කවුරු කොහොම නැතැයි කීවත් කොයි කොයි වීරයටත් ඇති බිරාන්ති ගැන මේ ඇත්තෝ නොදන්නවා නොවෙයිනේ. එහෙව් බයක් ඔන්න මටත් තිබුනලු. දැනුත් තියේලු. ඉස්සරහටත් තියේවි මයෙ හිතේ. ඔන්න ඔයි බය ගැන තමයි ආයුබොවන්ඩ අද මයේ කතාව.
ඔන්න ඉතින් මං පුංචි සන්දියේ අකුරු කොරාන්ටය කියලා හා හා පුරා කියල ගොඩ වුනේ අපේ ගමේ ඉස්කෝලෙට. ගෙදෙට්ට ළගත් නැති දුරත් නැති හරි අපූරු ඉස්කෝලෙ. මං දන්නා ඇත්තො හැමේකාලම
පැපොල්වත්ත ඉස්කෝලේ කිව්වට මොකෝ , ඔන්න මට නම් ඉස්කෝලෙ පේන තෙක් මානෙක පැපොල් ගහක් හම්බුනාය කියල නිච්චියක් නෑ අපේ ආයුබොවන්ඩ….අඩියෙන් අඩිය පොල් ගස් වැවිච්ච වත්තට පොල්වත්ත නොකියා පැපොල්වත්ත කීවම කටට හරි විනෝදෙලු..උරුක් කොර කොර කිව්වැහැකි නොවැ..
කොහොමින් කොහොම හරි ඒ කාලේ, කුකුළත් ඇහැරිලා නැති උදේ පාන්දර අම්මගෙ වදෙන් පොරෙන් නැගිටල අඩවන් දෑසින් ඇවිදන් යනවා දත කට මැද ගන්ට..කුනුකෙල පෙරාගෙන නාන කාමරේට ගොඩ වෙන මම ඒකෙ මුල්ලක උන්නු වොෂින් මැෂින් එක උඩත් ඔලුව තියාගෙන කුකුල් නින්දක් දාපු අණ්ඩපාලයෙක් කියල තමා එකල අපේ අම්මගෙ පුස්කොල පොත්වල සදහන් වෙලා තියෙන්නේ..මේ අති උත්තම පුරුද්ද නිසා හැම වෙඩින් එකටම පරක්කු වෙලා කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ තමයි අන්තිමේට උදේට වෑන්නෙක අල්ලන මෙහෙයුමට කල එළි බහින්නෙ. පාර දිගට දුවන ගමන් “අන්කල් මං එනවෝ” කියල මරලතෝනියක් දුන්නට මොකෝ මං එනකන් මග බලන් හිටිය වෑන්නෙකට නැග්ගහම තමා ඒකෙ සතුට. විලිලැජ්ජවේ සන්තෝසෙ බෑ කිව්වලු. ඒ කොයි වෙතත් හීමිච්චා වාගේ මුකුත් නොවුන ගානට ඉදගෙන හිස,උරස,කද ඉද්ද ගැසුවා සේ කෙලින් තබා කුමාරිහාමි ලීලාවෙන් ඉන්ට පුලුවන් හොද හැකියාවක් නොතිබ්බා නෙවේ ඕං..
දවසක් ඔය සුපුරුදු ක්‍රියාවලියම සිද්ද වෙලා මං ඇවිල්ල නැග්ගයි කියමුකෝ වෑන්නෙකට. මං පොඩි එකා ඔන්න මූණත් එක්ක බුම්බන් මනෝපාරක් ගහන් යනවා.. කහ පාටින් සුදු පාටින් ඉරි ඇදල හැඩ දාල තිබ්බ අපේ වෑන්නෙකට පුංචි එවුන් ඒ කාලේ කිව්වේ “කහ බිත්තරේ” කියලා. ඕකෙ ඉතින්, ඇහුවොත් බල්ලොත් බත් කන්නැති නවකතා, කෙටිකතා,පච කතා,බොරු කතා, මරලතෝනි, මලකෝලම්,කොක්හැඩලිලි,හින්ට් ගැහිලි කෙලකෝටියයි. අලි වංසෙන් හිටිය මගේ පුරුද්ද තමා ඔය කුනු ගොඩවල් සේරෝම කනේ දාගන්න එක. එදත් ඉතින් ඔය කතා අහන් යනවා මං වෙනදට වඩා හරි සතුටකින්. කොහොමින් කොහොම හරි ඇවිල්ලා බැස්සයි ඉස්කෝලෙට.
ගේට්ටුව ළග නිදන් හිටපු බල්ලගෙ නැට්ටත් පාගපු මං හිමින් සීරුවේ ගෑටුවා පන්තියට. කිව්වට මොකෝ ආයුබොවන්ට මට අඩිය තියා ගන්ටත් හරි අමාරුයි වාගේ.. වම් කකුල ඒක් අතට මේක් අතට හරෝලා අගර දගර සෝදිසියක් පෑව මං අඩිය අඩිය පන්තියටම ඇවිදින්. ඔන්න පන්තියේ ඉදපි මගේ කටකාර දගකාර පව්කාර යාලුවෝ.. සන්තෝසේ බැරුවා..උන් එක්කල කදේ දදා තෙල බෙද බෙද ඉන්න ගමන් කැරකෙව්ව ඇන්ටෙනාව හතර අතට.. මේන් බටු ඇට වගෙ අපේ පිරිමි ළමයි හරි හරියට එළියෙ වැඩ. කිව්වට ඇස් වහක් කට වහක් නෑ ඕං මිදුල් අතුගානවා,කුණු රොඩු පුච්චනවා.. බලන් ඉන්ට ආසයි. හරි සීදේවි දරුවො ටික. ඔය කොහොම නමුත් මයේ කකුලෙ අවුල තාමත් එහෙම්මමයි. සපත්තුවත් ටිකාක් හිරයි වගෙත්. ඕක අහපු මගෙ අතිජාත මිත්‍රයා යෝජනා කරපි “ගලවමුකෝ සපත්තුව” කියල. මාත් ඉතින් පුටුවක හරි බරි ගැහිලා වාඩිගෙන ඩොං ගාලා ගලෝපි සපත්තුව.
“සන්තානම් මෑණියනේ !!! රත්වුණෝ මයෙ ඉහ මොළ… ගැලුවනේ හීන් දාඩිය… කෑගහපි අති උච්චෙට… සපත්තුව ඇත මුල්ලක…”
ගලෝපු සපත්තුවෙන් පැනපි බොලේ තඩි ගෙඹි කුමාරයෙක් එළියට. අනේ අම්මෝ මං බයයි උන්ට.
කාටත් කන්කළු වෙන මයේ හූව ඇහිලා කොල්ලො කුරුට්ටෝ සේරමලා ඇවිදින් පන්තියේ. අනේ උන්ට හරි හිනා..”මෙන්න එක්කෙනෙක් ගෙම්බෙක් ගෙනල්ලා.. හූ.. බයගුල්ලී ගෙම්බටත් බයයි.. හූ..!” හින්ට් ගැහිලි වැස්සකට මාව තෙමිලා නෑවිල ගියා.(අවුලක් නෑ ඕව මට පුරුදුයි නොවැ)කොළු ගැටයො ටික මොකෝ කොරන්නේ ගෙඹි කුමාරයා ටකරං පොතු සිංහාසනේ වඩම්මං ගොහින් ගිනි පුජාවට. අනේ උන්ගෙ තියෙන එකම විනෝදෙට ඒ අහිංසකයා බිලි දීලලු ගිනි දෙයියොන්ට. පව් අසරණයා.. ඌටත් අනිච්චාවත සංඛාරා..අනේ පව් හාදුවක් ඉල්ලන් ආපු ගෙඹි කුමාරයෙක්ද කවුද දන්නෙ? අපරාදෙ චාන්ස් එක.
අන්තිමේදි ගෙම්බා හිටියා කියලා එදා මං සපත්තු ගලෝලා මුලු දවසම. අපේ ටීචර්ටත් බඩ අල්ලන් හිනා. ටීචර් කියනෝ “ඔය ගෙම්බා කන්ට නයෙක් ආවා නම් මොකද” කියල.. එයාලට නම් මොකෝ මමනෙ බය අප්පා.. එදා හවස පන්තිත් ඉදලා ගෙදර ගියේ කකුල් දෙකම නිර්වස්ත්‍රයෙන් අප්පුච්ච්ත් එක්කන් බයික් කට්ටෙ. හරී සතුටුයි.(මොකට කියනවද..)ඕං ඉතින් එදා වෙච්ච ගැස්සිල්ලට අයේ නම් මම නම් නෙවේ ගෙම්බෙක් දිහා ඇහැක් ඇරල බැලුවෙ.. පුංචි වුනත් සතා භයානකයිනෙ මල්ලි..
චතුරිකා අබේසේකර