අහස උසට තිබ්බ කොන්ක්රිට් බිල්ඩින් පිරිච්ච කොළඹ නගරේ ආසන්නයේ පිහිටලා තිබ්බ පුද්ගලික ආයතනයකට මම සම්බන්ධ උනේ සහකාර ගණකාධිකාරිවරයෙක් විදියට. දවසෙ රාජකාරි ඉවර වෙලා ක්වාටස් එකට ආවම තනියම කරන්න දේකුත් නෑ. ඉතින් ගොඩාක් වෙලාවට පාළුව මකා ගන්න කරන්න තිබුනේ මුහුණු පොතේ උඩට පහලට යන එක විතරයි.
“හොඳින් ඉන්නවා අයියේ”
අහම්බෙන් එහෙම මැසෙන්ජර් හරහා කෙටි පණිවිඩයක් ආවෙ සති කිහිපයකට කලින් මුහුණු පොතේ මිතුරියකට යොමු කරලා තිබුණු පැනයකට. ඇත්තටම ඇය මගේ හිතේ කොණක කලකට පෙර ලැඟුම්ගත් චරිතයක්. මා ඇයව දන්නා හඳුනන කාලයේදී ඇය පෙම්වතියක්ව සිටි නිසා ඉතා කලාතුරකින් වචනයක් දෙකක් පමණක් අප අතර හුවමාරු වූවා හැරෙන්නට කිසිදිනක දිගු සංවාද ගොඩනැඟී තිබුනේ නැහැ.
“දැන් කොහෙද වැඩ කරන්නෙ”
“නාවල එක්ස්පෝට් කම්පැනි එකක ඉන්නෙ අයියේ”
“මැරි කරේ නැද්ද තවම”
“ඒ ගැන කථා කරලා වැඩක් නෑ අයියේ”
ඇයගේ එම පිළිතුරෙන් තරමක් වික්ෂිප්ත වූවත්, මා ඒ ගැන නැවත විමසන්නට නොගියේ එම මාතෘකාව දිගින් දිගට ගෙන යාමට ඇය එතරම් රුචියක් නොදැක්වූ බැවිනි.
“ඉතින් ගෙදර ගියේ නැද්ද ළඟදි”
“සෙනසුරාදා යනවා අයියේ”
“නැවතිලා ඉන්නෙ කොහෙද ඉතින් “
“අක්කා කෙනෙක් එක්ක රාජගිරියෙ ඉන්නෙ”
“එහෙනම් ටිකක් ළඟ නේද”
“ඇයි අයියත් එහෙද ඉන්නෙ”
“නෑ.නෑ..මම ඉන්නෙ කඩුවෙල”
“හා එහෙමද”
අවුරුදු ගණනටම අපි අතර සිදු උන කෙටි වචන හුවමාරුවල වචන අතේ ඇඟිලි වලට සමාන උනත්, එදා අපි අතර වචන හුවමාරුව නොදැනුවත්ව දිගු වෙලාවක් ගලාගෙන ගියා.
“මම ඔයාට කෝල් එකක් ගන්නද හෙට”
“එපා අයියේ. පුළුවන් වෙලාවට මම මැසෙජ් කරන්නම්”
එලෙසින් නිමාවූ කථාබහ අවසානයේ ඇය යම්කිසි දුකකින් ඉන්නා බව මගේ හිතට දැණුනා. කමක් නෑ. පස්සෙ අහලා බලමු මොකද කියලා. එහෙම හිතාගෙන නින්දට යන්න හැදුවත් මොකක්දො හේතුවකට නින්ද ආවෙ නෑ. ඒ අවසරයෙන් හෙමිහිට හිතට ආපු අදහස් ටිකක් කෙටි පණිවිඩයක් ලෙසින්ම ඇයට යැව්වෙ ලස්සනට ගෙතුන කවි පේලි විදියට.
අද දවස ගෙවෙන්නෙ ගොඩාක් හෙමින්. එහෙම හිතුනෙ දවස අවසානෙ ඇයගේ කෙටි පණිවිඩයක් දැකගන්න තිබ්බ නොඉවසිල්ලට වෙන්න ඇති.
“අයියට කවි ලියන්නත් පුළුවන් නේද”
සුපුරුදු වෙලාවට ඇය ඔන්ලයින්. සියුම් සතුටක් සමඟ ඇඟිලි තුඩු සැනෙකින් ක්රියාත්මක උනා.
“එහෙමමත් නෑ”
“නැත්තෙ මොකද ? ලස්සනයි කවිය”
සුපුරුදු විදියට දිගු වෙලාවක් ආගිය තොරතුරු අපි අතර හුවමාරු උනා. කාලයක් ගත වෙද්දී ඇයගෙ කනස්සල්ලට හේතුව මට දැනගන්න පුළුවන් උනේ කෙටි පණිවිඩ ක්රමයෙන් ඇමතුම් වලට හැරිලා තියෙද්දි.
“එයාට මම ගැන ගානක් නෑ අයියේ, මට කැමති දෙයක් කරන්නලු. ආදරේ කියන්නෙ ඒකද අයියේ. එයාට ඕනේ භාහිර වැඩ විතරයි. හමු වෙන්නවත් උවමනාවක් නෑ”
“ඉතින් ඔයාගෙ එෆෙයාර් එක ගොඩාක් කල් නේද?”
“ඔව්.අවුරුදු 4ක්”
“ඉතින් ඔයා එයා එක්ක කථා කරලා විසඳුමක් ගන්න තිබ්බනේ”
“වැඩක් නෑ අයියේ. එයාට එහෙමවත් උවමනාවක් නෑ. එයා කියනවා එයාව තේරුම් අරන් අයින් වෙන්නලු. අවුරුදු ගානක් උනාට අපි හමු වෙලා තියෙන්නෙත් අතේ ඇඟිලි ගානට”
“මට එයාගෙ නම්බරේ දෙන්න. මම කථා කරන්නම්”
“වැඩක් නෑ අයියේ. තේරුමක් නෑ ඒක”
“කමක් නෑ. ඔයා නම්බර් එක එවන්නකො මට”
“හ්ම්ම්”
දින කිහිපයකට පසු ඇය මට ඔහුගේ අංකය එවා තිබුනා. අවස්ථා කිහිපයකදි උත්සාහ කරත් මට ඔහු සම්බන්ධ කර ගන්න නොහැකි උනා. ඒත් අහම්බෙන් දිනක් ඔහු ඇමතුමට සම්බන්ධ උනා. ඇය කියූ සියල්ල සත්ය බව මට තේරුම් ගන්න ලොකු වෙලාවක් ගියේ නෑ. ඔහුට තිබ්බෙ වෙනත් ගමනක්. පෞද්ගලික වැඩ රාජකාරි පවා අමතක කොට ඔහු එයට කැපවී සිටියා. ආදරය කියන කාරණාව ඔහු සැලකුවෙ විශාල බාධාවක් ලෙසට. ඒ නිසාම ඇයට වෙන් වෙන්න ඔහු ඉඩ ලබා දී තිබුනා. ඔහුගේ අදහස් අනුව නම් එය නිවැරැදි තීරණයක්.
ඇයට ඇති ආදරය නිසාම ඔහු එම තීරණයට පිවිස තිබුණත්, ඊට පසු අවස්ථා ගණනාවක්ම මම ඔහුගෙ තීරණය වෙනස් කරන්නට උත්සාහ දැරුවේ ඇය ගැන උපන් අසීමිත අනුකම්පාව නිසා. නමුත් එය නිෂ්ඵල කාරණාවක් වෙමින් තිබුණා.
මාස ගණනකට පසුව වචන වලින් නොකියූවත් මා ඇයට සිතින් ආදරය කරන්නට පටන් ගෙන තිබුනේ ඇයගෙ ආදරය නැවත එක්කරන්නට නොහැකි බව මා වටහා ගෙන තිබූ නිසාත්, ඇය ගැන පෙර සිටම මගේ සිතේ සිතුවිල්ලක් තිබු නිසාත් වෙන්නට ඇති.
“අයියගෙ කවි මම ඔෆිස් එකේ නංගි කෙනෙක්ට පෙන්නුවා. එයා දැන් හැමදාම අහනවා කවිකාරයා කවි එවන්නෙ නැද්ද කියලා “
ඇය එලෙස පැවසුවෙ පුරුද්දක් ලෙස දිනපතා ඇයට මම කවි ලියූ නිසාම ඇයත්, ඇයගේ මිතුරියත් මට කවිකාරයා ලෙසින් නමක්ද ඒ වනවිට පටබැද තිබුන නිසා වෙන්න ඇති.
කාලයත් එක්ක මම තීරණයකට එළඹුනා. ඊට පෙර තවත් වරක් මම ඇගේ පෙම්වතාට ආමන්ත්රණය කරා.
“ඔයා තාමත් ඉන්නෙ පරණ තීරණේමද”
“ඔව් මචන්”
“මම එක්ක ඉන්නවට වඩා එයා අයින් වෙන එක එයාට හොදයි”
“ඒත් එයා ගොඩාක් දුකෙන් ඉන්නෙ”
“ටික දවසක් යද්දී හරි යයි. මම කියනවට උඹට පුළුවන් නම් එයා එක්ක ඉදපන්. එයා ඉස්සර කියලා තියනවා උඹ එයා දිහා බලන් ඉන්නවා කියලා. එයාව පරිස්සමට බලා ගනින්”
“හ්ම්ම්.බලමුකො”
එලෙස අපේ කථාව අවසන් වෙලා ටික දවසකට පස්සෙ මම ඇයට මගේ අදහස ප්රකාශ කරා.
“මම දන්නවා අයියේ ඔයා ඉස්සර ඉදන්ම මම ගැන බලන් හිටියා කියලා. ඒ නිසා තමා මම ඔයාට වැඩිය මැසේජ් කරේ නැත්තෙ”
මා ගැන ඇය දැන සිටි මුත්, ඇයගේ ඒකපාර්ශවික ආදරයක් බඳු පෙම ඇය රකින්නට සෑම උත්සාහයක්ම දරා තිබු බව එම පිළිතුරෙන් මට තේරුම් ගියා. ඇය වෙනුවෙන් මම දැරූ මහන්සියද නිශ්ඵල වුවත් ඇය සැබෑ ආදරවන්තියක් වී තිබුණා.
“ඔෆිස් එකේ නංගි හැමතිස්සෙම කියනවා කවිකාරයට කැමති වෙන්න කියලා”
“ඉතින් ඔයා මොකද කියන්නෙ”
“මම ඉතින් හිනා වෙවි ඉන්නවා”
සිනහවෙන්ම ඇය පිළිතුරු දෙද්දි ඇයගෙ සිතත් මා අපේක්ෂා කරන බව මට හොඳින්ම දැනී තිබුණා. දවස අවසානේ නින්දට යනකම් පැය ගණන් අපි කථා කරා. වීඩියෝ කෝල් වලින් දවසට කීපවාරයක්ම ඇය මට කථා කරා. නිදහසේ හමුවෙලා පැයගණන් දියත උයනෙ අපි ඇවිද්දා. කාලය ගත උනේ ගොඩාක් සුන්දර විදියට.
“සුදු අයියේ”
“ඇයි මැණික”
දිනක් හදිසියේම හැඩුම් ස්වරයෙන් ඇය ඇමතුමට සම්බන්ධ වෙද්දී තිගැස්මෙන් මම උත්තර දුන්නෙ තිගැස්මෙන්.
“අපේ ඔෆිස් එක මෙහෙන් අයින් කරනවා”
“එකපාරටම.. ඇයි එහෙම කරන්නෙ”
“අලුතෙන් ඔෆිස් එක බණ්ඩාරවෙල පටන් ගන්නවා”
“ඉතින් ගොඩාක් දුරනේ මැණික”
“ඒකනෙ සුදු අයියේ”
ඇයත් මමත් එලෙස දුරබැහැර පෙදෙස් වලට ඈත් වෙන්නට සිදු උනත් දෛවයේ සරදමකට මෙන් මාගෙ රැකියාවෙ වෙනසක් සිදු උනේ මාසයකට පමණ පසුව. ඒ සීතල නුවරඑළිය ප්රදේශයට මා හට නව පත්වීමක් ලැබිම හේතුවෙන්.
සුපුරුදු පරිදි අපේ ආදරේ ගලා ගියේ ඇතැම් සතිඅන්ත වල ඇය නුවරඑළියටත්, ඇතැම් සතිඅන්ත වල මා බණ්ඩාරවෙලටත් ගමනාන්ත සටහන් කරමින්. මා බණ්ඩාරවෙලට පැමිණෙන ඇතැම් මොහොතකදි ඇය මා එනතෙක් නොඉවසිල්ලේ සිටියේ ඇය නිවසට යන දිනවලදී මා ඇයව නිවස ආසන්නයටම හැරලීමට පැමිණෙන නිසා.
“ඇයි සුදු අයියේ පරක්කු”
මොහොතක් ප්රමාද වෙද්දී ඇයගේ එම සුපුරුදු පැනය දඟකාර වුනා. ඇතැම් අවස්ථාවල නගර මධ්යයේදීම ඇයගේ කාන්තා අත්බෑගය මාගේ අතෙහි එල්ලා ඇය සිනාසෙන්නෙ ළදැරියක් විදියට. ඇයගේ සිනහව නිසාම එවැනි දඟකාර වැඩ මා සියුම්ව රස වින්දේ ඒ සිනහව බිඳුවකුදු අඩු වනු දැකිය නොහැකි නිසාවෙන්මයි.
නිවසට යන ඇතැම් දිනවල ඇයට හිමිදිරි පාන්දර නැවත ආයුතුව තිබුනා. එවැනි දිනවල රාත්රියේ පැය ගණන් බණ්ඩාරවෙල නගරයේ සීතල මකන්නට තේ කෝප්ප 7-8 ක් බී නිදි වර්ජිතව සිටින්නටත්, එසේත් නැතිනම් පැය 6ක පමණ බස් ගමනකින් පසු ඇයවද කැටිව නැවත පැමිණෙන්නටත් මා පුරුද්දක් කරගෙන සිටියා.
“මේ ඇඳුම ඇන්දට කමක් නැද්ද සුදු අයියේ”
“කමක් නෑ මැණික”
“මම හිතුවෙ ඔයා බනී කියලා”
“ඔයා ඔෆිස් අදින්නෙ සාරිය. ඉතින් මේ වගේ නිවාඩු වෙලාවක විතරයි ඔයා කැමති ඇදුමක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් කවද ෆැෂන් කරන්නද”
නවීන පන්නයේ ඇඳුමක් ඇඳ පැමිණ දාට ඇය මගෙන් නිතරම ඒ විදියට ප්රශ්න කරත්, ඇගේ සිත පාරන්නට මා හට කිසිදිනක ඇවැසි උනේ නම් නෑ.
කාලය ගත වෙද්දී ඇයගෙ ආයතන ප්රධානියගෙන් ඇයට යෝජනාවක් පැමිණි බව ඇය මට පවසද්දි මගේ තීරණය උනේ වහාම ආයතනෙන් ඉවත් වෙන්න කියන එක උනත් ආර්ථික තත්ත්වය එක්ක ඇය එයට එකවර කැමැත්තක් දැක්වුවෙ නම් නෑ.
“එහෙම කිව්වට බොස් එහෙම නරක කෙනෙක් නෙමෙයි. එයාලගේ අම්මලා එහෙම ඔෆිස් එකට එනවා. හරි හොඳයි එයාලා.”
“ඔයා හිතන තරම් මිනිස්සු හොද අය නෙමෙයි”
ඇය එහෙම කියද්දි මගේ ක්ෂණික පිළිතුර උනේ ඒක.
………………………………………….
සති කිහිපයකට පස්සෙ ඇයගෙ ලොකු වෙනසක් මට දැනුනා. ඒත් එක්කම ඇයගෙ දුරකථනය හදිසියේම ක්රියාවිරහිතව තිබුණා. නිවාඩු ලබා ගෙන ඇයගේ ආයතනයටත්, නවාතැනටත් මා ගියත් ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් ලබා ගත නොහැකි වෙද්දී මා දැඩි ලෙස කලබලකාරී උනා. සති ගණනක් ඇයගේ මිතුරියන්ගෙන් පවා ඇය ගැන විමසුවත් නිශ්චිත තොරතුරක් කිසිවෙකු දැන සිටියේ නෑ.
“එයා ගැන හොයලා වැඩක් නෑ අයියේ. ඔයා හිත හදා ගන්න”
දවසක් එහෙම මැසේජ් එකක් ආවෙ ඇයගෙ මිතුරියගෙන්. ඇයට පෙරලා ඇමතුමක් ගත්තද ඊට එහා කිසි දෙයක් ඇය පැවසුවේ නෑ.
මාස 2-3කට පසු ඇය මට අහම්බෙන් දිනක ඇමතුමක් ගත්තා.
“ඇයි මැණික මට කථා නොකරෙ. කොහෙද ඔයා ඉන්නෙ. මොනවද උනේ.”
කෙලවරක් නැති ප්රශ්න වලට ඇය හඬා වැටුනා.
“මම දවසක එන්නම් සුදු අයියා බලන්න. එදාට විස්තර කියන්නම්. පුළුවන් නම් මට සමාවෙන්න”
හැඬුමත් සමඟ ඇයගෙ වදන් නිහඩ වෙද්දි යලිත් ඇගේ දුරකථන අංකය ක්රියාවිරහිත වෙලා තිබුනා. තවත් මාසෙකට විතර පස්සෙ ඇය මගේ නවාතැනට ආවා.
“බොස්ගෙ නංගිගෙ උපන්දින පාටියක් තියනවා කියලා මාව එහෙ එක්කරගෙන ගිහින් ඌ මාව අනාථ කරා සුදු අයියේ. උන්ගෙ අම්මලා දැනුවත්වමයි ඒක කරලා තියෙන්නෙ. එයාලා කියනවා දැන් මාව කවුරුවත් භාර ගන්න කෙනෙක් නැති නිසා බොස්ව බදින්න කියලා. මේ විදියට මට ඔයා ලඟට එන්න බෑ සුදු අයියේ. ඌ කසාද බැදලා ඩිවෝස් උන කෙනෙක්. මට සමාවෙන්න සුදු අයියේ”
කඳුලු අතරින් කියවුන ඇගේ කථාව ඒක.
“ඉතින් ඇයි මට කථා නොකරෙ”
“මට වෙච්ච දේවල් හිතාගන්න බැරි උනා සුදු අයියේ. මට මැරෙන්න හිතිලා තිබුනේ. ඔයා කිව්වා හරි. මිනිස්සු හරි වෙනස්. ඔයා කියපු දේ ඇහුවා නම් මෙහෙම වෙන්නෙ නෑ සුදු අයියේ”
“දැන් ඔයා කොහෙද ඉන්නෙ එතකොට”
“මම දැන් ගෙදර ඉන්නෙ. අම්මලා මේක දන්නෙ නෑ. මම කිව්වා ජොබ් එකෙන් අයින් උනා කියලා”
“හරි. දැන් වෙච්ච දේ උනා. ඔයා දුක් වෙන්න එපා. අපි හෙමිහිට ජීවිතේට මුහුණ දෙමු. ඔයාට මම ඉන්නවනේ”
“ඒ උනාට මට හිත හදාගෙන ඔයා ලඟට එන්න බෑ සුදු අයියේ. ඔයා පව්. වෙන කාගෙවත් වැරදි වලට ඔයා පලි නෑනේ.”
“වෙච්ච දේවල් වෙලා ඉවරයිනෙ මැණික. ඒවා වැඩක් නෑ. මම ඉන්නවනෙ ඔයාට”
පපුව පුරා ඇයගේ කඳුලින් තෙත් වෙද්දි ඇයගේ හිස අතගාමින් ඇය සනසන්නට වෙහෙසක් දරන්නට මට සිදු උනා.
“මේ විදියට මට ඔයා ලඟට එන්න බෑ සුදු අයියේ. මට ටික කාලයක් දෙන්න හිත හදා ගන්න”
“හරි දැන් වොෂ් එකක් දාගෙන කෑම කමු. මම උයන්නම්”
සීතල නුවරඑළියේ අයිස් මෙන් වතුර ඇයට ඔරොත්තු නොදෙන තරම්. හැකි ඉක්මනින් හීටරය ගසා වතුර ජෝගු කිහිපක්ම ඇයට උණු කර දුන් මා ඇය වෙනුවෙන් උයන්නට උනේ කුසට අහරක් නැතිව සිටි බව වැටහුනු නිසා.
උණුසුම් වතුරින් ඇඟ සෝදාගෙන ඇය පැමිණෙද්දි බතක් උයා, පරිප්පු හොද්දක් හදන්නට මට වේලාව ප්රමාණවත් උනා.
“ඉන්න. සොසේජස් කරලකුත් බැදලා දෙන්නම්”
“මේ ඇති සුදු අයියේ”
“කමක් නෑ. එච්චර වෙලාවක් යන්නෙ නැ”
උණු උණුවේම බත් එක බෙදා ඇය අසලින්ම හිඳ බත්පිඩක් මුවට ලං කරද්දී දෑස් අයාගත් ඇය නැවත හඩන්නට උනා. කඳුලු පිසිමින්ම බත් එක ඇයට කවා අවසන් කරද්දි, මගේ කුසට වැටී තිබුණේ බත් කටවල් 2-3ක් විතරයි.
“මම යන්න ඕනේ සුදු අයියේ”
සවස් වෙද්දී ඇය එසේ පැවසු නිසාම තනිව ඇය යවන්නට මට හිත ඉඩ දුන්නෙ නෑ.
“ඉන්න මාත් එන්නම්”
ක්ෂණිකව ඇදුමක් දාගනිපු මමත් ඇය එක්කම පාරට ආවා. මඟ දිගට මා කියූ දේවල් උනන්දුවකින් අසා නොසිටියත් ඇය මගේ උරහිසට බරව ගමනාන්තය වන තෙක් සුවසේ නිදන්නට උනා.
“ඔයා යන්න සුදු අයියේ දැන්. නැත්නම් යන්න බස් නැති වෙනවනේ”
ඇයගේ ඇවිටිලි කිරීම නිසාම නිවසට ආසන්න නගරයේදී ඇයව බසයක අසුන් ගන්වා මා නැවත එන්නට පිටත් උනා. පාන්දර 2විතර වෙද්දී නවාතැනට එන්න පුළුවන් උනත්, ඇතුලට ගොඩ වෙද්දී ඇය නැතිව පාලු මූසල ස්වභායක් නවාතැනේ තිබුනා. දවසේ උන දේවල් හීනයක් වගේ ඇස් ඉස්සරහා මැවී මැවී පෙනුනා.
දින කිහිපයක් අපි සුපුරුදු විදියට දොඩමළු උනා. නමුත් ඇයගේ කඩහඩේ බිදුනු ස්වරූපය නම් කිසිලෙසකින්වත් වෙනස් උනේ නෑ.
එක්වරම දවසක් උදේ නැඟිටලා ඇගේ අංකෙට ගනිද්දි නැවතත් එම අංකය ක්රියා විරහිතයි. ඩේටා ඔන් කරන් ෆේස්බුක් ආවත් වෙනදා පෙන්වන ඇගේ ගිණුම ඔන්ලයින් නෑ. ඇයගේ නම සටහන් කරලා බලද්දී ඇය මාව අන්ෆ්රෙන්ඩ් කරලා. කඳුලක් දෙකක් දුරකථන තිරයට වැටෙද්දී මම එහෙමම පුටුවකට බර උනා. හරියකට නින්දක් නැතුව දවස් ගාණක් මම ඇයව සම්බන්ධ කරගන්න අප්රමාණ වෙහෙසක් ගත්තා.
“උඹට ඕනේ නම් ගිහින් කෙල්ල උස්සන් එමු”
ලඟ ඉදපු අතිජාත මිත්රයෙක් එහෙම කිව්වෙ ඔෆිස් එකට ඇවිත් කෑම පාර්සලේ දිගඇරගෙන බත් ඇට අතගාද්දි. එහෙමම බත් එක ගුලි කරලා කුණු කූඩෙට දාලා මිත්රයගෙ පිටට තට්ටුවක් දානවා ඇරෙන්න මගේ මුවින් ඒ වගේ වෙලාවට වචන පිට උනේ නෑ.
නමුත් සියළු උත්සාහයන් ගඟට කැපූ ඉනි වගේ නිශ්ඵල උනා. රැකියාවත් එක්ක කාර්යබහුල වෙද්දී තවත් මාස 3කට විතර පස්සෙ යාළුවෙක් ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා තිබුණා. ඒක මංගල උත්සවයක තැන්කියු කාඩ් එකක ජායාරූපයක්. ලස්සන සුදු සාරියකින් සැරසිලා මල් බොකියකුත් අරන් එකේ හිටියේ වෙන කවුරුවත් නෙමෙයි
මගේ මැණික
“ඔයාට හදවතින්ම සුභ පතනවා සුදු මැණික”
ඒ විදියට ටයිප් කරලා මැසෙන්ජර් යවපු පණිවිඩය ඇය සමහරවිට බලන්න නැතුව ඇති. අදටත් මම ඇයගෙ unfriend ලිස්ට් එකේ
– සමාප්තයි –
උපුටා ගැනීම: ~ සම්පත් උදාන ~