රුවන් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බස් නැවතුමේ මුල්ලකට වූ සුසිලා ටින් කබලේ ඇති මාරු කාසි ටික ගැන්නාය.පහේ දහයේ කාසි අතර විස්සේ නෝට්ටු දෙක තුනක්ද විය. මේ මුදල් ලැබෙන්නේ කිහිලි ගන්නා සිටින රුවන් නිසා බව සුසිලා දනී. රෑ තිස්සෙ කසිප්පු බී මත් වූ රත් පැහැයෙන් ඉදිමුණ තමාගෙ මුහුණ දකින බොහොමයක් තමා අතපෑ විට ඉවත හැරෙන බව ඇය දනී. රුවන්ගේ පියකරු සිඟිති මුහුණ දෙස බලා ටින් කබලට මාරු කාසි දමන අය නිසා සුසිලාගෙ දවසේ ආදායම සරුය. දන්නා දා සිට සුසිලා උන්නෙ ප්රධාන බස් නැවතුම්පලේය. උපන් දවසක් , තැනක් , මවක් පියෙක් ඈ දන්නේ නැත. සුසිලා කියා අන් අය අමතන නිසාවෙන් නම සුසිලා බව දනී. උප්පැන්නයක් , හැඳුනුම්පතක් තමාගෙ අනන්යතාවය ඔප්පු කල හැකි කිසිවක් ඇයට නැත.රුවන් උපන් වෙලාවෙ මහ ස්පිරිතාලෙට ආ ගුණපාල දරුවාගෙ පියා ලෙස ඉදිරිපත් වූ නිසාවෙන් කොලුවාට උප්පැන්නයක් ඇත. කොලුවා උපන් අලුත කාට හරි හදාගන්නට දෙමු යැයි ගුණපාල කල යෝජනාව සුසිලා ප්රතික්ෂේප කලේ කෙසේ හෝ කොල්ලා හදා වඩා ගන්නේයැයි ස්ථිර අදිටනින් ය. හුරුබුහුටි කොලු පැටියාට බස්නැවතුමේ සිටින සියළුම යාචකයින් සෙනෙහස දක්වයි. කොලුවාගෙත් සුසිලාගෙත් රාත්රි නවාතැන බස් නැවතුමේ ඇති වේලාසටහන් කරුගේ නිල කාමරයේ කොරිඩෝවයි. එතැන ආරක්ෂිත යැයි සුසිලා සිතයි. ඇය සිඟමන් යදින්නේ පොදු වැසිකිළිය අසල ඇති බස් නැවතුමේ ය. උදේ සිට සවස් වන තෙක්ම ඇය රුවන් සමග බස් රථ වලට ගොඩවෙමින් කට පාඩමින් කවියක් දෙකක් කියයි. අත පෑ විට සුසිලාට රවන බොහෝ අය රුවන්ගෙ මුහුණ දෙස බලමින් ටින් කබලට සල්ලි දමයි. කිසිත් නොදන්නා රුවන් සිය සිඟිති අත්ල පානවිට සුසිලාට දරාගත නොහැකි ශෝකයක් ඇති වෙයි. එකතුවන මුදල් වලින් කොටසක් ගුණපාල ට හොරෙන් ඈ තමන් ලඟ ඇති රෙදි පොට්ටනියේ සඟවයි. රුවන් වෙනුවෙන් ඇය දකින සිහින වල නිමක් නැත. ඒ සිහින සැබෑ වන්නට ඇති දුර රෙදි පොට්ටනියේ කාසි පොදිය වැඩි වන තරමට අඩුවෙයි. උදේ සිට බසයෙන් බසයට ගොඩ වෙමින් හෙම්බත් වන සුසිලා බස් නැවතුමේ වැසිකිළිය අසල යකඩ වැටට බර දී රුවන් උකුලේ තබාගෙන ඈත කඳු ගැටයේ පෙනෙන බුදුරුව දෙස බලා සිටින්නීය. ඇගේ ඇකයෙන් මොහොතකට මිදෙන රුවන් පාසල් සිසුවියන් කිහිප දෙනෙකුට අතපානු ඇයට පෙනෙයි. තමන් දකින සිහින සැබෑවන්නට නම් කොලුවා මේ පරිසරයෙන් ඈත් කල යුතුයැයි සුසිලාට සිතෙයි.
” එන්න පුතේ ඒ අක්කල ස්කෝලෙ ගිහින් එයාලා ගාව සල්ලි නෑනෙ.” ඇය රුවන් ට අඬ ගැසුවාය. රෙදි පොට්ටනියේ ඇති කුඩා බේසමට වතුර පුරවාගත් ඇය යකඩ වැට අසල කොලුවා සිටුවා ඇඟ සෝදා පුයර තට්ටුවක් උලා අලුත් ඇඇඳුමක් අන්දවා බස් නැවතුමේ බංකුවක් උඩ හිඳුවා ඈතට ගොසින් දරාගත නොහැකි සෙනෙහසකින් බලා උන්නාය.කොතැනකදී වුවත් දවසේ ආදායම සරු වූයේ රුවන් ඇකයේ ඇත්නම් පමණි. ඇය මොහොතකටවත් රුවන් තනි නොකලාය. සුසිලාගෙ බලාපොරොත්තුව කොලුවා නගරසභා පෙරපාසලට ඇතුලත් කරගැනීමයි. ගුණපාල පවසන්නේ එය සිතන තරම් පහසු නොවන බවයි.
” කවුද බං කැමති මේ හිඟන පැටියා ඕවට ගන්නෙ ..?” ගුණපාල සුසිලාට සිනාසෙයි.
” උඹ ඉඳින්… මං කොහොම හරි ඒක කරනවා…මේ නරාවලෙන් මං ඌව ගොඩ ගන්නවා .” සුසිලාගෙ දෙනෙතේ බලාපොරොත්තු ගොන්නක් පිරී දිලිසෙයි. අළුතින් පත්ව පොලීසියේ ලොකු මහත්තයා පොලීසියට එන්නැයි කිව් බව සුසිලාට සිහිපත් විය.
” පොලීසියේ ලොකු මහත්තයා අද හතරට ඔක්කොටම එන්න කියලා”
හරි බං තාම දෙකයිනෙ ” ගුණපාල උන්නේ කකුලේ බැඳ තිබූ රෙදි පාංකඩය ලෙහමිනි .එහා පැත්තෙ හෝටලයෙන් ගෙනා බත් පාර්සලය ලෙහා සුසිලා එය රුවන්ට කැව්වාය.පොලීසියට යද්දී කොලුවා රැගෙන යා යුතුය.
හතර වෙද්දි පණිවිඩය ලැබුන යාචක පිරිස පොලිසියෙ මිදුලට රැස්ව සිටියහ.
පරණ බස් නැවතුම කඩා ඉවත් කර අළුත් නැවතුම්පලක් සෑදීමට යෝජිතව ඇති බැවින් බස් නැවතුමේ උන් සියල්ලන් ඉන් ඉවත් විය යුතු බවත් දැනට තාවකාලිකව බස් නැවතුම් පල වෙනත් ස්ථානයකට ගෙන යන බවත් නගරසභාව හරහා කැමති අයට බස් රථ තුල කුඩා වෙළෙඳාම ක් කරගැනීමට අවස්ථාවක් ලබා දෙන අතර එයට කැමති අය හා කුඩා දරුවන් සිටින අය සිටිද්දී අනිත් අයට ඉවත්ව යන ලෙස ස්ථානධිපතිතුමා පවසද්දී පිරිස අතර හීන් කසුකුසුවක් ඇති වී එකා දෙන්නා ගේට්ටුව දෙසට ඇදෙන්නට වූ අතර හිසට හෙණයක් පාත් වූ ලෙස දැනුන සුසිලා අසල ඇති සිමෙන්ති පඩිය මත ඉඳගත්තාය.
” ආ පොඩි අය ඉන්න කට්ටිය එන්න.ලොකු මහත්තයා කියපු දේ පැහැදිලි ඇතිනෙ.ඔයාලට දැන් ස්ටෑන්ඩ් එකේ ඉන්න බෑ . පොඩි ලමයි සේරම නව නගරෙ ලමා නිවාසෙට භාර දෙන්න ඕනි.
” අනේ මිස්… ” සුසිලාට කිසිවක් සිතාගන්නට නොහැක.ඇය කාන්තා නිලධාරිනියගේ දෙපා මුල වැටී විලාප තියන්නට වූවාය.
” හෙට එන මිස්ට දරුවන් ගෙ විස්තර දෙන්න .මේ දරුවොත් හිඟන්නො කරන්න එපා .”
සුසිලා උන්නේ කිසිදෙයක් නෑසෙන හැඟීමක් දැනීමක් නැති ගල් පිළිමයක් මෙනි.ඇය බස්නැවතුමට ආවේ අසිහියෙන් මෙනි. රුවන් ඇයගේ ඇකයේ සුවසේ නිදිය. ඔහුගේ සුරතල් ,සියුමැලි මුහුණ දකිද්දි සුසිලාට දරාගත නොහැකි වේදනාවකින් පපුව රිදුම් දෙයි.
” ඕකව දීපන් ලමා නිවාසෙට …ඌ කාලා ඇඳලා ඉගෙනගන ඉඳියි.. නිවාසෙ ලමයි මොන්ටිසෝරි දානවා…” ගුණපාල නොනවත්වා කියවයි. සුසිලා ගැස්සී ගුණපාල දෙස බැලුවාය .
*** *** *** *** ***
දරාගත නොහැකි වේදනාවක් සිතෙහි සිර කර සැබෑ කරගන්නට ඇති හීන කන්ද මත්තෙම බලාපොරොත්තු රඳවාගත් සුසිලා ලමා නිවාස නිලධාරීන් ට රුවන් ව බාර දුන්නාය. කොලුවා වෑන් රථය ට නංවා ගනිද්දී යටිගිරියෙන් බෙරිහන් දුන් හඬ සවස්වනතුරුත් සුසිලාගෙ කන්වල දෝංකාර දුනි. ඇය සවස සිහියක් පතක් නැති වන්නට කසිප්පු බිව්වාය.ගුණපාල ට කුණුහරුපෙන් බැන්නාය. අතට අසුවන දෙයකින් පහර දුන්නාය. ඇය උන්නේ සිත් වේදනාවෙන් බව දන්නා ගුණපාල නිහඬව සිටියේය . රුවන් නැති නිසා සුසිලා ගෙ ආදායම පහත වැටුණි.
” මට දැන් සල්ලි ඕනි නෑ . කොල්ලා සැපෙන්….ඒ ඇති .” ඇය සිත සනසා ගත්තේ එසේ සිතාය.සුසිලා කාටත් හොරෙන් මසකට වරක් ලමා නිවාසයේ ගේට්ටුව අසලට ගොස් රුවන් දැක සිතින් සැනසුනාය. රුවන් ලමා නිවාසයට දුන් දා සිට රාත්රිය ට ඇය එකම සිහිනයක් දකින්නීය. ඉතා පිරිසිදු ඇඳුමක් ඇඳ අළුත් ම සපත්තු කුට්ටමක් පැළැඳ පොත් බෑගයක් එල්ලාගත් රුවන් නගරසභා පෙර පාසලේ පඩිපෙළ නගී. දොරකඩට ගොස් රුවන් ඇයට අත වනයි. ඈ ඒ මිහිරි සිහිනයට ඉතා ආශාය.
” ආන් උඹව පොලීසියෙන් හෙව්වා. දෙතුන් පාරක්ම ආවා.ආපු ගමන් එන්න කියන්න කිව්වා. ” නගරශාලාව අසල සිඟමින් සිට බස්නැවතුමට ආ සුසිලාට ගුණපාල පැවසුවේය .තාවකාලිකව සෑදූ බස්නැවතුම අසල ගසක් යට ගුණපාල සපත්තු සෙරෙප්පු ,කුඩ අළුත්වැඩියා කරයි.අසල වූ පොලිස් මුරපොල වෙත සුසිලා ගියේ සිතේ දෙගිඩියාවෙනි.
” සර් එන්න කිව්වෙ ” මුර කුටියේ උන් නිලධාරියාගෙන් ඇය විමසුවේ බැගෑපත් ව බියෙන් හා සැකෙන් ය.
“:ආ ඉන්නවා පොඩ්ඩක් ,” ඔහු කාටදෝ දුරකථන ඇමතුමක් ගත්තේය.
” සර් ආවා..හා සර් එවන්නම් , ස්පිරිතාලෙට ම ද…හා සර්…
සුසිලාට සිදුවන්නේ කුමක්දැයි වැටහීමක් නැත. ඇය ඉන්නේ බියෙන් හා සැකෙන් ය.
“දැන් එන ජීප් එකෙන් තමුන් මහ ස්පිරිතාලෙට යනවා…” නිලධාරියා ඉවත බලාගෙන පැවසීය.
” ඇයි සර්…” සුසිලාගෙ දෙතොල වෙව්ලයි.පැමිණි රථය ට ගොඩවූ සුසිලා තදින් දෑස් පියාගත් සැනින් රුවන්ගේ හුරුබුහුටි මුහුණ පෙනී නොපෙනී ගියේය.සුසිලාව රැගෙන ගියේ රෝහල් පොලීසියට ය. එහි උන් ලමා නිවාසයේ උප පාලිකාව දුටු සුසිලාට සිතා ගත නොහැකි මූසල හැඟීමක් ඇති වී පපුව රිදුම් දෙන්නට විය.
“ඇයි නෝනා…” සුසිලාට වචන පිටවන්නේ නැත. මසකට වරක් ලමා නිවාසයේ ගේට්ටුව අසල තැත් ගැහෙමින් එබිකම් කරන සුසිලා පාලිකාව හොඳින් හඳුනයි.ඇය රුවන්ගේ මව බව පැවසුවේ නිවාසයේ මුරකරුය.
” රුවන්ට සනීප නෑ ” පාලිකාව බිමට දෑස් යොමා පැවසුවාය.
” ඇයි නෝනා ..” කොල්ලාට ඉහෙන් බහින ලෙඩක් නැති බව දන්නා සුසිලා පුදුමයෙන් දෑස් විසල් කර ගත්තාය.
” එන්නකෝ…” පොලිස් නිලධාරිනියත් නිවාස පාලිකාවත් සුසිලා අතින් අල්ලාගෙන බාහිර රෝගී අංශයේ කොරිඩෝවේ වූ ට්රොලියක් අසලට රැගෙන ගියාය. සුසිලා ගියේ අසිහියෙනි.
” අර නිවාසෙ ලමයෙක්නෙ..ගේට්ටුවෙන් එළියට ගිහින් අම්මා ආවා කියලා…ලොරියක හැපිලා…අනේ යස කොලු පැටියා…සීරීමක් ,ලේ පොදක් පේන්න නෑ…
ට්රොලිය අසල වට වූ කිහිප දෙනෙක් ගේ වචන සුසිලාට ඇසුනේ සිහිනයෙන් මෙනි.ට්රොලිය මත වූ සුදු රෙද්ද ඉවතට ඇද දැමූ සුසිලා දුටුවේ පුංචි සිනහවක් දෙතොලේ සිරකරගත් තදින් දෑස් පියවුණු රුවන්ගේ මල් පොහොට්ටුවක් වැනි සුරතල් සියුමැලි ලපටි මුහුණය. දෑස් නිලංකාර වී මුලු ලෝකයම කරකැවී තම දෙපා මුලට ඇද වැටෙද්දී පුංචි රුවන් පොත් බෑගයත් එල්ලාගෙන සුසිලාට අත වනමින් නගරසභා පෙරපාසලේ පඩියෙන් පඩිය නැග ඉහලටම ගොස් නොපෙනී යනවා සුසිලාට බොඳවූ දෑසේ කඳුළු අතරින් පෙනුණි.
උපුටා ගැනීම: දේශානි පෙරේරා .

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!