසට වුණා .
” මිස් මම දිස්ත්රික්කයේ දෙවැන්නා .”
“අගෙයි පුතා . දැන් ඔයා කැම්පස් යනවනේ ‘
” මිස් මගේ අම්මාට වියදම් දරාගන්න බෑ .ඒක නිසා මට යන්න බැරිවෙයි.”
“යන්කො අපේ ගෙදර “
මගේ සරසවි අධ්යාපනය වෙනුවෙන් සියලුම වියදම් දැරීමට සේපාලිකා මිස්ගෙ මහත්තයා එකගවීම මගේ පෙර පිනක්.
” මේ වගේ දරුවෙක් ට උදව් කරන්න ලැබීම පිනක් සේපාලිකා . අපිට දරුවොත් නැති එකේ අපේ රටට ඉන්ජිනේරුවෙක්
දායාද කරන එක කොච්චර අගේද? “
සරසවියේ තුන් වන වසරේදී මම සේපාලිකා මිස්ගෙ අවසරය ඇතිව උපකාරක පංතියක් ආරම්භ කළා .ගණිතමය මැජික් හැකියාවන් සහ ඉගැන්වීමේ වාසනා ගුණයන් එක්වීමෙන් මගේ උපකාරක පංතිය දිවයිනේ ප්රසිද්ධියට පත්වුනේ අජානේය ශක්තියකින් සහ වේගයෙන් . දෙහිවල ප්රදේශයන් ඉඩමක් මිලට ගෙන ගෙයක් සෑදීමට පටන් ගත්තේ මගේ ඉංජිනේරු දැනුම ද උපකාර කරගෙනය .
නව නිවසට ගෙවදීමේ උත්සවය සංවිධානය කළේ සේපාලිකා මිස් සහ ඇගේ සැමියා එක්වය. වැඩි මුදලක් වියදම් නොකළ යුතු යැයි සේපාලිකා මිස් යෝජනා කළත් මගේ පංතියේ දහසකට අධික සිසු දරුවන් සහභාගිවීමට සූදානම් බව දන්වා තිබීම නිසා එම අදහස වෙනස් කළා.
මගේ අම්මාගේ විශාල ආලේඛ්ය චිත්රයක් මම විසිත්ත කාමරයේ ප්රදර්ශනය කළා. ඒ අතර මම අම්මා ගේ කන්පෙති දෙක, ගෙල ,සහ ඇගිලි රනින් සැරසූයේ නැවතත් ඇගේ වියපත් නෙත් යුග තෙතමනයේ උල්පතක් කරවමිනි .අම්මා තිස්ස ගොඩැල්ල වාඩියෙන් කොළඹ නව නිවසට පැමිණිමට මුලින් මුලින් අකැමැති වුණා .එහෙත් පසුව ඇය පැමිණියේ එලිසබෙත් මහ රැජන මෙන් ලොකු ආඩම්බරයක් පෙන්වමින් .
” සර්,මේ කවුද ” පැමිණි ශිෂ්යාවක ගෙන් ආලේඛ්ය ච්ත්රය පිළිබඳ ප්රශ්නයක් .
” ඔය මගේ අම්මා . ඇයි පොෆ් නැත්ද?”
කෙල්ලො ටික එකිනෙකා ගෙ මුහුණ බලමින් ගොලුවුණා.
” ඔය චිත්රය හොදින් බලන්න .මොකක් හරි විශේෂයක් තියෙනවා ද බලන්න .”
කෙල්ලො ටික උනන්දුවෙන් බැලුවා .
” සර් මේ කන්පෙති දෙකේ කරාඹුව ගලවපු තැන ටිකක් සුදුමැලි පාටයි . ඒකද විශේෂය. “
” ඔය කරාඹු දෙක උගස් තියලා අම්මා මට රත්න ගණිතය පොතක් අරන් දුන්නා . හැබැයි ඒ උගහ බේරුවෙ නෑ . බේරුවෙ නැතිව නෙවෙයි බේරන්න බැරිවුණා .නමුත් මේ ගෙදර , අර ගරාජ් එකේ තියෙන වාහන ගත්තෙ ඒ රුපියල් විස්සෙන් තමයි .” මගේ ආඩම්බරය දෝරෙ ගලායන්න තරම් සතුටක් වුණා .
” ළමයි මේ ලෝකෙ තියෙන සියලුම යහගුණ එකට එකතු කරලා නිම කරපු කෙනා තමයි මගේ අම්මා . ඔයගොල්ලන්ගෙ අම්මලාත් එහෙම වෙන්න ඇති . නමුත් මං හිතන්නෙ ඔයාල තවම හදුනාගන්න නැතිව ඇති . “
තරුණ ගැහැනු පිරිමි කවුරුවත් මගේ අම්මත් එක්ක කතා බහක යෙදෙන්නේ නෑ .ඇය තනියම ඩිවාන් එකේ නුපුරුදු පෙනුමකින් එරිලා හිටියෙ .සේපාලිකා මිස් වරින්වර ඇවිත් මොනවා හෝ විමසමින් ගියා . ෆ්ලොසන්ට් විදුලි ආලෝකයේ සදඑලියට අම්මා පෙනුනෙ හේනක දැවීගිය දර ඉපලක් වාගෙයි . මම ඇස් දෙක වහගෙන මරණාස්මෘතිය වැඩුවා.
” සර් ගොඩක් රෑවෙලා. දැන් සෑහෙන වෙලාවක්
ලොකු කල්පනාවක හිටියෙ . ඇයි සර්ට ප්රශ්නයක් ද? ” ඒ මැණිකේ කුස්සිඅම්මගෙ ගොරෝසු හඩ.
” කෝ අම්මා “
‘” සර් අවදිවෙනකන් බලා ඉදලා කාලා නින්දට ගියා .”
” ඒක හොදයි. “
උපුටා ගැනීම: Dharmasena Jayawickrama