මාගේ සැමියා ගැන විවිධාකාරයේ තේ කතා කීමෙන් ඔහුට තේ බීම එපා කරවීමේ මාගේ උපාය පුස්සක් කරමින් උතුමාණෝ තව තවත් තේ බොමින් , රසකැවිලි කමින් අසූහාරදාහට මිනිස්සු මැරුණද , දුකද සතුටට හරවාගැනීමේ උදාරතර අරමුණු පෙරදැරිව කොරෝනා සීසන් එකම සතුටක් කරගනිමින් සිත් තොසින් කල් හරී රසවතුනේ.
මේ ඊයේ පෙරේදා සිදුවූ අළුත්ම තේ නොවන තේ කතාවයි.මන්ද බලධාරියා දැන් මූණු පොතේ සැරිසැරීමේ අවධානම යාන්තම් වගේ පහව යමින් තිබේ.
සැමියා – තේ බිව්වොත් හොඳයි නේ දැන් ?
මම – හොඳයි හොඳයි මොකෝ නරක.
සැමියා – ඔයාගෙ අර අංජනං ගුලියකුත් තිබුණානම් මරු
මම – මොන විකාර ගුලියක්ද අනේ.?
සැමියා – අර ඔයා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ළමයින්ට ගිල්ලන්නෙ.
මම – මම ගිල්ලන ගුලියක් නෑ අනේ.ඒ ළමයි ලෙඩවුණොත් බේත් නොදී බකන්නිලන් ඉන්නයෑ.
මම නම් හිතාගත්තේම රසවතුනි මුන්දෑ මේ පහර ගසන්නේ මේ ධන්වන්තරී දෙය්යොත් කිරි මුහුද කලම්ඹල හොයාගත් , අර වසර දාස් ගානක් පැරණි වෙදකමට නේද කියල ,අහක යන ගරායකා ඇදල අරන් ඔළුවට ආවේස කරන්
මම – මේ මන් දෙන ගුලියක්වත් බලියක්වත් නෑ.වද නොදී හදල දෙන තේක බීල පාඩුවෙ ඉන්නකො.මෙතන මේ මට වැඩ ගොඩගැහිල.ඔයත් එනව මේ ඉහ ගිනි ගත්ත වෙලේ සුරුට්ටු පත්තු කරන්න වගේ මල සමයන් කියාගෙන.
සැමියා – නෑ ඉතින් බැරිනම් කමක් නෑ. අපිටත් අතපය තියෙන්නෙ.හදාගෙන කන්නත් පුළුවන්. ළමයින්ට බලෙන් කවන්නෙ.අපි ඉල්ලුවොත් තමයි මූණ රොටියක් වෙන්නෙ..
මුන්දෑ තවත් මොනවාදෝ මුමුණ මුමුණ බඳුනක් රැගෙන විත් විවෘත කළ අතර අසල බඳුනක තිබූ පොල් ටිකද ලං කරගත් හැටි.
මම – ඔය බබාලගෙ ත්රිපෝෂ එක.
සැමියා – ආ ඒක තමයි මෙච්චර වෙලා කිව්වෙ.
බබාලට වගේම තාත්තලටත් පෝෂණය හරි වැදගත්. ගුලියක් දෙන්නද ?
මම – නෑ ඕන්නෑ.මගේ පෝෂණේ ඇති.මං ඕක හදල දෙන්නං.වඳින්නං මේ කුස්සියෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවද?
සැමයා – ඕකනෙ කියන්නෙ.කරන්න දෙන්නෑ වැඩක්.
මම – මගේ ෆෝන් එක කෝ..?
සැමියා – අංජනං ගුලි හදල ඉවරයි ඔය අටමගලෙ අර යළුවෙක් එල්ලුනොත් ඉතිං.
මම – නෑ නෑ මිඩ් වෛෆ් නෝනට. මීට පස්සෙ තාත්තලටත් පැකට් එකක් දෙන්න බැරිද අහන්න.
ඔන්න ඔයාකාරයි රසවතුනි තේ වලට රස එකතු කිරිල්ල.
උපුටා ගැනීම: Hasitha Eranganie