ඇම්බැට්ටෙන් ඉන්න කාලේ ඉදන්ම මායි සරූයි රංජියි හොඳම යාලුවෝ.සරූ කීවට ඇත්ත නම සරස්වතී. ඒ වගේම තමා ඉතින් හරිම හැඩයි, හිනාවෙද්දි කම්මුලේ වල හැදෙනවා. ඉන ගාවට දිග කොණ්ඩේ කරල් දෙකට බැඳලා, ඈතින් එද්දි නිකන්ම තොටගමුවේ හාමුදුරුවන්ගේ සිසිවන උවන කවිය මතක් වෙනවා..
පංතියෙ කුප්ප වැඩ සේරම වගේ මගෙයි රංජියේ අතින් වෙන එකයි ඒවා අහු උනාම සරූ අපිව බේරගන්න එකයි හැමදාමත් වගේ සිද්ධ උනා. සරූ ගේන බත් එක අපි තුන්දෙනාට හොදටම ඇති උනා. ඒ වගේම තමා මට හරි රංජිට හරි විශේෂ කෑමක් හම්බුනොත් කොටසක් අපි සරූටත් ඇන්න ගියා.
එයාටත් එහෙම දෙයක් හරි පලතුරක් හරි හම්බුනාම අපිට ගෙනාවා. ඒ ගේන කෑමෙන් හොඳම කොටස රංජිට දීලා ඉතුරු ටික මට දුන්නත් කවදාවත් මට සරෑ ගැන තරහක් හිතිලා නෑ..
හිස් කාලච්ඡේද වල සරූ අපට පාඩම් කියලා දෙනවා. ගණන් හදන්න දෙනවා. වැරදෙන හැම පාරම පන්න පන්න හුණුකොට්ටෙන් ගහනවා. වැඩිපුරම ගුටිකන්නෙත් මංම තමා.
සරූ එන්නැති දවසට මුලු පංතියම පාලුයි. අමුතු මූසල කමක් එක්ක කාලකන්නි හැඟීමක් දැනෙනවා. ඒත් රංජි නම් කියන්නේ සැපේ හිටියෑකි ගුටිකන්න ඕන නෑනේ බන් කියලා. ඒත් මං ඊලඟ දවස වෙනකන්ම ඇඟිලි ගනිනවා.
සරූයි රංජියි දෙන්නම විභාගේ පාස් උනත් මං ගණන් පේල් උනා. සරූ නම් කීවෙම ණයට කරමු කියලා. තාත්තත් නැති ගෙදර අම්මට නැහෙන්න බැරි හින්දත්, නංගියි මල්ලියි තාම ඉගෙනගන්න පටන්ගත්තා විතරයි හින්දත් මං වැලි ගොඩ දාන්න ගියා.
ඉස්සර වගේ නැතත් අපි සතියකට දෙසැරයක්වත් හම්බුනා. අපේ තිප්පොල ගඟේ ගල්තලාව උනා. ඒ වෙලාවට සරූ සිංහල කවි රංජිගෙන් පාඩම් ගත්තා. සරූ කවි කියද්දි හරිම ලස්සනයි. ඒ දිහා මං වශී වෙලා බලන් ඉන්න විත්තිය උන් දෙන්නා ඇරෙන්න ගඟේ මාලු සේරම දැනන් හිටියා.
කවි මතක නැති උනාම සරූ රංජිව ගඟට තල්ලු කරනවා. ඌ අපි දෙන්නවම වතුර ගහලා නාවනවා..ගෙදර යන්නේ ඉතින් තෙමිච්ච කුකුල්ලු වගේ.
ඒ දෙන්නම කැම්පස් තේරුනාම මට සරූ හම්බුනේ මාසෙකට සැරයක් විතරයි. මං එයාට කොච්චර අදරේද කියලා තේරුනේ ඉතුරු දවස් 29 ගෙවාගන්න කාපු කට්ටෙන්..
හිස් හැඟීමෙන් පිරුණු කාලකන්නි දවස් ගණනාවකට පස්සේ එයා පුරුදු තැනටම එනවා. ඒ දවසට ඉතුරු කරගත්ත සොච්චමෙන් මොනවා හරි කෑමක් අරන් යන්න පුරුදු උනා.ඒකෙන් රංජිට ලොකු කෑල්ලක් දීලා පොඩි කෑල්ල මට දෙන්නේ මං අරන් යන හින්දා කියලා මං හිත හදාගත්තා.
දවසක් රංජි කෝල් කරලා, ” මාර වැඩේ බන් සරූ මට ආදරෙයි කීවනේ, මට නිකන් පිස්සු වගේ “කිව්වා.
තත්පර ගානකට පපුව නතර වෙනවා දැනුනත් ” ඉතින් උබ මොකද කීවේ කියලා වචන ටික ගැටගහන්න පුලුවන් උනා.
මාත් කැමතී කියනවා බන්, පොඩිකාලේ ඉදන් එකට හිටපු එකීනේ “
“මචං මං පස්සෙ ගන්නද අලුත් ඕඩර් එකක් ආවා” ඌ හා කියද්දිම මං පෝන් එක විසන්ධි කරලා පැත්තකට දැම්මා.
ගඟ මැද්දටම පීනලා ඇතිවෙනකන් අඩලා ගොඩට ආවා. ඒත් හදවතේ හැම ඉඩම සරූ අරක්ගෙන තිබ්බා..
පස්සේ කාලෙක උන් බැන්දා. හැමෝටම මං බදින්නැති එක ප්රශ්නයක් උනා. ඒක අහන හැමොටම හිනාවක් විතරක් දුන්නා. ඒ හැමපාරම සරූගේ ඇස් දෙක මං ඉස්සරහ පෙනිලා නොපෙනිලා යන එක පුරුද්දක් උනා.
මං මනම්පිටියට ආවා. ගමට ගියාම සරූයි රංජියි හම්බෙන එක හීං රිදුමෙන් පටන් අරන් මුලු හදවතම කකියනවා කියන එක අත්දැකීමෙන් දන්න හින්දා සල්ලි විතරක් ගෙදරට යැව්වා. සරූට අවුරුදු 5ක් ගිහිනුත් තාම ලමයි නැති විත්තියත් රංජී බීමට ඇබ්බැහි වෙලා කියලත් කනින් කොනින් ආරංචි උනා.
දවසක් සරූගෙන් ආපු ඇමතුමක් හින්දා මට ආපහු ගමට යන්න උනා. රංජි හොයනවා දැක්ක පාරද මන්දා සරූ එයා නෑ සුනිල් කියලා මං ළඟට ආවා. ඇස් දෙක හොඳටම ඉදිමිලා දැකපු මං
“අනේ ඇයි සරූ මේ,” කියලා අහද්දිම
මගෙ පපුවට බර උන සරූ හොඳටම අඩන්න ගත්තා. මට එයාව තුරුලු කරගන්න කියලා හදවත කෑ ගහලා කීවත් එයා මට අයිති නැති හින්දා මාව පාලනය කරගත්තා. ඔලුව විතරක් අතගෑවා..
අපි හිතනවට වඩා ගෑණු හිත් හරි අමුතුයි බන්. උන්ට තියන ඉව පුදුමාකාරයි. ඒක තේරුම්ගන්න ඊලඟට ගෙවුන තත්පර කිහිපය මට ඇති උනා.
” සුනිල් මං දන්නවා ඔයා මට ඉස්සර ඉදන්මආදරේ කරා කියලා.මං දැකලා තියෙනවා වරු ගනන් මං දිහා බලන් ඉන්නවා. මාත් ඔය දෙන්නටම ඒ වගේම ආදරේ කරා. හැමදෙයක්ම බලද්දි රංජිගේ තරාදිය බර වැඩි උනා. මට සමාවෙන්න සුනිල්. “
හැමොටම රහසින් හංගන් හිටපු කතාව මගේ ඉස්සරහ දිගෑරෙද්දි මට කට උත්තර නැතුව ගියා.
මගෙ කකුල් දෙක අල්ලලා බදාගත්ත සරූ” අනේ පිංසිද්ධ වෙයි සුනිල් මට මේක කරලා දෙන්න, මට ආදරේ කරානම් මට මේක කරලා දෙන්න. මට තවත් රංජි බීලා නාස්තිවෙනා බලන්න බෑ දෙයියනේ.දරුවෝ නැත්තේ එයාගේ ප්රශ්නයක් හින්දා කියලා මං කොහොමද එයාට කියන්නේ. පපුව පැලිලා මැරෙයි සුනිල්… එයා…”
සරූගේ කඳුලු දකින්න බැරි එක පිරිමියෙක් උන මට එදා සරූගේ යෝජනාවට කැමතිවෙන්න සිද්ධ උනා.
ඒ විදිහට ජානමය තාත්තා මං උන නම දුන්න තාත්තා රංජී උන පුතෙක් සරූට ඉපදුනා. එදයින් පසුසේ ගමට යන එක කලාතුරකින් සිද්ධ උනා.
අහම්බෙන් දවසක රංජිට මාව හම්බෙලා ගෙදර එක්ක ගිහින් අඩියක් ගහන්න පටන්ගත්තා. සරූ එදා ගෙදර නොහිටපු එක මට සැනසීමක් උනා. රංජිට ටිකක් වැඩි හින්දා ඇදේ හාන්සි කරලා එන්න හදද්දිම ” මේ තමා බන් මගේ අන්තීම බීම, ආයේ මං බොන්නෑ බං..
සුනිලෝ, උබට ජාතී ජාතිත් පිං බන්. අපි දැන් දෙයියනේ කියලා සතුටෙන් ඉන්නවා. මේ ලඟදි කරපු ටෙස්ට් එකකින් මං මදසරු කෙනෙක් කියලා ඔප්පු උනා..
ඒ වෙලාවේ මට දුක හිතුනේ නෑ බන් සතුටු හිතුනා…
ඒත් මගෙ ජීවිතේ තියෙන තුරාවට මං සරූගෙන් අහන්නෑ බන් මයෙ කොල්ලගේ ඇස් උබේ වගේ උනේ කොහොමද කියලා..”
මගේ අත් දෙක ඉබපු රංජී ඇඳට වැටුනා.
තවත් මට එතන ඉන්න බැරිතරමට ඒ වචන මාව රිදෙව්වා. අන්තිමපාරට ගම දිහා බලලා මං බස් නැවතුමට පය ඉස්සුවා..
ඈතින් රංජි සිංදු කියනවා ඇහුනා.
” ඇයි මස්සිනේ පෙම්කලෙ අපි එක මලට…..”
කියන පදේ මට ලාවට වගේ ඇහුනා..
උපුටා ගැනීම: නි ශ්