සන්දේශ (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තොටගමුවේ ශ්රී රාහුල හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ සාහිත්යයේ ඉහළින්ම තියෙන නමක්. චන්ද්රාවතී සහ ලෝකනාථා කියන කාන්තාවෝ දෙන්නා නැත්නම් රාහුල හාමුදුරුවෝ කියල කෙනෙකුත් නැහැ කියලා කියමනක් මම අහලා තියෙනවා. අපි මේ සටහනෙන් බලමු ඇයි එහෙම කියන්නේ කියලා.
කෝට්ටේ හිටියා රජකෙනෙක් හයවෙනි පරාක්රමබාහු කියලා. ඒ කාලේ මෙයාට එරෙහිව නැගී හිටින්න තරම් බලවත් කෙනෙක් හිටියෙත් නැහැ. හැබැයි පොඩි ප්රශ්නයක් තිබුනා. පරාක්රමබාහුට රජතුමාට පස්සේ රජකම දෙන්න පුතෙක් හිටියේ නැහැ. රජතුමාට හිටියේ දුවලා දෙන්නෙක්. එක්කෙනෙක් චන්ද්රාවතී අනික් කෙනා ලෝකනාථා. ලෝකනාථා දේවියට උලකුඩය දේවිය කියලත් කියනවා. ඉස්සර ගැහැණු දරුවන්ට රජකම ලබාදෙන සිරිතක් තිබ්බෙත් නැහැනේ. මේ නිසා සවැනි පැරකුම්බා රජතුමා පිරිමි ළමයි තුන්දෙනෙක්ව පුත් තනතුරේ තියාගෙන හදාගත්තා. එයින් කෙනෙක්ට රජකම දෙන්න කියලා හිතාගෙන.
වැඩිමලා සපුමල් කුමාරයා දෙවැන්නා ජයබාහු කුමාරයා තුන්වැන්නා අම්බුලුගල කුමාරයා. ජයබාහු කුමාරයා පස්සේ පැවිදි වෙනවා තොටගමුවේ රාහුල හිමි විදිහට. පැරකුම්බා රජතුමාගෙන් පස්සේ රජකම ලැබෙන්න තිබුනේ සපුමල් කුමාරයාට. එයානෙ වැඩිමලා. අනික එයා දක්ෂ සෙන්පතියෙක් විදිහට රටේ මිනිස්සුන්ගෙත් කැමැත්ත දිනාගෙන හිටියේ.
නමුත් රාහුල හාමුදුරුවෝ මේකට කැමති වුනේ නැහැ. රාහුල හාමුදුරුවෝ කිව්වා රජතුමාට එතුමගේ මුණුබුරෙක්ට රජකම දෙන්න කියලා. ඒ වෙනකොට රජතුමාගේ වැඩිමහල් දුව වුන චන්ද්රාවතී කුමරිය අඩුමතරමේ බැඳලවත් උන්නේ නැති නිසා රජතුමාට මුණුබුරෙක් හිටියෙත් නැහැ. මෙන්න මෙතනදී රාහුල හාමුදුරුවෝ තමන්ගේ සාහිත්ය දැනුම ප්රයෝජනයට ගන්නවා රටේ දේශපාලන ප්රශ්නයකට විසදුමක් විදිහට.
මේ වෙනකොට රටේ මිනිස්සු සපුමල් කුමාරයාට රජකම ලැබෙනවට කැමැත්තෙන් හිටියේ. රාහුල හාමුදුරුවන්ට අවශ්ය වුනා මිනිස්සුන්ගේ මේ කැමැත්ත වෙනස් කරන්න. අද වගේ ටීවී ඇඩ් දාන්නත් බැහැනේ. ඒ නිසා ලිව්වා සන්දේශ කාව්යයක්. සමකාලීන බොහෝ දෙනෙක් වෙතට තමන්ගේ අදහස ගෙනයන්න හොද ක්රමයක් ඒක. ගම්බිම්, ඇළදොල, ගංගා, පොකුණු, වනසතුන් ආදීන් ගැන වැනුමෙන් තමන්ගේ හිතවත් දේශපාලන නායකයන් මිනිසුන්ගේ ගෞරවයට පත් කරන්න පුලුවන් ක්රමයක් සන්දේශ කාව්යයක් කියන්නේ. සන්දේශ කාව්යයක් කියන්නේ කවියගේ ප්රාර්ථනාව අරමුණ මිනිසුන්ගේ ප්රාර්ථනාව හා අරමුණ කරන්න පුලුවන් හරිම සියුම් උපක්රමයක්. රාහුල හාමුදුරුවෝ මේ ක්රමය භාවිතා කරා.
රාහුල හාමුදුරුවෝ ලියනවා පරෙවි සන්දේශය. මේ සන්දේශ කාව්යයේ අරමුණ වෙන්නේ කුලවත් පුරුෂයෙක් චන්ද්රාවතී බිසවට ලැබෙන්නත් කිරුළ දරන්න සුදුසු පුත් කුමරෙක් චන්ද්රාවතී බිසවට ලබාදෙන්නත් කියලා උපුල්වල් දෙවියන්ගෙන් කරන ඉල්ලීමක්. නමුත් අවාසනාවකට චන්ද්රාවතී බිසව විවාහ නොවී මියයනවා.
රාහුල හාමුදුරුවෝ තමන්ගේ අපේක්ෂා නැතිකරගත්තේ නැහැ. හයවෙනි පරාක්රමබාහු රජතුමාට ඉන්නවා තව දුවෙක්. උලකුඩය දේවිය. ඉතින් ලිව්වා තව සන්දේශ කාව්යයක්. අපි හැමෝම අහලා තියෙන සුප්රකට සැළලිහිණි සන්දේශය. සැළලිහිණි සන්දේශයේ අරමුණ උලකුඩය දේවියට පුතෙක් ලබා දෙන සේ කැළණියේ විභීෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීමක්. නමුත් මෙතනදී මේ ඉල්ලීම තමන්ගේ ඉල්ලීමක් විදිහට නෙමේ උලකුඩය දේවියගේ සැමියගේ ඉල්ලීමක් විදිහටයි සන්දේශය ලියැවෙන්නේ.
රාහුල හාමුදුරුවන්ගේ මේ පැතුම ඉටුවෙනවා. උලකුඩය දේවියට පුතෙක් ලැබෙනවා. නම ජයබාහු. සවැනි පරාක්රමබාහු රජතුමා මියගියාට පස්සේ ජයබාහු රජකමට පත්වෙනවා. මේ අතරේ සපුමල් කුමාරයා රජකමට පත්කරන්න අපේක්ෂාවෙන් හිටපු පිරිසකුත් ඉන්නවා. මේ පක්ෂයෙන් සපුමල් කුමාරයාව වර්ණනා කරලා සන්දේශ කාව්යයක් ලියනවා. මේ සන්දේශයෙ නම කෝකිල සන්දේශය. කෝකිලයා සන්දේශය දෙවිනුවර ඉදන් යාපනය වෙනකන් අරගෙන ගිහින් යාපනයේ ඉන්න සපුමල් කුමාරයාට දෙන්නේ. මොකද ඒ වෙනකොට සපුමල් කුමාරයා යාපනය ජයගෙන පාලනය කරගෙන උන්නේ. මේ සන්දේශයෙන් කවියා (ඉරුගල්තිලක හිමි කිව්වට පැහැදිලි සදහනක් නැහැ) සපුමල් කුමාරයා පැරකුම්බා රජතුමාට නොදෙවෙනි පාලකයෙක් විදිහටයි විස්තර කරන්නේ.
උලකුඩය දේවියගේ පුතා ජයබාහු රජකමට පත්වුනාට අවුරුදු දෙකකට වඩා රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. සපුමල් කුමාරයා ජයබාහු රජතුමාව මරලා රජකමට පත්වෙනවා හයවෙනි බුවනෙකබාහු විදිහට. මේ සිදුවීමෙන් පස්සේ රාහුල හාමුදුරුවෝ ආගමික හා දේශපාලන කටයුතු වලින් ඈත් වෙනවා.
රාහුල හාමුදුරුවන් කරපු ශාසනික කටයුතු දැන් පැවරිලා තියෙන්නේ තවත් ප්රකට භික්ෂූන්වහන්සේ කෙනෙක් වුනු වීදාගම හිමියන්ට. බුවනෙකබාහු රජතුමාගේ කාලයේ රාමඤ්ඤ දේශයෙන් ගෙනා උපසම්පදාව පවත්වන්න භික්ෂූන් රැස් කලේ වීදාගම හිමියන්. මේ හේතූන් එක්ක වීදාගම හිමි බුවනෙකබාහු රජතුමාට (පෙර සපුමල් කුමාරයා) හිතවත්ව හිටියා කියලා කියන්නත් පුළුවන්.
දේශපාලන පරිසරයකින් තොරව ලියැවුනු සන්දේශ කාව්ය දෙකක් විදිහටයි ගිරා හා හංස සන්දේශයයි සාමාන්යයෙන් සැලකෙන්නේ. ගිරා සන්දේශයේ කතුවරයෙක් ගැන නිසි සදහනක් නැතත් හංස සන්දේශය ලිව්වේ වීදාගම මෛත්රී හිමි කියලයි පිළිගන්නේ. මේ කාව්ය දෙකෙන් ශාසනික ආයතන දෙකක් වර්ණනා කරන්නේ. කෝට්ටේ යුගයේ ප්රධාන ශාසනික ආයතන දෙකක් තිබුනා. එකක් ග්රාමවාසය අනික වනවාසය. ග්රාමවාසයේ නායකයා රාහුල හාමුදුරුවෝ. ගිරා සන්දේශයේ කියැවෙන්නේ රාහුල හාමුදුරුවෝ හිටපු තොටගමුවේ විජයබා පිරිවෙන ගැන වර්ණනයක්.
වනවාසයේ නායකයා වුනේ කෑරගල වනරතන හිමි. හංස සන්දේශයේ වර්ණනාවට ලක්වෙන්නේ වනතරන හිමියන් විසූ ගම හා විහාරය. ඒත් එක්කම ගිරා සන්දේශයේ එන වර්ණනා සිනාවට ලක්කරන විදිහටයි හංස සන්දේශය ලියවෙන්නේ. වීදාගම හිමි මෙහෙම ලියන්නේ රාහුල හාමුදුරුවෝ සපුමල් කුමාරයාට විරුද්ධ වුන නිසා සපුමල් කුමාරයාව සතුටු කරන්න වෙන්නත් පුලුවන්. හංස සන්දේශයෙනුත් ගිරා සන්දේශයෙන් වැනුමට ලක්වෙන රාහුල හාමුදුරුවන්ගේ දැනුම ලඝු කොට දක්වන්න කරපු උත්සහයනුත් නිසා ඒ සන්දේශ වලටත් දේශපාලන බලපෑමක් තිබුනා කියන්න පුලුවන්.
දේශපාලන අරමුණු වලින් රචනා වුනේ මේ සන්දේශ කාව්ය කිහිපය විතරක්ම නෙමේ. කෝට්ටේ යුගයට කලින් ගම්පොළ යුගයේ ලියැවුනු සන්දේශ කාව්ය දෙකකුත් තියෙනවා. තිසර හා මයුර සන්දේශය. තිසර සන්දේශයෙන් වැනුමට ලක්වෙන්නේ දැතිගම්පුර විසූ පස්වෙනි පරාක්රමබාහු රජතුමාව. පස්වෙනි පැරකුම්බා රජතුමා ලංකාව පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා විදිහටයි තිසර සන්දේශයේ කතුවරයා විස්තර කරන්නේ. මයුර සන්දේශයෙනුත් කියන්නේ බුවනෙකබාහු රජතුමාව ආරක්ෂා කරන්නෙයි කියලා උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලීමක්.
උක්ත සන්දේශ කතුවරුන්ගේ දේශපාලන අරමුණු ඉටු වුනත් නැතත් දේශපාලන ගැටුම සාහිත්යය තුලින් සිදුවුන නිසා ලංකාවට හොද සන්දේශ සාහිත්යයක් හිමිවුනා.
[පින්තූරයේ සිටින්නේ විභීෂණ දෙවියන් ය.]

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!