සැමියාගේ ලියවිල්ල (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” සුදූ මේ පාර සල්ලි එවනකොට රුපියල් පන්දාහක් වැඩියෙන් එවනවද , අලුත් පැටන් එකේ ගවුමක් ඇවුත් තියෙනවා. “
මේ අපේ ගෙදර උන්දෑ දහවෙනි වතාවටත් නැවත ගණන වැඩි කරමින් එවන ලද කෙටි පණිවිඩයයි. සෑම මසකම අවශ්ය මුදල් ප්රමාණය එක වර කියන ලෙස කොපමණ කීවත් පහලොස් වරක් හෝ ගණන වෙනස් කරමින් ගාන වැඩි කරමින් පණිවිඩ එවන්නේය. කොපමණ මුදල් එව්වද මාසය අවසානයේ ඒ මුදලින් සතයක් වත් ඉතුරුනොවී ගෙදර අයගෙන්ද අතමාරු ඉල්ලාගෙන ඇත.
මා මේ පිලිබදව ඇසූ විට ඇය පවසන්නේ මට ලංකාවේ විය හියදම් පිලිබදව කිසිදු අවබෝධයක් නැති අයකු බවයි. ලොකු පුතා මොන්ටිසෝරියට දැමූ පසු වියදම තවත් ගානකින් වැඩි විය. අනිත් ලමයින්ගේ අම්මලා හොදට එනවායි පවසමින් නිතර සැලෝන් යාම සදහා අමතර පන්දහසක් ඉල්ලා එවා තිබුනි.
” වස්තුව මේ මාසෙ සිට පුලුවන් නම් මට රුපියල් පන්දාහක් වැඩිපුර එවනවද. ලස්සනට යන්න එපැයි මොන්ටිසෝරි. නැත්නම් ඔයාටනෙ ලැජ්ජ” කියා වැඩිදුර සටහන් වී තිබුනි.
දිගට තිබූ කොන්ඩය ගැට ගැසෙනවායැයි කියා ටිකක් කපා දමා තිබුනි. දැන් කොන්ඩය සුදු වෙන්නට පටන් අර ගෙන ඇතැයි පවසා මදක් පාට කරන බව පැවසීය.
අපේ පුංචි අම්මලාගේ මල්ලීගේ මගුලට සැලුන් එකෙන් අන්දගන්න පන් දාහකුත් මගුල් ගෙදරට දෙන්න දෙදාහකුත් එවන්න යැයි දන්වා තිබුනි. දෙදාහක් දෙන්න ලැජ්ජ නිසා හතක්ම දෙන්න යැයි තවත් පන්දාහක් යවන ලදී.
ලොකු දරුවාට ඔන්ලයින් පන්ති කරන බැවින් ෆෝන් එක ඊට සුදුසු නොමැති බව පවසා එන කවුරුන් හෝ අතේ වහාම ටැබ් එකක් හෝ ලැප්ටොප් එකක් එවන ලෙස දන්වා තිබුනි. කොලුවාගේ ගෙදර වැඩ හා අත්වැඩ පින්තූර ගැනීමට තමා ලග හොද ෆෝන් එකක් නොමැතිවීම මදි කමක් ලෙස දැනෙන බවත් අනිත් ලමයින්ගේ පින්තූර ඉතා ලක්සන නිසා අපේ ලමයා කොන් වීමට පුලුවන් බව පවසමින් අලුත් ෆෝන් එකක්ද ඒ සමග එවන මෙන් දන්වා ඇත.
” මේ මාසෙ නම් සල්ලි ඔච්චර එවන්න විදියක් නෑ. පොඩ්ඩක් බැලන්ස් කරගන්න” යැයි වැරදිලාවත් කීව හොත් ඇය වහාම පිලිතුරු එවන්නේ
” ඇයි තමුසෙ හම්බකරන සල්ලි කනවද ” යැයි අසමිනි.
එයින්ද නොනැවතී කබ්රාල් මහතා සේ මාගෙ වැටුප ගෙන එයින් ගෙදරට වියදම් කරන ගණනත් මට මාසේ කෑමට යන ගානත් බස් එකට ආදී වශයෙනුත් ගණන් බලා ඉතිරි මුදල ගැන විමසන්නේය. මාගේ දුරකතන ගාස්තු, වයි ෆයි, ඉඩම් ගැනීමට ගත් ණයෙහි වාරික කිසිදා එයට එකතු වන්නේ නැත. හදිස්සියකට කොන්ඩෙ කැපීමකටවත් මුදලක් ලග නොතබා ඉතිරි කිරීම පිනිස ලංකාවට එවන ලෙස ඇය ඇණ කරයි. මා අපේ ගෙදරට මුදල් යවනවාදෝයි නොයෙක් උපක්රම මගින් විටින් විට පරීක්ෂා කර බලයි.
ඊයෙ ගෙදරට කතා කල විට කියා සිටියේ ඉස්කූටරයක් තිබුනානම් සියලුම ප්රශ්න වලට විසදුම ලැබෙන බවයි. නමුත් මාමණ්ඩී මට පැවසුවේ ගෑණීගේ පණට ආදරයක් ඇත්නම් ඉස්කූටරයක් අරන් නොදෙන ලෙසයි.
මා රට රස්සාවට ආ පසු සියලුම ප්රශ්න වලට පිලිතුරු ඇති සුරබිදෙනක් තමාට හිමිවී ඇති බව ගෙදර උන්දෑ සිතා ගෙන සිටින බව මට පසක් වී ඇත. සුරබිදෙන කෙසේ උවත් රට සිටියත් ලංකාවේ සිටියත් කඹය සැමදා ඇගේ අතේය.
ඉහත පින්තූරයෙන් පෙන්නුම් කරන්නේ ඇය සිතා සිටින රට රැකියාව කරන මාය.
( සත්ය කතාවක් නොවේ. )
( පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි )
උපුටා ගැනීම: Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!