මම ඉස්කෝලෙ යන කාලේ නාට්ය, ප්රසංග වගේ දේවල් සඳහා මාතර තිබුනු හොඳම ශාලාව වූයේ අපේ ඉස්කෝලේ ගුණතිලක ශාලාවයි. වික්ටර් රත්නායකගේ ‘ස’ ප්රසංගයත්, කෙල්ලන්ට දවල් 2:30 දර්ශනයකුත්, කොල්ලන්ට සහ වැඩිහිටියන්ට 6:30 දර්ශනයත් ඔන්න ඔය ශාලාවේ පෙන්වන්න සංවිධානය කරලා තිබුනා.
ඒක අපේ ඉස්කෝලෙ නිසා අපි ඇතුලට එන එක නවත්වන්න පොලිසියටවත් බැහැ නේ. අපි ඉතින් දන්න කියන නංගිලත් එක්ක මල් කඩ කඩ හිටියා කොන්සර්ට් එක පටන් ගන්න තුරු. සේරම උන් ඇතුලට දාලා දොරවල් වහලා ප්රසංගය පටන් ගත්තට පස්සේ ඉතින් එලියෙ ඉන්න අපිට ඇහෙනවා වික්ටර්ගේ සිංදු.
යාලුවෙක් යෝජනාවක් ගෙනාවා
‘මචං ඉනිමගක් තියෙනවා හොස්ටල් එකේ ඒක අරන් ඇවිල්ලා හෝල් එකේ පිටිපස්සෙ හුඩ් එකට නැගලා, ඒකේ තියෙන කවුලු වලින් බලමු. කොස්සො ඉන්නෙ ඉස්සරහ නේ උන් දකින එකක් නෑ’
කියලා. අපි දහ දෙනෙක් විතර හිටියා එතන. ඉතින් කවුරුත් එකතු වෙලා ඉනිමග ගෙනල්ලා, උඩට නැගලා කාටවත් කරදරයක් නොවී ප්රසංගය නරඹනවා. සමහරු ප්රසංගය නෙවෙයි අර දාහක් විතර කෙල්ලො අස්සේ උන්ගෙ ක්රෂ් එක හොයනව. අපි ඉතින් කවුලුවට ඇහැතියාගෙන ඉන්න බව දැකපු කෙල්ලො එකා දෙකා දැන් අපිට අත වනනවා.
ටික වෙලාවකට පස්සෙ ‘දඩාස්’ ගාලා සද්දයක් ආවා, අපේ එකෙක් ‘අම්මෝ’ කිව්වා. අපි හැරිල බලන කොට පොලිස් රාලහාමිල දෙන්නෙක් පිටිපස්සේ, අපේ එකෙකුට පිටි පස්සට බැටන් පාරක් දීලා.
‘තොපි වඳුරො වගේ උඩට නැගල හොරෙන් බලනවනේ. මේ ෂෝ එක ගෑනු ලමයින්ට විතරයි. පලයල්ලා ගෙවල් වලට. හවස එකට ටිකට් තියෙනව වරෙල්ලා’
කියලා උන් අපිව තල්ලු කරනවා ඉනිමග තිබුනු තැනට. උන් හෝල් එක වටේ යනකොට ඉනිමගක් හුඩ් එකට හේත්තු කරල තියෙනව මුන් දැකලයි උඩට ඇවිල්ල තියෙන්නේ. උන් අපි එක එකාව ඉනිමගෙන් පහලට බැස්සුවට පස්සෙ ඇහුවා
‘ඔච්චරද උඩ හිටියේ?’ කියලා.
‘නැහැ රාලහාමි, තව පස් හය දෙනෙක් අනෙක් පැත්තේ’ කියල කවුද එකෙක් කිව්වම.
‘එහෙමද. එහෙනම් උන්ගෙත් කනෙං අල්ලගෙන එන්නම්කෝ’
කියලා උන් එතනින් ගියාම, අපේ එකෙකුට මරු අදහසක් ආවා.
‘අඩෝ, අපි ඉනිමග අරන් යමු. එතකොට අර කොස්සො දෙන්නට බහින්න විදියක් නැහැ නේ’
‘එකත් ඇත්ත. මරු වැඩේ. බලපං උන් අපිට කතා කරපු හැටි බල්ලොන්ට වගේ. ඕකුන්ට ඕක කරමු’
කියලා අර යෝජනා කරපු එකයි තව එකෙකුයි ඉනිමග ගත්තා අතට. දැන් තව කොල්ලො හොයන්න ගිය පොලිස් රාලහාමිලා ඈත ඉඳන් හුඩ් එක උඩ අපේ පැත්තට දුවගෙන එනවා
‘පුතාලා ඔය ඉනිමග ආපහු ගේන්නකෝ’
‘ආ දැන් පුතාලා, ගහන වෙලාවේ තොපි උඹලා’
‘අනේ හොඳ පුතාලා වගේ ගේන්නකො’
‘පිස්සුද රාලහාමි. ඔහේලා බැස්සට පස්සෙ අපිට ආයේ නෙලන්න ගනීවි. අපි වඳුරො වගේ පෙනුම තිබුනට මොලේ තියෙන කොල්ලො’
‘නෑ පුතා එහෙම කරනවද අපි’
‘රාලහාමිලා පැයක් දෙකක් ඔය ඇඳුම ඇඳගෙන අව්වෙ හිටියම මක් වෙනවද. ඔන්න ඔහේ ඉන්නකෝ. කම්මැලි නම් ස ප්රසංගය බලන්න. කාටවත් කරදරේකුත් නැහැ.නේ’
කියලා පොඩි වඳුරු නැටුමක් දැම්මා එයාලව සතුටු කරන්න. ඊට පස්සේ අපි ඉනිමග අරන් ගිහිල්ල හැංගුව.
අප්පට සිරි. එයාලා තවම ඒක උඩද දන්නෙ නෑ. දැන්නේ මතක් වුනේ. යන්න ඕන බලන්න.
උපුටා ගැනීම: Devapriya Siriwardena