“අවසානයේ ඔවුන් පැමිණියා. ගෙස්ටාපෝ පොලිස් භටයෙක් පිස්තෝලය පෙන්වා ඔවුන් පිළිබඳව විමසා සිටියා. ඉන් පසුව සියල්ල අවසාන වුණා. ඔවුන් පැමිණ සැගවී සිටින පිරිස අත්අඩංගුවට ගත්තා. රජයේ ප්රතිපත්තියට අපට අනුගත වීමට සිදුවෙනවා මැතිණියණි.”
කියමින් මම වෙව්ලමින් ඔවුන්ගෙන් සමුගත්තා.
වික්ටර් කුග්ලර්ට ඊට වඩා කතාකිරීමට අපහසුය. 1978 දී එනම් දෙවන ලෝක යුද්ධය නිමා වී වසර ගණනාවකට පසුත් ඒ ගැන සිහි කරන විට ඔහුගේ දෙනෙත් තෙත් වී යයි. කුග්ලර් මහතා ඇම්ස්ටර්ඩෑම් නුවර මැද නිදහසේ ගලා ගිය පින්සෙන්ග්රාත් ඇල මාර්ගයට මායිම් ව පිහිටි එදා පාළු හා මූසල පෙනුමක් ගෙන දුන් ගොඩනැගිල්ලක පරිපාලකයාව සිටියේය. අද එම නිවස ලෝකයට විවර වන්නේ “ඈන් ෆ්රෑන්ක් නිවස” ලෙසයි. එය නෙදර්ලන්ත රජය විසින් කෞතුකාගාරයක් බවට පත් කොට ඇත
“ලොකු මිනිස්සු පුංචි දේවල් ගැන මේ විදියට හරිම ලේසියෙන් රණ්ඩු කරගන්නවා ඇති කියලා මීට කලින් කවදාවත්ම මම හිතලා තිබුනේ නැහැ.මම හිතුවේ හැම වෙලාවේම රණ්ඩු වෙන එක පුංචි අයගේ සිරිතක් කියලයි”.-
1942 සැප්තැම්බර් 28
තමන්ට තමා ගැනම හා අනිත් අය ගැන සිතෙන,වෙන කෙනෙකු හා කියන්නට ඇය අකමැතිවූ මෙවන් සිතුවිලි ඈන් ෆ්රෑන්ක් නිර්ලෝභීව තම දින පොතේ සටහන් කළාය.ඇය තම දිනපොතට කිටී යනුවෙන් නම් තබා තිබුණි.ඇය ඒ තරම් ඊට ඇළුම් කොට තිබුණි.බොහෝ දින සටහන් ආදරණීය කිටී ලෙස ආරම්භ කොට තිබුණි
ඈන් ෆ්රෑන්ක් අවුරුදු 13ක යුදෙව් ජාතික කෙළි පොඩිත්තියකි.ඇයගේ කඳුළු පිරුණු සිනාසෙන ඇස් සහිත චායාරූපය ඇම්ස්ටර්ඩෑම් නගරයේ බොහෝ තැන් වල සිහිවටන සේ අලෙවි කරනු ලබයි.මධ්යතන යුගයේ ලෝක වෙළඳ කටයුතු වල මර්මස්ථානය වූ ඇම්ස්ටර්ඩෑම් නගරයේ සියළු සශ්රීක සංකේතයන් අභිබවා ඈන් ෆ්රෑන්ක්නම් ඒ කුඩාදැරිය තවමත් අහිංසකව සිනාසෙයි. හිට්ලර්ගේ සමූල ඝාතක වදකාගාර වූ අවුට්ස්විට්ස් හා බර්ගන්- බෙල්සන් සිරකඳවුරු වලට රැගෙන ගිය ඇය හා ඇගේ වැඩිමහල් සොයුරිය 1945 පෙබරවාරියේ නිරාහාරව මිය ගොස් තිබුණි. එහෙත් ඇයගේ පියා විසින් උපන්දිනයක තෑගි කරන ලද දිනපොතක ඇය ලියූ සටහන් සදාතනික අනුවේදනීය භාවයකින් යුතුව මිලියන ගණන් මානව ප්රේමී සිත් තවදුරටත් සංවේදී කරමින් ජීවමානව පවතියි. ඈන් ෆ්රෑන්ක්ගේ දිනපොත (The Diary of a Young Girl) අද ද ලොව පුරා අලෙවි වන්නේ මිලියන ගණනිනි.
මේ සටහන අද මා විසින් ලියනු ලබන්නේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ ඇන් ෆ්රෑන්ක් නිවස ඉදිරිපස ඇති ලී ආසනයක සිටයි. ඈන් ෆ්රෑන්ක්ගේ දිනපොත කුඩා කළ එහෙන් මෙහෙන් කියවා දැමුවාට එදා මේ බර හදවතට නොදැනුණේ අප යුද්ධය කියවා නොතිබූ නිසා විය යුතුය. මයින් කාමන් සිට හිට්ලර්ගේ ලේකම් වරියගේ දිනපොත දක්වා කියවා ඇඩොල්ෆ් හිට්ලර්ව සොයා ගැනීමට උත්සාහ කළද ඈන් ෆ්රෑන්ක් සොයා ගැනීමට මෙතරම් ප්රමාද වීම පිළිබඳව ඇත්තේ කණගාටුවකි.
කුඩා ඈන් හා අනෙක් පිරිස සැගවී සිටි රහස් කාමරයේ ඇය විසින් බිත්තියේ අලවා තිබූ පිංතූර අදද එලෙසම ඇත. ඒවා පමණක් නොව ඇය විසින් බිත්තියේ අදින ලද පැන්සල් ඉරි පවා සුවිශේෂී ලෙස සංරක්ෂණය කොට ඇත. අසළ නිවසක මංගල උත්සවයකදී ඈන් ෆ්රැන්ක් දැරිය ඉහළ ජනේලයකින් එබී බලන තත්පර තුනක පමණ කලු සුදු වීඩියෝව හදවත මොහතකට නතර කරවයි. එසේම ඈන් ෆ්රෑන්ක් විසින් පිළිවෙලට හා ලස්සනට ලියා ඇති අත් අකුරු සැබැවින් කියවන බොහෝ සංචාරකයන් රහසේ කඳුළු සළනවා දුටිමි.
ජර්මනියේ, ෆ්රෑන්ක්‌ෆර්ට් හිදී 1929 ජුනි මස 12 වැනි දින උපත ලද ඈනලීස් මේරි ෆ්රෑන්ක් (Annelies Marie Frank) 1941 දක්‌වාම ජර්මනියට අයත් දැරියක වූවාය. එහෙත් 1933 මාර්තු 13 වැනි දින ජර්මනියේ නාසි (Natzi Party) පක්ෂය ජය ලබා ඇඩොල්ෆ් හිට්‌ලර් රාජ්ය පාලනයේ සියලු බලතල අත්පත්කර ගනිද්දි බොහෝ ජර්මානුවාසීන් භීතියෙන් ඇලලී ගියහ. ඔහු තම විරුද්ධ පාක්ෂිකයන්, ආබාධිතයන් සහ ජර්මන් ආර්යයන් නොවූ සියලුම යුදෙව් ජාතිකයින් ද සමූල ඝාතනය කිරීමේ බිහිසුණු කර්තව්යය ආරම්භ කළේය. ඔහු මේ සඳහා යොදාගත්තේ ගෙස්‌ටාපෝ (Gestapo) නම් වූ රහස් පොලිස් සේවාවයි.
යමක් කමක් තිබූ යුදෙව් ජාතික ජර්මානු පවුලක් වූ බැවින් බියපත් වූ ඈන්ගේ පියා, ඔටෝ ෆ්රෑන්ක් තම බිරිඳ දරුවන් සමග ඇයගේ මහ ගෙදරට පිටත් කොට හැරියේය. පසුව නෙදර්ලන්තයේ ඇම්ස්‌ටර්ඩෑම් කරා සංක්රමණය වූ ඔටෝ ෆ්රෑන්ක් එහි ව්යාපාරයකට සම්බන්ධ විය.
Opekta Works’ නම් වූ පළතුරු අලෙවි කිරීමේ ව්යාපාරයක කොටස්‌කරුවෙකු වූ ඔටෝ 1934 දී පවුලේ අය ඇම්ස්‌ටර්ඩෑමයට ගෙන්වා ගත්තේය. ඔහු දෙවැනි ව්යාපාරයක් ද ආරම්භ කළේය. තම බිරිඳ වූ එඩිත්ගේ මවද තම පවුලට එකතුකරගන්නට ඔහු කටයුතු කළේය. ආච්චි අම්මාගේ පැමිණීම ඈන් හට මහත් සතුටක් විය. එහෙත් නාසිවාදීහු 1940 මැයි මාසයේදී නෙදර්ලන්තය ද යටත් කොටගත්හ. යුදෙව් දරුවන්ට යුදෙව් පාසල් පමණක් විවර විය. චිත්රපට ශාලා සාමාන්ය ප්රවාහන සේවා යුදෙව් ජාතිකයන්ට තහනම් කෙරිණි. ඈන් ගේ සහෝදරිය වූ මාගරට් යුදෙව් ලේ ඇත්තියක ලෙස වර්ග කරමින් ඇයගේ පාසැලෙන් නිකුත් කරන ලද ලේඛණය පවා කෞතුකාගාරයේ සංරක්ෂණය කොට ඇත.
මේ වනවිට ඈන්ගේ සොයුරිය මාගරට් ඉගෙනුමට අති දක්ෂ දැරියකි. ඈන් කියවීමට හා ලිවීමට අතිශයින් ඇළුම් කරන, සෘජුව කතා කරන, ශක්‌තිමක් දැරියක වූවාය.
රටෙහි පැවැති අයහපත් තත්ත්වය යටතේ ඔටෝ තම ව්යාපාර අන් අයට පවරාදුන්නේය.
1942 වසරේදී යුදෙව් විගමන මධ්යස්‌ථානය මගින් ‘මාගරට් වැඩ කඳවුරකට කැඳවා තිබිණි. වහා ක්රියාත්මක වූ ඔටෝ ෆ්රෑන්ක් තම දරු පවුල ද රැගෙන ‘Opekta’ කාර්යාල පරිශ්රයෙහි වූ කුඩා රහස් උපගෘහයක පදිංචියට ගියේය. කුඩා කාමර දෙකකින්, නාන කාමරයකින් සහ අටුවකින් යුක්‌ත වූ රහස් නිවහන ඈන් හට සිරගෙයක් නොවූයේ ඇය කියවන්නටත්, ලියන්නටත් කාලය වැය කළ බැවිනි.
එහෙත් නිවහන හැර එන්නට මසකට කලින් වූ ආච්චි අම්මාගේ මරණයත්, තම සුරතල් පූසා ‘මුවර්ට්’ අතැර ආ ශෝකයත් ඈන්ගේ කුඩා සිත දැඩිව පෙළමින් තිබිණි.
ගමන් මලු ගෙන ආ නොහැකි බැවින් ඇඳුම් කිහිපයක් එකවර හැඳ බොහෝ දුර පා ගමනින් පැමිණිය ද ඈන් සතු සුවිශේෂ යමක් තිබිණි. ඒ ඇය 13 වැනි උපන්දිනය සැමරූ දා පියා ඇය හට ලබා දුන් තිළිනය වූ සමරු පොතයි. රතු, සුදු කොටු රෙද්දකින් පිටකවරය නිමවා තිබූ එහි ඉදිරිපස අගුලක් ද විය. කලින් දිනයක ඈන් එම පොත සාප්පුවෙහි තිබියදී තම පියාට පෙන්වා තිබුණේ එය තමා සතු කරගැනීමේ බලාපොරොත්තුව ද ඇතිවය.
රහස් නිවහනේ ජීවිතය
ආරම්භ කළ වහාම ඈන් තම සමරු පොත දිනපොතක් කරගත යුතුයෑයි තීරණය කළාය. 1942 ජුනි 12 වැනි දින සිට 1944 අගෝස්‌තු 01 දා දක්‌වා ලියෑවුණු ඈන්ගේ දින පොත ඇගේ ජීවිතයේ දුක්‌ඛ දෝමනස්‌සයන් පමණක් නොව ඇඩොල්ෆ් හිට්‌ලර්ගේ නපුරු නාසිවාදී පාලනය ගැන ද බොහෝ දැ ලොවට හෙළිකළේය. කුඩා කල නිළියක් වීමේ සිහිනය සිත දරා සිටි ඈන්ගේ පසුකාලීන සිහිනය වී තිබුණේ පුවත්පත් කලාවේදිනියක වීමයි. ඒ බව ඇය දිනපොතේ සටහන් කොට තිබුණේ මෙසේ ය
“ඉස්‌කෝලෙ නොගියොත් මට මෝඩ ගෑණියෙක් වෙන්නට සිද්ධවේවි. මට උවමනා පුවත්පත් කලාවේදිනියක් වෙන්නටයි. ඒ මට ලියන්නට පුළුවන් නිසා. පොත්පත් ලියන්නට, ලිපි ලියන්නට මට හපන්කමක් නැත්නම්, මම මං වෙනුවෙන්ම ලියන්නම්. ඒත් මට උවමනා අම්මා වගේ වෙනත්, ගැහැණු උදවිය වගේ හැම තිස්‌සේම වැඩ කර කර ඉන්නට නෙමෙයි. මිනිස්‌සුන්ට ප්රයෝජනවත් ඒ අය සතුටුකරන යමක් කරන්නට මට අවශ්යයි. මරණයෙන් පස්‌සෙත් ජීවත්වෙන්නට මට පුළුවන්නම්….
‘මගේ ආත්මය මගේ සිතුවිලි මේ විදියට මුදාහරින්නට මට ශක්‌තිය ලබාදුන් දෙවියන් වහන්සේට ස්‌තූතියි. ඒත් ලොකුම ප්රශ්නය මට පුළුවන්කමක් ලැබේවිද කවදා හෝ ලේඛිකාවක් වෙන්නට?’ “
1944 අප්රේල් දා.(ඈන් ෆ්රෑන්ක්)
ආරක්ෂාව පතා පසුව තම රහස් නිවහනේම පදිංචියට පැමිණි පවුලක සිටි පීටර් නම් තරුණයකු සමග ඇතිවූ තාවකාලික ප්රේම සම්බන්ධයක් පිළිබඳවද ඈන් දිනපොතෙහි ලියා තිබිණි. නාසි පාලනය යටතේ සාමාන්ය ජන ජීවිතය උඩු යටිකුරු වී ගිය අයුරු ඇගේ දින සටහන් තුළින් මනාව හෙළි කෙරිණි. වරෙක තම මව පිළිබඳව අමනාපයෙන් ලියූ ඇය තවත් වරෙක එසේ ලිවීම පිළිබඳ පසුතැවිල්ලට පත් වී සිටියාය. දිනපොතේ ලියන්නට ඈ බොහෝ කරුණු අසා දැනගත්තේ ඔවුනට නිතර උදව් උපකාර කළ ව්යාපාරයේ සේවකයන්ගෙනි. ඔවුන්ගෙන් කිසිවෙක් නිවසට පැමිණෙන තුරු ඇය මග බලාගෙන සිටියාය.
ඈන් ෆ්රෑන්ක් හා පිරිස සැඟවී සිටි උඩු මහලට අපි
ඉනිමගක් වන් පඩි පෙළකින් ඇතුළු වූයෙමු. ඒ තුළ පුදුමාකාර ගුප්ත නිහඩතාවයක් රජකරයි. මටනම් ඈන් ෆ්රෑන්ක් එතැනදී මුණ ගැසුණු බව කිව යුතුය.පරණපොත් ගබඩාවක් සහිත රාක්කය බොඳ වී ගිය දැරියන්ගේ දීප්තිමත් අනාගත සිහින සමගම මළාණික පැහැ ගැන්වී ඇත. ඒ පොත් වල ඇති වැදගත් දේ ඈන් විසින් ලස්සන අත්අකුරින් උපුටා දක්වා ඇත. පියා විසින් ලබා දුන් සී.ආර් පොත් වල ඇය කෙටි කතා ලියා ඇත. මරණය ගැන අසා ඇති වුවද වැඩිහිටියන් විසින් ඇයගේ රීරි මාංශයම හූරා ඇය මරා දමනු ඇති බවට අසරණ දැරිය සිහිනෙන්වත් නොසිතන්නට ඇත.
ඈන් තම දිනපොතේ අවසාන සටහන තබා ඇත්තේ 1944 අගෝස්‌තු මස පළමුවැනිදාය. අගෝස්‌තු 4 වැනි දා කවුරුන් හෝ ලබාදුන් ඔත්තුවක් මත ෆ්රෑන්ක් පවුල ගෙස්‌ටාපෝ රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි.
ලක්ෂයක් පමණ වූ යුදෙව්වන් අතර සිරගතව සිටි ෆ්රෑන්ක් පවුල 1944 සැප්තැම්බර් මාසයේදී දින 3 ක අප්රසන්න දුම්රිය ගමනකින් අවුෂ්විට්‌ස් (Auschwitz) වධ කඳවුර වෙත පිටත් කෙරිණි. දුම්රිය තුළ වූ 1,019 ක් වූ සිරකරුවන්ගෙන් වයස 15 ට අඩු දරුවන් 549 ක් වෙන් කැරුණු අතර ඔවුන් සියලු දෙනාම කෙලින්ම යවනු ලැබුවේ ගෑස් කුටි තුළටය. අවුරුදු 15 ඉක්‌මවා මාස 3 ක් ගෙවී තිබුණු බැවින් ඈන් අයත් වූයේ වැඩිහිටියන්ගේ කණ්‌ඩායමට ය.
හිස මුඩු කොට සිරුර නිරුවත් කොට විෂබීජ නාශකයකින් නහවා සිරකරු අංකය හංවඩුගසා බැරැක්‌කයකට යවනු ලැබූ ඈන් අනෙකුත් සිරකරුවන් මෙන්ම උදේ සිට රෑ වන තුරු වෙහෙසව වැඩ කළාය. ගල් අදින්නටත්, තණ පිඩැලි කපන්නටත් ඈන් හට සිදුවිය. කඳවුරට ගිය විගස ගැහැණුන් හා පිරිමින් වෙන් කැරුණු බැවින් ඈන් හට නැවත කිසිදාක ඇගේ පියා මුණගැසුනේ නැත.
පසුව සමේ රෝගයකින් පෙළුණු ඈන් සහ ඇගේ සොයුරිය මීයන්ගෙන් පිරුණු ගිලන් හලට මාරුකොට යෑවිණි. ඒ දිනවල ඔවුන්ගේ මව ගිලන් හලේ බිත්තියක තැනූ සිදුරක් තුළින් ඇගේ ආහාර කොටස දියණියන් හට ලබාදී නිරාහාරව සිටියාය.
ඔක්‌තෝබර් 28 වැනි දින ඈන් සහ මාගරට් තවත් අටදහසක් කාන්තාවන් සමග ‘Bergen Belsen’ සිර කඳවුරට මාරුකොට යවනු ලැබූ අතර මව අවුෂ්විට්‌ස් කඳවුරේදී නිරාහාරවම මිය ගියාය. Belsen සිර කඳවුරේ දී ඈන් හට ඇගේ කිට්‌ටු පාසල් මිතුරියන් දෙදෙනකු වූ ‘හනෙලි’ සහ ‘නැනේ’ ද මුණ ගැසී තිබිණි.
1945 මාර්තු මාසයේදී කඳවුරේ සිටි 17,000 ක් සිරකාරියන් හට ටෛෆස් (typhus) නම් වූ උණ වසංගතයක් වැළඳුණි. මාගරට් සහ ඈන් දෙදෙනාම ටෛෆස් උණෙන් මිය ගියහ. ඈන් මිය ගොස් තිබුණේ බ්රිතාන්ය හමුදාවන් මගින් සිරකරුවන් ගලවාගන්නට දින කිහිපයකට පෙරාතුවය.
1945 අප්රේල් මාසයේදී බ්රිතාන්ය හමුදාව සිර කඳවුරුවල දුක් විඳින ජනතාව ගලවා ගන්නා විට නෙදර්ලන්තයෙන් ගෙන ආ අයගෙන් ඉතිරිව සිටියේ 5.000 ක් පමණි. ගෙන ආ මුළු සිරකරුවන් සංඛ්යාව 1,07000 ක් විය. එහෙත් පන්දහසක් වූ ගැලවුම් ලැබුවන් අතර ඔටෝ ෆ්රෑන්ක් ද සිටියේය.
රහස් නිවහනේදී ෆ්රෑන්ක් පවුල රැක බලාගත් අයෙක් ඈන් ලියූ සියලු දැ ඇගේ දින පොතද සමගින් ඉතා සුරක්ෂිත ලෙස තබා තිබුණේ නැවත ආපසු ආ දිනෙක ඇය වෙත දෙන බලාපොරොත්තුවෙනි. ඔටෝ ෆ්රෑන්ක් මහතා තම බාල දියණිය පිළිබඳව බොහෝ දැ දැනගත්තේ ඇගේ දිනපොත සහ අනෙකුත් සටහන් කියවීමෙන් අනතුරුවය.
ලේඛිකාවක් වන්නට ඇය තුළ තිබූ අභිමතාර්ථය අවබෝධ කොටගත් ඔහු ඈන්ගේ දින පොත මුද්රණය කිරීම සඳහා කටයුතු යෙදුවේ ය. එය සිදු කෙරුණේ පියාට අවැසි පරිදි සංශෝධනය කිරීමෙන් අනතුරුව ය. ලන්දේසි භාෂාවෙන් ලියෑවුණු එහි පළමු මුද්රණය නිකුත් වූයේ 1947 දීය.
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ඈන් ෆ්රෑන්ක් දිනපොත ජපානයේ පළමු මුද්රණයෙහි පමණක් පිටපත් ලක්ෂයක් අලෙවි විය. ඈන් ෆ්රෑන්ක් දිනපොත කිහිප වතාවක්‌ම උසාවියට ද ගියේය. ‘ඈන් ෆ්රෑන්ක්’ නම් දැරිය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගත යුතුයැයි පොත කියැ වූ බොහෝ අය බලපෑම් කළහ. අවසානයේදී ඔහු සිර භාරයට ගෙන ප්රශ්න කෙරිණි. මෙවැන්නක් වයස 13 ක 14 ක දැරියකට ලිවිය නොහැකි යෑයි ප්රසිද්ධියේ පැවසූ ගුරුවරයකුට විරුද්ධව
තවත් වරෙක ඈන්ගේ පියා නඩු පැවරුවේය.
1980 වර්ෂයේදී ඔටෝ ෆ්රෑන්ක් මියයන්නට ආසන්න දිනයකදී ප්රසිද්ධ නොකළ ඇයගේ දින සටහන් ඔහු විසින් ඈන් ෆ්රෑන්ක් පදනමෙහි හිටපු අධ්යක්ෂ වූ සුජික් (Sujik) නමැත්තෙකුට පවරනු ලැබිණි. 2000 වසරේදී ලන්දේසි අධ්යාපනික, සංස්‌කෘතික අමාත්යාංශය මගින් එකී පිටු පහ මිල දී ගනු ලැබුවේ පදනම වෙත ඇමරිකානු ඩොලර් 300,000 ක් ගෙවීමෙනි.
ඈන් සැඟවී සිටිමින් දිනපොත ලියූ ඇම්ස්‌ටර්ඩෑම්හි ‘ඈන් ෆ්රෑන්ක් නිවස් දකින්නට දෙස් විදෙස් ජනතාව දිනපතා දහස් ගණනින් ඇදී එති. ඇය වෙනුවෙන් කඳුලක් සුසුමක් හෙළන්නට ඒ කිසිවෙකුත් අමතක නොකරති. ඈන් ප්රාර්ථනා කළ පරිදිම ඇය මරණයෙන් පසු සදාකාලික ජීවනයකට පත්විය.
ඈන් ෆ්රෑන්ක් එදා කියූ ලෙස රංඩු වෙන එක පොඩි උන්ගේ සිරිතකි. ලොකු මිනිසුන් පොඩි දේවල් වලට රංඩු වී ලොකු දේවල් අහිමි කර ගෙන ඇත. පොඩි දෙයක්වත් ලබාගෙන නොමැත. මරණයේ ලේ ගංගා මත පිහිනා ගියද ජීවිතයක අගය නොදැනීම ඈන් ෆ්රෑන්ක් එදා දුටු ලෙසම ලොකු උන්ගේ පොඩි කම හැර අන් කුමක්ද?
ශානක මඩුෂාන් ලියනගම මහතාගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී #
නෙතු කවුළු පසු සටහන : හැමවිටම දයාබර කිටී යැයි ඈන් සිය දිනපොත ලිවීම ආරම්බයේ ආමන්ත්රණය කර ඇත්තේ ඇය මනසින් මවාගත් මන:කල්පිත ඇගේ මිතුරියකටය
තවද ඔටෝ ෆ්රෑන්ක් විසින් මුද්රණය සඳහා භාර නොදුන් ඈන්ගේ සටහන් සහිත කඩදාසි නෙදර්ලන්තයේ යුද්ධ ලියකියවිලි පිළිබඳ ආයතනයට බාරදුන් පසු ඒවා ෆොරෙන්සික් විශ්ලේෂණයට ලක් කෙරුණු අතර 1986දී නිකුත් වූ එහි ප්රතිඵල වලට අනුව එම අත් අකුරු ඈන්ගේ බවත් කඩදාසි, මැලියම් හා තීන්ත ඈන් ජීවත් වූ කාලයේ ඒවා බවත් සනාථ කරන ලදී
උපුටා ගැනීම: නෙතු කවුළු 