කැම්පස් එක ළඟින් බහිනකොට රෑ හතත් පහුවෙලා.
මං හෙමින් හෙමින් හොස්ටල් එක පැත්තට ඇවිදගෙන යන්න පටන්ගත්තා.
වෙනදට නම් මං එනකල් සරලා මෙතන ඉන්නවා.
ඒ දවස් වල කරදරයක් වගේ දැනුණට අද මට සරලා නැතුව පාළු හිතුණා.
ඒ එක්කම මට එයා ගැන හරි ලෝබකමක් දැනෙන්න පටන්ගෙන තිබුණා.
නම වගේම තමයි සරලා හරි සරලයි.
වැඩි කතාබහක් නැති සරලා මාත් එක්ක ආශ්රයට වැටුණේ කවද ඉඳන්ද කොහොමද කියන එක ගැන මට කිසිම අදහසක් තිබ්බේ නෑ.මට ඒක මතක තියාගන්න ඕනේ වුණෙත් නෑ.
එයා වැඩි ලස්සනක් නොතිබ්බ සාමාන්ය කෙල්ලක්.
මට සරලා කියන්නේ අපේ බැජ් එකේ තවත් එක ගෑනු ළමයෙක් විතරයි.
හේතුවක් කියන්න දන්නේ නෑ ඒත් එයා නිතරම මගේ ළඟින්ම හිටියා.
මං මුලින් හිතුවේ එයා මට කැමැත්තෙන් හිටියා කියලා.
ඒක අමුතු දෙයක් නෙවෙයි සෑහෙන කෙල්ලෝ ගොඩක් මට කැමැත්තෙන් හිටියා.
ඒත් සරලා මට කැමත්තෙන් හිටියද නැද්ද කියලා දන්නේ එයා තමයි.
එයා මට එහෙම දෙයක් කියලත් නෑ.
මං කවදාවත් ඒ ගැන ඇහුවෙත් නෑ.
කුකුල් කේන්තිකාරයෙක් වුණු මාත් එක්ක ජීවත් වෙන එක එච්චර ලේසි නැතත් එයා මාත් එක්ක තරහ වෙලාම නෑ.
සරලා මගේ හැමදෙයක්ම හොයලා බැලුවා.
මං කෑවද බීවද,
අසනීප වුණාම බෙහෙත් ගත්තද
රෑ වෙන්න කලින් ගෙදර ගියාද
මේ හැමදේම එයා හොයලා බැලුවා.
මට වෙලාවකට එයාව මහ කරදරයක් හිසරදයක් වගේ දැනුණේ.
එක අතකට එයාට තිබ්බේ මං ගැන එච්චර හොයන්නැතුව ඉන්න.
එතකොට මිනිස්සුන්ට අගයක් නැතුව යනවා.
දවසක් අහම්බෙන් ඉරිදා හවසක අපි දෙන්නා බස් හෝල්ට් දී හම්බවුණා.එදා ඉඳන් මං එනකල් ඉරිදා හවසට බස් හෝල්ට් එකේ ඉන්න සරලා පුරුදු වුණා.
ඒක මට විශේෂ සතුටක්වත් දුකක්වත් ගෙනාව දෙයක් නෙවේ.
අපි එකට ඇවිදගෙන ගියා.
එයා මගෙන් අහන දේකට උත්තර දෙනවා ඇරෙන්න එයාගෙන් මං කිසි දෙයක් ඇහුවෙත් නෑ.
මට එහෙම අහන්න උවමනාවක් තිබුණේ නෑ.
හොස්ටල් එක ගාවට යනකල් ම මම වචන දහයකට වඩා කතා කරන්නෑ.
සමහර වෙලාවට මං කාට හරි යාලුවෙකුට කෝල් එකක් ගන්නවා.
එතකොට සරලා තමන්ගේ පාඩුවේ මට සමාන්තරව ඇවිදගෙන යනවා.
හොස්ටල් එක ගාවදී යන්නම් කියලා පාර පනිනවා.
මං ඉන්නේ සතුටින්ද කේන්තියෙන් ද දුකින් ද අසනීපෙන් ද කියලා සරලා මගේ මූණ බැලුව ගමන් දැනගන්නවා.
මගේ ළඟ ම යාලුවෝ කාටවත් එහෙම මගේ හැඟීම් තේරුම් ගන්න බෑ.
මට සරලා ගැන පුදුම හිතිලා තියෙනවා ඒ වගේ දවස්වල.
සරලාගේ මූණේ කවදාවත් හැඟීම් දැනීම් තිබ්බේ නෑ .
සමහර විට මං එයා දිහා හරියටම බැලුවා නම් ඒ දේවල් මට පේන්න තිබ්බා.
මං නිකිණිට කැමතියි කියලා මුලින්ම දැනගත්තෙත් සරලා.
නිකිණි හරි හැඩයි.
සමාජශීලියි.
මට හොඳටම ගැලපෙන්නේ එයා කියලා මට හිතුණේ.
පසන් නිතරම නිකිණි දිහා බලාගෙන ඉන්නවා මං දැකලා තියෙනවා.
ඔයා එයාට කැමතියි නේද!
සරලා ඒ ටික කිව්වේ ඉරිදා හවසක හොස්ටල් එකට යන ගමන්.
එදයින් පස්සේ වෙනදට වඩා මං සරලා එක්ක කතා කළා.
මොකද නිකිණිට මං කැමතියි කියලා දැනගෙන හිටියේ සරලා විතරයි.
මං පිස්සුවෙන් වගේ නිකිණි ගැන කියවද්දී සරලා කිසිම දෙයක් නොකියා අහගෙන හිටියා.
මං නිකිණිට ලිව්ව පළවෙනි ලියුම සරලා තමයි මුලින්ම කියෙව්වේ.
ඒක කියවලා සරලා හිනාවුණා විතරයි.
නිකිණි මට කැමති නෑ කියලා කිව්ව දවසෙමයි තරංග සරලට කැමතියි කියලා තිබ්බේ.
සරලා තරංගට කැමති වුණේ නෑ කියලා ඇහුවම මං පුදුම වුණා.
තරංග හොඳ කොල්ලෙක්නේ…
ඇයි අකැමති!
මං පළවෙනි වතාවට සරලාගෙන් එහෙම දෙයක් ඇහුවේ.
මට හදිස්සියක් නෑ…
ඒකයි.
ඊට කලින් ගෙදර අය ගැන බලන්න ඕනේ..
සරලා එහෙම කියලා හිනාවුණා.
නිකිණි මට අකමැති වුණා කියලා මං කිව්ව වෙලාවෙත් සරලා වෙනදා වගේම සද්ද නැතුව මං දිහා බලන් හිටියා.
හරි කෙනා හරි කාලෙට හම්බවෙයි.
හදිස්සි නොවී ඉන්න…
සරලා ඒ ටික කිව්වේ මං එතනින් යන්න හදද්දී.
නැන්දට අසනීපයි කියලා එක හවසක සරලා කැම්පස් එකෙන් පිටත් වුණේ හරි හදිස්සියෙන්.
මට යන්නම් කියන්නම එයා මං එනකල් ගේට්ටුව ළඟට වෙලා හිටියා.
නැන්දට අසනීප වෙලා..
මං යන්න හදන්නේ..
ඉතින් නැන්දගේ ගෙදර අය ඉන්නේ.ඔයා ඇයි යන්නේ.?
මට එකපාරටම එහෙම කියවුණා.
මගේ අම්මයි තාත්තයි නෑ..නැන්දයි ආත්තම්මයි ගාව මං ඉන්නේ.
ආත්තම්මට තනියෙන් අමාරුයි.මං යන්න ඕනේ…
සරලගේ මූණේ ලොකු වේදනාවක් තිබ්බේ ඒ ටික කියද්දී.
එච්චර ළඟින් ආශ්රය කරලත් ඒ ළමයගේ ගෙදර විස්තර ඇහුවේ නැති එක ගැන මට ලැජ්ජා හිතුණා.
නැන්දගේ අසනීපෙ ගැන අහන්නවත් සරලට ගෙදර යන්න අතේ සල්ලි තියෙනවද කියලා අහන්නවත් මට මතක් වුණේ නෑ.
මං කිව්වේ හා හොඳයි.ගිහින් එන්න කියලා විතරමයි.
දැන් මතක් වෙද්දී හිතෙනවා එයා ඊට වඩා දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්න ඇති කියලා.
අඩුම තරමේ බය වෙන්න එපා හැමදේම හරියයි කියලවත් මට කියන්න තිබුණා.
සරලා නැතුව මට පාළුයි කියලා මට දැනුණේ එයා එදා ගියාට පස්සේ.
මට සරලා විශේෂයි නේද,
ඒ කෙසේවෙතත් එයාට මාව විශේෂයි නේද කියලා මට හිතුණා.
ඒත් මං මෝඩයෙක් වගේ එයාගේ හිත රිද්දුවා නේද කියලා මට මතක් වුණා.
මං එයාට කැමතියි කියලා මට තේරෙන්න ගත්තා.
වෙනදට මගේ හැමදේම හොයලා බලන සරලාගේ අඩුව මට තදින්ම දැනෙන්න ගත්තා.
මං එයාට ආදරෙයිද?
දෙතුන් පාරක් කෝල් ගත්තත් සරලා කෝල් එක ගත්තෙත් නෑ.
නැන්දට හුඟක් අමාරුද දන්නෑ.
මා එක්ක තරහ වුණාද දන්නෑ.
ඒත් සරලා කවදාවත් මා එක්ක තරහ වෙලා නෑ.
දවස් දෙකකට විතර පස්සේ අපිට ආරංචි වුණා සරලගේ නැන්දා නැති වුණා කියලා.
සරලා දකින්නත් එයාගෙන් සමාව ඉල්ලන්නත් මට ලොකු උවමනාවක් තිබ්බා වුණත් මට එදා මළගෙදර යන්න බැරි වුණා.
මට යාළුවෙක් එක්ක වෙන ගමනක් යන්න තිබුණා එදා.
ඒත් ඇත්තටම ඕනෙකමක් තිබ්බා නම් ඒ ගමන කැන්සල් කරලා හරි මළගෙදර යන්න තිබුණා.
පහුවදා මං මළගෙදර ගියා.බාගෙට හදපු පොඩි ගෙයක් ඒක.
සෙනඟ අස්සේ සරලාව හොයන එකත් ලේසි නෑ.
අඳුනන කවුරුත් ඇත්තෙත් නෑ.
මං පුටුවක් ඇදගෙන අයිනෙන් වාඩිවුණා.
මචං දැන්ද ආවේ…
හුරුපුරුදු කටහඬක් ඇහුණු නිසා මං වටපිට බැලුවා.
තරංග! උඹ මෙහෙ?
ඔව්..
සරලට මේවා තනියෙන් කරගන්න අමාරුයිනේ..මං නතර වුණා ඒ නිසා ඊයේ ආව ගමන්!
ගෙදර පිරිමියෙක් ඉන්න එක හොඳයි නේ.
මට ලැජ්ජාවක් දැනුණේ සරලා වෙනුවෙන් මොකුත් නොකළට.
පුරුදු හිනාවෙන්ම සරලා මං දිහා බලාගෙන හිටියා.
එදා මගේ අතේ සල්ලි තිබ්බේ නෑ ගෙදර එන්න.පර්ස් එක හොස්ටල් එකේ දාලා ඇවිත් කලබලේට.
මං බස් හෝල්ට් එකේ ඉද්දී තරංග තමයි ගෙදරටම ගෙනත් දැම්මේ.
මළගෙදර වැඩ සේරටම උදව් කළෙත් මෙයා..
තරංග හිටියේ නැත්තම් අනේ මන්දා..
ටික වෙලාවක් අමාරුවෙන් ගත කරගත්ත මං ආපහු එන්න ආවා.
තරංග එහෙ මෙහෙ දුව දුව මළගෙදර වැඩ සේරම කරට අරන් කරන හැටි මම දැක්කා.
සරලයි ආත්තම්මයි දෙන්නට ඒක ලොකු උදවුවක් බව මට තේරුණා.
ඊට පස්සේ ඉරිදා හවසට සරලා හොස්ටල් එකට ගියේ තරංග එක්ක.
සරලා වෙනදා වගේම මා එක්ක කතා කළත් ඒ කතාවේ මොකක්ද වෙනසක් තිබුණා.
සරලා තරංගට කැමැත්ත දුන්න බවත් ඉස්සෙල්ලම කිව්වේ මට.
ඒ වෙලාවේ එයාගේ මූණේ ඇඳුණු හිනාව මට තාම මතකයි.
සරලාගේ හිනාව හරි ලස්සනයි කියලා මට පළවෙනි වතාවට හිතුණා.
ඈත තිබුණු හඳයි තරුයි දිහා බලන් ඉද්දී ළඟ තිබුණු පහන මට මඟහැරිලා……
උපුටා ගැනීම: Shehani Malsha Rathnayake