විශ්ව විද්යාලත් ඔන් ලයින් නිසා පුතා දැන් දිගටම ගෙදර. කොවිඩ් නීති නිසා කොහොමත් තවම එලියට යන්නත් බෑ . වෙනදට මම මගේ ඉස්පිරිතාල ගමන් බොහෝවිට තනියම ගියත් පුතාටත් ටිකක් එලියට යන්න පුළුවන් නිසා මම දැන් එයාවත් එක්ක යනවා.
පුතා එක්ක ගමන් යනකොට කම්මැලි නෑ. එක දිගට මොනවා හරි කියනවා. මිනිහට දවසක්ම උනත් ඔය කර්මාන්තෙ ඕනෙ නම් කරගෙන යන්න පුළුවන්. A/L කරන කාලෙනම් මගෙන් සෑහෙන්න බැනුම් ඇහුවේ ඔය නොනවතින කියවිල්ල නිසා. ඒකට ඔය අනික් පාර්ශවය කව්රු උනත් ප්රශ්නෙකුත් නෑ. අදුරන්න ඕනෙත් නෑ.
ඉතින් ඔන්න ගමන පටන් ගත්තා විතරයි.
“අම්මා දන්නවද අර ඩේවිඩ්යි , ඇනයි බ්රේක් අප් වෙලානෙ”
මේවා අන්වර්ථ නම් හොදේ.
ඒ පුතාගේ ඉස්කෝලේ යාළුවො දෙන්නෙක්. කොල්ලා ඔසී. කෙල්ල ආසියාතික. ඔය දෙන්නා පෙම්වතුන් වෙන්න කලින් අපේ ගෙදර අවස්ථා දෙකකදි ඇවිත් තියනවා.ඔවුන් පෙම්වතුන් වි ඇති බවත් පුතා මීට කලින් දවසක මට කියලා තිබුනේ.
මම පොඩ්ඩක් පොහොර දැම්මේ එතකොට කතාව දළුලා වැඩෙනවනේ.
ඒ මොකද දෙන්නා වෙන් වුනේ කියලා මම ඇහැව්වා.
අම්මා දන්නවද මේ දෙන්නා ඩේට් එකක් ගිහින්.එදාම ෆිල්ම් එකකූත් බලන්න ගිහින්. ඩේවිඩ් කියලා ඇනාට ඔයා ෆිල්ම් එකට ටිකට් ගන්න. මම කෑම ගන්නම් කියලා. ඔසියෝ එහෙම තමයි.හැම දේම දෙකට බෙදා ගන්නවා. කෙල්ල ටිකට් අරන්. කොල්ලා බර්ගර් එකකුයි, අල බැදපු එකකුයි ( ච්ප්ස්)අරගෙන.ඊට පස්සේ කියනවලු
අපරාදේ මෙච්චර වියදම් කරේ.අපි මේක බෙදාගෙන කමු කියලා මූ බර්ගර් එක කාලා කෙල්ලට ච්ප්ස් ටික දීලා.
තව දවසක හවස දෙන්නම කොල්ලගෙ ගෙදර ගිහින්. මෙහෙ ඉතින් ඕවා සාමාන්ය දේවල්නෙ. ඔසියො රාත්රී ආහාරය වේලපහින්ම ගන්නවනේ. කොල්ලගෙ අම්මා කෑම ලෑස්ති කරනකොට ඩේවිඩ් අහලා ඇනාටත් කන්න පුළුවන්නේ නේද? කියලා. කොල්ලගෙ අම්මා ගත් කටටම කියලා තිබුනේ
හතර දෙනාට යි කෑම තියෙන්නේ. ඒ නිසා එයාට දෙන්න විදියක් නෑ කියලා.ඩේවිඩ්ට නංගි කෙනෙකුත් ඉන්නවා.
ඔසියෝ ලෝබ බව මම අහලා තිබුනට ඒක හරියටම දැනගත්තේ එදා කියලත් පුතා කිව්වා.
(ඒත් මගේ දැනීමේ හැටියට නම් ඕනෑම රටේ ඇතිවන ව්යසනයකදී ආධාර ඉල්ලුවොත් දෙන්නේ කාටද කියලා හොයලා බලන්නෙත් නැතුව ඉතා විශාල ලෙස මුදල් ,බඩු භාන්ඩ ලබා දෙන්නෙත් ඔසියොම තමා.)
බලන්නකෝ මගේ යාළුවෝ අපේ ගෙදර ආවම අම්මා කොච්චර කෑම හදනවද. හදන්න බැරි නම් කඩෙන් හරි අරගෙන එනවා.කියලා පුතා කිව්වා.
මම කිව්වේ එහෙම තමයි අපේ රටවල මිනිස්සු කව්රු කොයි වෙලාවේ ආවත් තියන මොනවා හරි කන්න දෙනවා. නැත්නම් හදලා හරි දෙනවා.එහෙම දුන්නේ නැත්නම් අපේ හිතටත් හරි නෑ.
පුතා කිව්වා ඔතන තියෙන්නේ සංස්කෘතික වෙනස
(කල්චරල් ඩ්ෆරන්ස්) අම්මා.ඩේවිඩ්ට වුනේ ඇනාගේ සංස්කෘතිය ගැන අවබෝධයක් නැති කම.ඒ නිසා ඒ දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා.
එහෙම කියන්නත් බෑ. දැන් බලන්න ඔයාගේ මාමා ,ඒ කියන්නේ මගේ අයියා විවාහ වෙලා ඉන්නේ නැගෙනහිර යුරෝපීය කාන්තාවක් එක්කනෙ. ඔය දැන් අවුරුදු 30 කටත් වඩා ගොඩාක් සතුටින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නේ.
එතකොට ඔන්න කියපි ඒ වගේ සුවිශේෂී වෙන වෙලාවලුත් තියනවා.ඒ වුනාට ගොඩක් දෙනෙක් එහෙම නෑ කියලා.
ඔය විස්තරේ මට කියන්න කලින් දවසේ රෑ වරු ගානක් අපේ හාදයා කෙල්ලක් එක්ක කියෙව්වා. බැලින්නං ඒ ඇනා.ඔය වරු ගානම එයාගේ දුක අහලා.
ඕක අහන් ඉදලා පහුගිය දවසක මට අහන්න සිද්ධ වුනු සිද්ධින් දෙකකින් එකකුත් මම පුතාට කිව්වා.
ඒක නම් මහ රෑ චැට් කරන්න ගිහින් වෙච්ච ඇබැද්දියක්.මම නෙවේ. මම දන්න විවාහක ගෑණු ළමයෙක් අදුරන විවාහක පිරිමි ළමයෙක් එක්ක චැට් කරලා තිබුනේ මහ රෑ හිතවත් කමටත්,ඔන් ලයින් ඉන්නවා දැක්කත් නිසා. පිරිමි පාර්ශ්වයේ බිරිඳ ඒක දැකලා ප්රශ්න කරාම එයා බිරිඳට ඇත්ත කියලා නෑ. බිරිඳ ෆෝන් එක උදුරගෙන චැට් කරපුවා බලලා ෆයර් වෙලා. එතන නරක දෙයක් වෙලා තිබුනේ නෑ. නමුත් හස්බන්ඩ් බයටම වෙන්න ඇති වයිෆ්ට බොරු කියලා අහුවුනා.එතකොට වයිෆ් හිතුවේ මෙතන මොකක් හරි වෙන ගනුදෙනුවක් කියලා.
ඕක අහන් හිටපු පුතා මට කිව්වේ
අපෝ අම්මා මම ඔය රෑ එකට දෙකටත් චැට් කරන්නේ. ඒක මහා ලොකු දෙයක් නෙවේනෙ කියලා.
මම කිව්වේ එතන තියෙන්නෙත් සංස්කෘතික වෙනස තමා. අනික
ඔයාට තාම 18යිනේ. අර සිද්ධිය වුණු පාර්ශව දෙකම කසාදත් බැදලා ළමයිත් ඉන්න අයනේ කියලා.
පුත්රයා මට හොඳ උත්තරයක් දුන්නේ.
තමා අවංක නම් ඒ කෙනාට පුළුවන් වෙන්න ඕනේ පෙම්වතාට, පෙම්වතියට හෝ බිරිඳට, සැමියාට තමාගේ ෆෝන් එකේ පාස් වර්ඩ් එක දෙන්න. තමාගේ ෆෝන් එක බය නැතුව බලන්න අනික් කෙනාට දෙන්න. එහෙම දෙන්න බැරිනම් එතන ප්රශ්නයක් තියනවා තමා කියලා. ඔන්න ඉන් පස්සේ කියපි මම නම් කරන්නේ එහෙමයි කියලා.
එදාම තව දන්න කෙනෙකුත් කතා කරලා ඒ වගේම සිද්ධියක් කිව්වා. මුලින් කතා කලේ ආගිය තොරතුරු වලට. ඒත් එයාගේ දුක එලියට ආවේ ටික වෙලාවකට පස්සේ.ඒ කෙනාගේ ස්වාමි පුරුෂයා මේ වෙනකොට මිය ගිහින්. ඒත් එයා ජීවත් වෙලා හිටි කාලේ වෙනත් කාන්තාවක් සමග චැට් කරපු හා පරණ සිද්ධීන් මතක් කරමින් තවමත් තැවෙනවා. මට ගොඩක් වෙලා එයාගේ කතාව අහගෙන ඉන්නත් හිත නොරිදෙන විදියට මොනවා හරි කියන්නත් සිද්ධ වුනා.මොකද මම දන්නේ එයාගේ පැත්තේ කතාව විතරක් නිසා කාගෙවත් පැත්තක් ගන්නත් බැහැනේ. මම ඒ කෙනාගේ කතාවත් අහගෙන හිටියා කියලා පුතාට කිව්වා.
පුතා එකවරම කිව්වේ ප්රශ්නය මොක වුනත් කෙනෙක් දුකට පත් වෙලා ඉන්න වෙලාවට ඒ කෙනාගේ කතාවට ඇහුම්කන් දෙන එකත් එයාට කරන ලොකු උදව්වක් . ෂුවර් එකටම ඔයාගේ ජාන වලින් තමයි මටත් ඒ ගතිය ඇවිත් තියෙන්නේ කියලා ඒකත් මටම හැරෙව්වා.
අපි හැමෝටම ගොඩක් වෙලාවට හිතේ තදකරගෙන ඉන්න ප්රශ්න තියනවා. විවිධ බාහිර හේතූන් මත ඒවා කාටවත් කියන්නේ නෑ. තමාම ඒවාට උත්තර හොයමින් හිතෙන් තැවෙනවා.කාගේ හෝ ඒ ප්රශ්න, කුඩා වේවා, විශාල වේවා, වැදගැම්මකට ඇති හෝ නැති වේවා කොච්චර වෙලා ගියත් ඒ කෙනාගෙ හිතට වද දෙන ඒ කතාව කාට හරි අහගෙන ඉන්න පුලුවන්නම් ඒක ඒ කෙනාගේ මානසික සුවයටත් , හිත සැහැල්ලු කර ගන්නත් කරන උදව්වක් නෙවේද?
එතන තියෙන්නෙත් සංස්කෘතික වෙනසම තමා කියලයි මට නම් හිතෙන්නේ. අනුන් ගැන හිතලා, තමාට වන ලැජ්ජාව ගැන හිතලා,තමාගේ පවුල් ගැන හිතලා අපි වගේ ආසියාතිකයෝ හිතෙන් තැවෙනවා. මේ රටවල් වල කියන්න තියන දේ මූණටම කියලා එකට ඉන්න බැරි නම් ලැජ්ජාව ගැන හිත හිත ඉන්නේ නැතුව තමන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගන්නවා.
කතාවෙන් කතාවෙන් ගෙදරටත් ලංවෙලා තිබුනා. ඒත් අර කතාවේ ඉවරයක් නෑ.
ඔන්න කියපි අම්මා ඔය සංස්කෘතික වෙනස මට නම් ප්රශ්නයක් වෙන එකක් නෑ. මොකද මම ජපන් භාෂාව ඉගෙන ගන්න ගමන්ම ඒ රටේ සංස්කෘතියත් ඉගෙන ගන්නවනේ. සංස්කෘතිය ගැන අවබෝධයක් තියනවනම් ප්රශ්න ඇති වෙනවා අඩුයි කියලා.
මාව පොඩ්ඩක් ගැස්සිලා ගියේ මෙයාට පුදුමාකාර ජපන් පිස්සුවකුත් තියන නිසා.
උපුටා ගැනීම: Ajantha Desilva