සර්ව සම්පූර්ණ මිනිස්සු (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අවුරුදු තුනකට කලිං මං පොඩි දුව එක්ක ලංකාවට යද්දි දින දෙකක් නිව් යෝක්හි නැවතුනා, මගෙ චූටි මල්ලි රවීන් බලන්න.
අපි දෙන්න හමු උනේ අවුරුදු හතරකට පස්සෙ. ඒ කාලය ඇතුලෙ මගෙ බාහිර පෙනුම ගොඩක් වෙනස් වෙලයි තිබුනෙ.
අපිත් එක්ක ඒ දින දෙකේ ගොඩක් තැං වල ඇවිද්ද මල්ලි, අපිව ලංකාවට යන්න ජෝන් එෆ් කෙනඩි එයාපෝට් එකට බස්සවන්න යන අතරෙ වාහනේදි මං ඇහුව
“ඇයි මල්ලි ඔයා ඇහුවෙ නැත්තෙ මං මෙච්චර මහත් වෙලා තියෙන්නෙ මොකද කියල ..”
ඔහු හිනාවෙලා දීපු පිළිතුර උනේ
” මං දන්නෑනෙ ලොකු අක්කෙ ඔයාට මොකක් හරි අසනීපයක්ද කියල .. මං දැන ගන්න ඕනෙ දෙයක් නං ඔයා ඒක අනිවාර්යයෙන්ම කියයිනෙ..” කියලයි.
මට ඒක එච්චර පුදුමයට කරුණක් උනේ නෑ…මොකෝ පුංචි කාලෙ පටං එහෙමයි ඔහුගෙ හැටි.
ඔහු මගෙ චූටි බාප්පගෙ චූටි පුතා. අපෙ පවුලෙ සේරම ළමයි සීයට සීයක්ම බැරි උනත් අඩු ගානෙ සීයට අනූවක්, සාමාන්යයෙන් අනිත් අයගෙ හිත් රිදෙන, අනිත් අය අපහසුතාවයට පත් වෙන දේවල් නොකියන සහ නොකරණ අය…
” හැබැයි ලොකු අක්කා…ලංකාවට ගියාම ඔයාට ගොඩාක් ඉවසන්න වෙයි…සෙනග එක එක දේවල් කියයි. ඔයාට දුකත් හිතෙයි. මළත් පනියි. ඔයා හිත හදාගෙන නෑසූ කන්ව ඉන්න බලන්න…”
චූටි මල්ලි තව දුරටත් මට අවවාද කළා.
ගෙදර ගියාම නං කිසිම නෑයෙක් මගෙ බර ඒගොල්ලො උස්සං ඉන්නව වගෙ හැසිරුණේ නැති උනත්, නිරෝගිව සිටීම වෙනුවෙන් ආදරයෙන් අවවාද දුන්න. ඒක මට කරච්චලයක් උනේ නැහැ කොහොමවත්…
එක දවසක් මං දුවත් එක්ක පාක් රෝඩ් එකේ ක්වික් තායි එකට පයිං යද්දි ත්රීරෝද රථයක් අපි ගාව පාරක් අහන්න වගෙ නැවැත්තුවම මං හිනාවෙලා බැලුව සුහදව..
ඒකෙ රියැදුරා තරුණ ගැටයෙක්.
පිටිපස්සෙ කෙල්ලෙකුත් හිටිය.
කොල්ල කිව්ව
“අම්මේ වට්ටක්ක … මාර ලොකු ව්ට්ටක්කනෙ ” කියල.
මට තත්ත්පර ගාණක් ගතවෙලා තමයි තේරුණේ ඒ කිව්වෙ අවලං කථාවක් කියල. එවෙලෙම තේරුණයි කියලත් මං ඉතිං අරූට ගහන්නයැ.
මගෙ දුවට හරි ප්රහේලිකාවක් උනා ඒ විදිහට පාරෙ යද්දි එළවළු වල නම් කියන්නෙ ඇයි කියන එක…
පිටරට හිටියට ඒගොල්ලන්ට හොඳට සිංහල තේරෙණව.
අපෙ මනුස්සයගෙ අයියගෙ දුවගෙ මගුල් ගෙදරට යන්න මං ඇඟිලි ගැන්නෙ ලංකාවට යන්නත් කලිං.
මණමාලිටත් වඩා උනන්දුවෙං , හරීඊඊම ලස්සන සාරියක් එහෙම ලෑස්ති කරගෙන මගුල් දා ගියා ඉතිං හයිෆයි සෙලෝන් එකකට හැඩ වෙන්න කියල. ඒක අයිති නෝන අපි පුංචි කාලෙ පටංම දන්න හිතවත් කෙනෙක්.
එයා කොංඩෙ දාල මේකප් කරාට සාරි අංදන්නෙ ගෝලයො.
ඔන්න ඉතිං මට කණ්ණාඩියෙන් පේනව මේ කෙල්ල සාරියට කටු ගගහ තොල හපාගෙන නිකං හිනාව පාළනය කරගන්න උත්සහ කරණව වගේ.
මං ඔහේ හිටිය ඉතිං…
“මිස් ආස නැද්ද කෙට්ටු වෙන්න…?”
මෙන්න බොලේ එකපාරටම මේ කෙල්ල ඇහුව.
“ආසයි..” මං කිව්ව
“එහෙනං ඇයි කෙට්ටු නොවෙන්නෙ…? ඇඟ හදා ගත්ත නංනෙ ලස්සන “
“අනේ කොච්චර උත්සහ කළාද..ඒත් මට දුර්ලභ අසනීපයක් තියෙනවනෙ. ඒ නිසා කෙට්ටු වෙන්නෙ නෑ..”
මං කිව්ව.
කෙල්ලට හරි අනුකම්පා හිතිල මට කිව්ව එයා මං වෙනුවෙන් යාඤා කරන්නං කියල … මට උංදැ ගාව තිබ්බ පොඩි ප්රෙය බුක් එකකුත් දුන්න දිනපතා ඒක කියවන්න එතකොට නොවැරදීම මං කෙට්ටු වෙයි කියල.
සෙලෝන් එක අයිති ආන්ටි රෝසිට මේක වෙන ළමයෙක්ගෙං පස්සෙ ආරංචි වෙලා මාව හොයං ගෙදරට ඇවිත් සමාව ඉල්ලුව ඒ කෙල්ල කිව්ව දේට.
” පුතා අව ජොබ් ඊස් ටු මේක් පීපල් ප්රිටිය…හූ ආ වී ටු ජජ්..?”
රූපලාවණ්ය වේදිනියන් වශයෙන් තමංගෙ රාජකාරිය , මිනිස්සු තවත් ලස්සන කරණ එක මිසක් ඒ අයව විනිශ්චය කිරීම නොවන බව කියල තවදුරටත් ඇය කිව්ව අර ගෑණු ළමයව අයිං කරණව කියල…
මං එහෙම කරන්න එපා කියල ආයාචනා කළ නිසා අන්තිමේ ඇය හිත වෙනස් කරං වෝනිං ලෙට එකක් විතරක් දුන්න කියල ආරංචි උනා.
ඉතිං දැං මං ඔය සාරි බාරි ගහං ගිය තරු පහේ හෝටලේ මගුලෙදි , කවුදෝ ගොබිලෙක් ඈත ඉඳං හිනැහෙමිං බලං ඉඳල ටිකකිං අපි හිටපු තැනට ඇවිත් මගෙං ඇහුව
” මේ අපෙ චාන්දු මල්ලිගෙ නෝන නේද…?? මට අඳුරන්න බැරුව ගොඩක් වෙලා බලං හිටිය..”
” අනෙ එහෙමද… සමාවෙන්නෝනෙ, මට නං මතක නෑ කව්ද කියල “
මං පිළිතුරු දුන්න.
” ඇයි මාව මතක නැද්ද … මං සනත්… චාන්දු මල්ලිගෙ ලොකු මහප්පගෙ නෝනගෙ නංගිගෙ පුතා…”
ගුණතිලක, නන්දසිරි සහ ජයසූරිය හැරුණු කොට වෙන සනත්ල නොදන්න මං හිනාවෙවී බලං හිටිය මිසක් මොකුත් කිව්වෙ නෑ…
” ඔයා ඩයට් කරන්නෙ නැද්ද නංගි..? “
මෙන්න බොලේ මේ යකා එකපාරට ඇහුව. මං හිනාවෙලාම ඉවසීමෙන් ඇහුව
” ඒ මොකටද.. ” කියල
” ඇයි බලන්නකො නංගිගෙ මහත… ඔයා ඩයටිං පටං ගන්න “
මං නොදන්න මට ආදරේ අය කොච්චර ඉන්නවද දෙයියනේ ..!
” බෑ සනත් අයියෙ..මං හරි ආසයි මගෙ ඇඟට. කොච්චර අමාරුවෙංද මේ ගාණට ඇඟ හදා ගත්තෙ. මේකෙං එක අඟලක් වත් අඩු කරන්න මං ආස නෑ…”
මෙන්න යකෝ මේක කිව්ව ගමං මේ මිනිහ දඩස් ගාල නැගිටල ගියා වෙන මේසෙකට. මගුල් ගෙදර ඉවර වෙනකං පොර නෙමෙයි වැරදිලාවත් මගෙ මූණ බැලුවෙ.
මං මේ තාමත් කල්පනා කරන්නෙ මගෙං මොකද්ද ඒ යකාට උන වැරැද්ද කියල.
මීගමුවෙ රුක්මණී දේවි එකේ මධුර ජවනිකා පෙන්නනව කියල චූටි බාප්පයි ලලා ඇංටියි මාවත් එක්ක ගියා බලන්න , ඒ වැකේෂන් එකේදි.
ශාලාව ඇතුලෙ අපි එක්ක ටියුෂන් ගිය යාලුවෙකුත් හිටිය ඈත. දැක්කෙ අවුරුදු දහයකින් විතර.
විවේක කාලෙ එයා ආව අපි ගාවට එයාගෙ යාලුවෙක් එක්ක.
මට හරි සතුටු හිතුන කාලෙකිං දැක්ක නිසා.
කොච්චර දේවල් තියෙනවද අහන්න.
ඔයාගෙ බබාල කොහොමද..
අම්ම තාත්ත සනීපෙංද..
අක්ක තාම රටද..
පරණ යාලුවො හම්බ වෙනවද..
මං හිතිං ඔහොම පෙල ගස්සවද්දි ඇය කිව්ව..
” අම්මෝ මං ඈතට දැක්කෙ ඇතෙක් වගෙ. මාර මහතක්නෙ.. ” කියල.
ඇය එක්ක හිටපු මං ජීවිතේට දැකල නැති කාන්තාව ඇහුව
” මට ඔයා බත් කන පිඟාන ඉල්ල ගන්න බැරිද..? ” කියල.
ලලා ඇංටි මගෙ අත තද කරල ඉඟි කරපු නිසා ” අනෙ ලොකු දුව ඉවසල ඉන්න ” කියන්න වගෙ , මං හිනා වෙලා යාලුවගෙං ඇහුව
” ඉතිං කොහොමද … හරි සතුටුයි ඔයාව දැක්කට ” කියල
” අම්මෝ මේ .. මාර විදිහට මහත් වෙලා හරිද…!!! “
ඕං උත්තරේ…
මට කියවුණා ” දන්නව ” කියල.
නාට්ටියෙ ඉතුරු ටිකට බෙල් ගහපු හිංද ඒ දෙන්න තවත් මුකුත් නොකියම ගියා සීට් වලට.
නිවාඩුවෙන් පස්සෙ ආපහු බහාමාස් ඇවිත් කඩේ ගියාම
ඩැලරීස් හම්බවෙලා දූවගෙන ඇවිත් හග් එකක් දුන්න.
” ලසාන්ටි…ඉට්ස් සෝ නයිස් ටු හෑව් යූ බැක්. යූ ලුක් වෙරි බියුටිෆුල් “
ඇගෙ අදහස උනේ මං ලංකාවට ගිහිං පවුලෙ අය එක්ක සතුටිං ඉඳල තවත් ලස්සන වෙලා කියලයි.
කාරෙකට ගෑස් ගහන්න වෙනද යන තැන නැතුව අලුත් ගෑස් ස්ටේෂන් එකකට ගියාම , එතන හිටපු තරුණ කොල්ල
” හායි මෑම්… වෙයාරායූ ෆ්රොම්..? ” කියල අහපු ප්රශ්නෙට ශ්රීලංකා කියල උත්තර දුන්නම , ආපහු කිව්ව
” ඕගොල්ලංගෙ කොංඩ හරි ලස්සනයි…දිග ස්ට්රේට් කොංඩ ” කියල.
ගෑස් ගහමිං ඉන්න ඔහුගෙ , ලස්සනට ගොතපු කැරලි කොංඩෙ දිහා බලල මං කිව්ව ඔයාගෙ කොංඩෙත් කොච්චර ලස්සනද…කියල.
” බට්…යෝ හෙයා ඊස් ප්රිටිය..ඇන්ඩ් යූ හෑව ප්රිටි ස්මයිල් ටූ…”
මේං ඒ පාර මේ හාදය කියනව මගෙ හිනාවත් ලස්සනයි කියල.
මං ඉතිං ඒ ලස්සනයි කිව්ව
එකෙං ඔහුට නිර්ලෝභීව සංග්රහ කරල , ඩොල දහයක ටිප් එකකුත් දීල සුභ දවසක් පතල ආව.
වෙනදට දෙන්නෙ පහයි.
උපුටා ගැනීම :  ලසන්ති කොඩිකාර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!