ඇයගේ සමු ගැනීමත් සමඟ තනිකමට පුරුදු උන මාගේ තනි නොතනියට ළඟින් උන්නෙ මත්පැන් පමණි. මත්පැන් බිඳක් තොල ගාමින් තැබෑරුමට වී සිටින මා හට දැක ගැනීමට හැකි වූයේ තරමක් මැදි වයසැති පුද්ගලයෙකි.බිදෙන් බිද මත්පැන් තොල ගාමින් සිටි මා ඔහු අසලට ගොස් වාඩි වූයේ කුමන අරමුණකින්දැයි මාවත් නොදනිමි.
” මං නම් හිතන්නෙ පිරිමි බොන්නෙම ගෑණු නිසා”
කිව්වා නොවෙයි මට ඉබේටම කියැවුණි.
“ඒක ඇත්ත කොල්ලො දැන් බලන්නකො මමත් මේ මෙතනට ඇවිත් බිබී ඉන්නෙ එක ගෑණීයෙක් හින්දනෙ.”
ඉතිං මා සිතුවා වැරදි නැත.ඔහුත් ප්රේමයෙන් පරාජිත වූවෙකි.
“ගෑණූ හරි මෝඩයි.උන්ට ඕනේ නිතරම ආදරෙයි ආදරෙයි කිය කිය උන් මත්තෙම නැහි නැහි හුරතල් වෙවී ඉන්න පිරිමි.”
මට ඕන උනේම අැගේ හැර යාමට මගේ වරදක් නොමැති බව මගේම හිතට තේරුම් කර දීමය.
“ඔව් ළමයෝ.කොයි ගෑණීත් එක වගේ.මට මතක විදිහට මම අවසානේට මගෙ ප්රිය භාර්යාවට ආදරෙයි කිව්වෙ මීට අවුරුදු දහයකට කලින්.අපේ දුව ඉපදුණ දවසේ.”
අවුරුදු දහයකට කලින්? ඒක නම් විශ්වාස කරන්නත් බැරිය.
“දවසක් අපේ ගෑනි මට කෝල් කරලා අහනවා අනේ දෝණිගෙ තාත්තෙ දැන් දෝණිගෙ අම්මට ආදරෙ නැද්ද කියලා.මේ වැඩ අස්සෙ ආදරෙයි කියන්න වෙලාවක් කොයින්ද බං.මම හොද දෙකක් කියලා ෆෝන් එක කට් කලා..”
මට මතක් උනේ ඇයයි. ඇයට ඕන උනෙත් නිතරම ආදරේ දැයි දැන ගැනීමටය.එසේ නම් එය ඇගේ වරදක් නොව සමස්ථ ගැහැණු වර්ගයාම එකයි.එක අතකින් උන් පව්.එක වචනයක් ඇතිනෙ සැනසෙන්න.
“මොනවා උනත් අන්කල්ට එදා ඇන්ටිට ආදරෙයි කියල කියන්න තිබ්බෙ.”
“හ්ම්… ආදරෙයි විතරක් නෙමෙයි කොල්ලො මට බැරි උනා කවදාවත් එයාව වර්ණනා කරන්න.හැමදාම ඔෆිස් එකට ලස්සනට එන හැම ගැහැණියක්ම වර්ණනා කරපු මට එයාව වර්ණනා කරන්න බැරි උනා..”
” අපි මොන කතා කිව්වත් අපිම තමා වැරදි.නරකද අන්කල් අදම ගිහින් වයිෆ්ට ආදරෙයි කියලා එයා ගැන වර්ණනාවක් එහෙම කළොත්..”
ඉදින් මට ආදරෙයි කියන්න හෝ වර්ණනා කරන්න නුඹ මා ළඟ නැත.තව උගුරක් බිව්වෙ වැරදිකාරයා මමමය කියා නැවත වාරයක් සිතට දැනුණු නිසාය.
“තව ටිකක් බොමු. මේවට විතරයි පුලුවන් පිරිමි අපේ කඳුලු හංඟන්න”
මේ නන්නාදුනන මිනිසාගේ ඇස් වල තිබූ කඳුලු බිංදුවලට හේතුව දැන ගැනීමේ කුතුහලෙන් මම ඔහු දෙසම බලා සිටියෙමි.
” ජීවිතේ අපිට හැමදාම අවස්ථා දෙන්නැ කොල්ලො.දෙන්නෙ එක අවස්ථාවයි.ඒක රැකගන්න අපි දැනගන්න ඕන.මම ඇත්තටම දැනන් හිටියෙ නැ මගෙ දරුවගෙ අම්මා කොයි තරම් පීඩනයකින් හිටියද කියලා. හැබැයි ඒක දරාගන්නම බැරිම තැන වෙන්න ඇති එයා ජීවිතෙන් සමුගන්න හිතුවේ.අදට මාස තුනයි එයා මමයි දෝණිවයි අතැරලා යන්න ගිහින්.සමහරක් විට මට එක වතාවක්.පුලුවන් උනා නම් දෝණිගෙ අම්මටත් ආදරෙයි කියන්න..එහෙනම් එයාට දැනෙයි එයා තනිවෙලා නැ කියලා.එත් මං පරක්කු වැඩියි.”
තවත් වීදුරු දෙකක් හිස් කල මේ මිනිසා වැනි වැනි යන දෙස මා බලා සිටියෙ සියුම් වෛරයක් මුසු වේදනාවකින්ය.
ඇත්තටම ගැහැණුන් මෝඩද නැතිනම් පිරිමි ආත්මාර්ථකාමීදැයි මා හට තවමත් ගැටලුවකි.කෙසේ හෝ එක දෙයක් දනිමි.පුංචි වචනයකින් වුවද සැනසෙන ගැහැණිය වෙනුවෙන් එම වචනය වියදම් කිරීමට දෙපාරක් සිතිය යුතු නැත.
උපුටා ගැනීම: Hirusha Wijerathna