සරුවත් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගමේ පොළ තියෙන්නෙ ඉරිදා උදේට.ඉස්සර අම්මත් එක්ක පොලේ යන්න එසේ මෙසේ ආසාවක් නෙමේ තියෙන්නෙ.ඉතින් ඕන් එල්ලීගෙන යනවා. යනගමන් මම ප්ලාස්ටික් කූඩෙ වන වනා යන්නෙ .ඇයි මුකුත් නෑනෙ.
පාරේ අයිනෙ දිගටම තියෙන්නෙ රෙදි වෙළදාම.පාට පාට මල් වැටුන රෙදි දිහා මම හැරි හැරී බලනවා.කොණ්ඩ කටු,ලේන්සු, බාල කියුටෙක්ස්,වීදුරුවළළු,පාට පාට ඇට මාල තියන තොරම්බල් කඩේ ගාවින් යද්දි මගේ ගමන තවත් බාල වෙනවා. අම්මගෙ වැලමිටෙ එල්ලිලා ඉන්න හින්දා ඉබේ ඇදෙනවා පස්සෙන්.නැත්තං මග තමා.මටයි අක්කටයි අත් දෙක පිරෙන්නම වීදුරු වළළු තිබුනත් ආසාවෙ නම් අඩුවක් නෑ.මට මතකයි ඒ දවස් වල අර වයර් රෝලක් වගේ ඇදෙන වලලු.ටිකිස් ගාලා පොඩ්ඩ බැරිවෙද්දි කැඩෙනවා. ඒත් ඒව දිහා කට ඇරන් බැළුවට ගෙදරට ඕන අඩුම කුඩුම ටික අරන් ඉන්න එපෑයෑ සේරටම කලින්.
අම්ම ඉස්සර වෙලාම යන්නෙ තුනපහ බඩු ගන්න.වටේට තියන ලොකු උරි වල සේරම තුන් පහ ජාති ,කඩල,කව්පි,මුං ඇට,උම්මලකඩ තියාගෙන මුදලාලි මැද්දෙ.එයාට සහයට ඩැනී කෙනෙකුත් ඉන්නවා.ඔන්න අපේ වාරෙ ආවහම අම්ම මතකෙන් කියනවා සූදුරු පනහයි,කහ පනහයි,මිරිස් දෙසිය පනහයි…දිග බඩු ලැයිස්තුවක්.අම්ම කියන එකම මුදලාලිත් ආපහු කිය කිය තමා බඩු කිරන්නෙ.එක එක ප්රමාණයේ කරදහි ගොටු වටේට තියනවා. මම ආසම ඒ ටික බලන් ඉන්න.තරාදියෙ පැත්තක බරට පඩිය අනික් පැත්තෙ ගොටුව.ගානට අඩු වැඩි තුලනය කරල අතට ගන්න ගොට්ට ඔතන්නෙ ගෝනි නූලෙන්.එහාට මෙහාට වට ගහල අන්තිමට දබර ඇගිල්ල යි,මාපට ඇගිල්ලයි එකට තදින් පුරුද්දල ටකස් ගාල ගෝනි ලණුව ගස්සලා කඩනවා. එහෙම ඔතන ගොටු වේවැල් කූඩෙකට දානවා.(.ඔය මුල් ටික ගෙදර ගෙනිච්චම ලිහල බෝතල් වල දාන්නෙත් මම.මොකද පත්තර පිටු කියවන්න ඒ දවස්වල ඉදලම මට උනක් තිබ්බා.)
“එච්චරද නෝනා?”..මුදලාලි එහෙම අහන්නෙ ගාන හදන්න කනට ඉහළින් ගහන් ඉන්න පෑන අතට ගන්න ගමන්. ඔන්න අපේ අම්මට ආයෙ මොනාහරි මතක් වෙනවා.
“පපඩම් පැකට් දෙකකුත් දාන්න”
ඊළගට මගෙ වාරෙ.මම මල්ල අල්ලන් ඉන්නවා.මුදලාලි ගාන හයියෙන් කිය කිය මුල් ටික මල්ලට දානවා.සමහර වෙලාවට මුදලාලිට ම හොයාගන්න බෑ ඔතපු දේවල්.ඇගිළි වලින් අල්ලලා අදුන ගන්නෙ..පෑන් තුඩ ඉලක්කම් උඩ තියං තිය ගාන එකතු කරනවා.දෙපාරක් විතර එකතු කරලා ගාන කියනවා.ඔන්න අම්මා ඉස්සර වෙලාම ලොකු කොලේ මාරු කරගන්නෙ එතනදී.මුදලාලිගෙ සල්ලි තියෙන්නෙ එලලා තියන ගෝනි කට ඇතුලෙ.ගෝනි කට උස්සලා සල්ලි දාල ඉතුරු දෙන්න යන කොට මට සල්ලි කොළ පේනවා.මට හිතෙනවා ඉතින් මේ ලෝකෙ වැඩියෙන්ම සල්ලි තියෙන්නෙ තුන පහ මුදලාලිට කියලා. මෝඩ කෙල්ල නේහ්…
ඊට පස්සෙ එළවළු.අම්ම අල, ලූණු තෝරද්දි මමත් උදව් වෙනවා.අලනම් ලොකුත් නැති පොඩිත් නැති අල.එකම ප්රමාණයෙන් ගත්තම තම්බන්න ලේසියි.අම්මගෙන් ඉගෙන ගත්තෙ එහෙම.එක එක ප්රමාණයෙන් තියෙද්දි සමහර එව්ව ඉක්මනින් තැම්බෙනවා.සමහර එව්ව වෙලා යනවා.අම්මා මගේ ප්රශ්න වලට උත්තර දෙනවා අල තෝරන ගමන්.කොළ පාට වෙලා තියන එව්ව එපා,කැපිලා තියන එව්ව එපා..මමත් ඉතින් ඒ පිළිවෙලට තෝරනවා.සමහර වෙලාවට අතේ පස් තැවරිලා.මම ඇගිලි වල තැවරිලා තියන පස් හොර්රේ..න්..සිමෙන්ති කණුවෙ හෙමිහිට අතුල්ලන්න බලනවා.හපෝ මුළු කනුව පුරා හුණු ඇගිළි පාරවල්.හරියට චිත්ර රටාවක් වගේ.බුලත් කද්දි ඇගිල්ලෙ තියන වැඩිපුර හුණු ඩිංග සෝරෝම අතුල්ලන්නෙ ළග තියන කනුවෙනෙ.මං ඉතින් හෙමින් සීරුවෙ ගවුමෙන්ම පිහදාගන්නවා.
ඔන්න ඊළග රවුම මාළු කරවල.යන්න හොරම තැන.අම්ම මාව දන්න කියන වෙළෙදම් කරන නැන්ද කෙනෙක් ගාව නතර කරලා යන්නෙ.බඩු බෑග් එකත් ළගින් තියලා.ඉතින් මම වෙලෙන්දිගෙ දුව වගේ ළගට වෙලා ඉන්නවා.
දැන් තමා ආසම හරිය.අම්මගෙ කන දෙපැත්තෙන් දාඩිය බේරෙනවා.බර බෑග් එකයි,මාළුයි අම්මගෙ අතේ.අනික් අඩුම කුඩුම මගේ අතේ.ඉදුණු කෙහෙල් ඇවරියෙන් පස්සෙ ගන්නෙ පැණි රස කෑම.පුහුල් දෝසි එක්කො බූන්දි.සමහර දවසට අර බටර් බනිස් .අපි ඒ දවස්වල කිව්වෙ බුරි බනිස් කියලා. හිනාවෙන්න එපා අනේ.ඇත්තමයි.ඒ ලොකු බන් එක බුරියක් වගේ.කට්ටියටම ඇතිවෙන්න කෑවහැකි.ඔය ටිකත් ගත්තට පස්සෙ දැං හොද ගණන්.
ඔන්න අවසාන අංකෙ.සරුවත්.නිකුලස් මාමාගේ සරුවත් වලට ගහන්න අද වෙනකං සරුවත් එකක් මට බොන්න ලැබිලා නෑ.මම පැනගෙන පොලේ එන්නෙ ඕක බොන්නමයි.සරුවත් නිකුලස් මාස ගාව කොයි වෙලෙත් ලොකු පොඩි භේදයක් නැතුව හත් අට දෙනෙක් සරුවත් බොන්න ඉන්නවා.ආපු පිළිවෙල නිකුලස් මාම ඇහෙන් මැනගෙනද මන්ද ඉන්නේ.සරුවත් බොනවා වගේම රසවත් දෙයක් තමා ඒ හැදිල්ල බලං ඉන්න එක. ඔන්න ලොකු වීදුරු ටික පෙළට.ඒව ටික වතුර බේසමක ඔබලා ගන්නෙ.දිය සීරාව වීදුරුව වටේට.ඉස්සරවෙලා පොඩි කරපු අන්නාසි හැන්ද හැන්ද.ඊළගට කස ඇට හැන්ද හැන්ද.ලොකු ජෝගුවෙන් වතුර දාන්නෙ වීදුරුවෙන් අඩකට ටිකක් වැඩියෙන් හිටින්න .සීනි සිරප් එක්ක ,රතුපාටින් වත් කරන්නේ ෆලූඩා සිරප්.ඒක දාන්නෙ පුංචි සිදුරක් තියන බෝතලේකින්. හරියට අයිසින් කරනවා වගේ වට දෙකක් කරකවනවා.රතු පාට සිරප් අන්නාසි කෑලි යි කස ඇටයි එක්ක ලතාවකට මූ වෙනවා. නිකුලස් මාමා මේසෙ යටට පාත් වෙලා ලී යතු කුඩු ගොඩේ තියන ලොකු අයිස් කැටේ පාදනවා.පිහියෙන් ගහල කෑල්ලක් කඩනවා.යතු කුඩු හේදෙන්න වතුර බාල්දියෙ දෙතුන් පාරක් ඔබනවා.රිදී පාටට දිලිහෙන අයිස් කැටේ අල්ලෙ තියාගෙන වීදුරු පේලිය උඩින් අල්ලලා “ටකස්” එක පාරයි දෙපාරයි. අයිස් කැටේ කුඩේ කුඩු.වීදුරු සේරමන්ටම දාගෙන දාගෙන යනවා.ඔතනට වෙනකං මගේ දිව බාගෙට ගිලිලා තියෙන්නෙ.හැබැයි අයිස් කැටේ කුඩු හතර අතට විසිවෙන කොට මුනෙ වදිනවා නේද..මගේ අම්මා එහෙම සනීපයක්.ඒ කාලෙ මම හිතාගෙන හිටියේ අයිස් වැටෙන රටකට යනවා කවද හරි කියලා.ඔන්න ඊළගට යාරෙට අදිනවා.මගේ ඇස් උඩ ඉදල පහළට වැටෙනවා.ම්..ම්..ඒ සරුවත් සුවඳ.දැනුත් එනවා වගේ.කෙළත් ගිළුනා.නිකුලස් මාම හිනා කටක් පුරවාගෙන රතු,රෝස පාට සරුවත් වීදුරුව දික් කරද්දි මගේ මූන කොහොම තියෙන්න ඇද්ද..? පෙරේත කම කොයිතරම් ද කියනවනම් ඒක බොනවා නෙමේ ලෝනවා.
“.ඉක්මනට බොන්න ළමයෝ ‘අම්ම රහසින් කියනවා.මං වටපිට බලද්දි මං වගේම සරුවත් බොන්න ආපු පොඩි උන් උන්ගෙ එක හදනකං කට ඇරගෙන මම බොන දිහා බලන් ඉන්නවා.පොලේ ගමනෙ ඒකායන බලාපොරොත්තුව අවසානයේ ඉටුවෙන්නෙ ඕන් ඔහොමයි.
පසු කාලෙක මට පුතා ලැබෙන්න ඉද්දි අම්ම අහනවා “මොනාද චුටි කන්න ආස” කියලා.මට ආවෙ එකම ආසාවයි.අම්මෙ පොලේ නිකුලස් මාමගෙ සරුවත් බොන්න ආසයි.මම කිව්වා.අම්මා ටිකක් වෙලා බලන් ඉදල කිව්වෙ.”දැං සරුවත් හදන අය ඕන තරම් ඉන්නවා.” කියලා.
“එහෙම නෙමේ මට ඕනා නිකුලස් මාමා හදන්නෙ..අර යතු කුඩු ගොඩෙන් අයිස් අරන් කුඩු කර..”
මට කතාව ඉවර කරන්න ලැබුනේ නෑ.
“චුටි..නිකුලස් මාමා නැතිවෙලා ගොඩක් කල්”
අම්ම නොකිවයුත්තක් කියනවා වගේ හෙමිහිට කිව්වා..
උපුටා ගැනීම:  Nilusha Anne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!