පුංචි කාලේ කරපු හිතුවක්කාරකමක් වුනාට මතක් කරද්දී කිසියම් වින්දනයක් ලබන්න පුළුවන් අත්දැකීමක් ගැන ලියන්න හිතුණා .
අපේ ගමේ හිටියා කලුමහත්තයා කියලා කලාකරුවෙක් .එයා මනමේ නාඩගම පුරුදු පුහුණු කරලා පන්සලේ පිංකමකට පෙන්නුවා .පහුවදා අපේ ගෙදර මිදුලේ මම ඒකේ කෑලි තනිවම නටනවා දැකලා කලුමහත්තයා මාව සඳකිඳුරිට දාලා සඳකිඳුරු නාඩගම හැදුවා.කිඳුරා සේන අය්යා .දොරට වැඩුම කලේ අරඹේවත්තේදී.ඊලඟට වික්රමකන්ද පන්සලේ පිංකමකට ආරාධනාවක් ලැබිලා එහේ යන දවසේ සේන අය්යාටයි මටයි කිව්වා ඊබට් උන්නැහේ ඒ කියන්නේ නාඩගමේ බෙර වාදන ශිල්පියාව එක්ක එන්න කියලා .පණිවිඩේ අරගෙන යන ගමන් සේන අය්යා වෙන ගෑනු කෙනෙකුගෙන් වැරැදිලා ඊබට් උන්නැහේ ගෙදර ඉන්නවාද අහලා ඒ කෙනා බනින කොට ආපහු දිව්වා.පස්සෙන් දිව්වත් අල්ලාගන්න බැහැ මම ඒ දවස්වල බෝලේ වගේ මහතයි.ආපහු එනකොට ඇලේ ඔරුවක් පහලට යනවා .කළුගඟ ගලපුවහම කරඳන ඇල දිගේ ගංවතුර උඩහට ඇවිත් වෙලවල් පිරෙනවා .අපි පීනනවා .කෙහෙල් කොට පහුරු හදාගෙන පදිනවා .කන්නවත් ගෙදර එන්නේ නැහැ .ගංවතුර බහින්න එපා කියලා දෙවියන්ට කියනවා.අමාරුවෙන් කාගෙන් හරි ඔරුවක් ඉල්ලා ගත්තහම අයිතිකාරයාටවත් ආපහු ගන්න බැහැ .ඒ නිසා ඕනෑම ගැඹුරක පීනන්නත් තනි පැත්තෙන් පැදලා ඔරුවක් කාර් එකක් වාගේ හරවන්නත් පුළුවන් .
නාඩගමට යන්න පැය කිහිපයයි.මං ඔරුව පදින කෙනාගෙන් ඇහුවා මාත් එන්නද කියලා.මාව ඔරුවට අරන් ටික දුරක් ගිහින් පොඩ්ඩක් ඉන්න කියලා ඒ අය රා බොන්න ගියා .මම තනිවම ඉන්දැද්දි ඇලේ පහල ලයනල් මාමා ඔරුවක යනවා .කෑගහලා මාත් එන්නද අහලා කලින් ඔරුව එතනම දාලා ඒ ඔරුවට නැග්ගා.මඩල වෙල්යායේ ඔරු පැදලා එද්දී තාත්තා කෝටුවකුත් අරගෙන ඇල ඉවුරේ .ඒ පාරෙන් බේරිලා දුවද්දී බල්ලෙකුත් එලෙව්වා.අම්මා ආයෙත් දොලට ගිහින් නාවලා සඳකිඳුරු නාඩගමට යැව්වා.
මේ කථාවේ වැදගත්කමක් නම් නැතුව ඇති.මේ වෙනකොට මම අවුරුදු දහයකටත් වඩා දහම් පාසැලේ ගුරු සේවයේ යෙදෙනවා .ලමයින්ගේ සමහර වැරැදි වලදී මම යකෙක් වගේ වෙලා තියෙනවා .ඒත් දරුවන්ගේ දඟකාරකම්,හිතුවක්කාරකම් වලදී කටක් ඇරලාවත් අතක් උස්සලාවත් නැහැ .
උපුටා ගැනීම: සුනිල් ගුණසිරි