අහම්බෙන් වාගේ හිටි අඩියේ ඇස ගැසෙන්නෙකුගේ පළමු දර්ශනයෙන්ම (at the first sight) හිත නැවතී, මුව ගොළු වී, සර්වාංගයම සලිත වී, උන් හිටි තැන් පමණක් නොව යන්නට ගිය ගමනද අමතක වී, ( පාන් ගේන්න කඩේ යන ගමන් සිටියා නම් ගෙදර උන් හාමතේය) උතුර දකුණ මාරු වී, මැරෙණවා පේන්නැති වී, හදුන්පොත කී ගානා ගතියක් නැතිනම් හදිසි කිචියක් හට ගන්නේ කුමනාකාර වසංගත තත්වයක පූර්ව රෝග ලක්ෂණ ලෙස දැයි දන්නෝ දනිති. “නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා”…යි කියා අසංග ප්රියමන්තයන් අමාරුවෙන් නමුත් බොක්කෙන්ම කියන්නේ ආන්න ඒ සන්නිපාත උණ ගතිය ගැනයි.
අනිත් අතට සමහර එකෙක් මුල් වරට දකින පමාවෙන්ම හොම්බ රිවට් වී දත් ටික බඩට යන්නට හැට හැත්තෑවක් අනින්නට අත නළියන්නේ, උන් අපිට කළ කී මිලි මීටර් බාගයකවත් වැරැද්දක් නිසාම නොවේය. එසේ වචනෙකින්වත් අපට වරදක් කර නැති උන් ගැන මූණ දකිද්දීත් මල පනින හෝ මොනවා කරලාවත් දිරවාගත නොහැකි ලයින් එකක් එන්නේ, පෙර භවයක උන් අපට කළ කුපාඩි වැඩක ඇරියස් කවර් වී නැති නිසා විය හැකිය. ඒ වාගේම මොන තූත්තුකුඩියක ඉද කඩා පාත් වුනාද, ලෝකේ කාලා කෙසේ වෙතත් ග්රහ මණ්ඩල පිටින් ගිල වතුර බී ආවාද කියා සොය සොයා නොයිඳ ඇතැමෙකු දුටු මතින් අපේ හිත කාන්දමකට වාගේ ඇදී බැඳී ඇඹරී යන්නේ සසර පුරුද්ද වාගේ මොකක් හෝ මලඉලව් අටමගලක් නිසාම විය යුතුය. එහෙම කාන්දම් වාගේ ආකර්ෂණ බල, ගහෙන් ගෙඩි එන්නා වාගේ ස්ටෙප් බයි ස්ටෙප් නොව, වැහිත් නැතිව හෙණ ගහන්නා වාගේ් ක්ෂණිකව හට ගන්නේ කෙසේ්දැයි යන්නට පිළිතුරු සොයන්නට මයිකල් ෆැරඩේ වැරදිලාවත් මේ වනතුරු හිටියා නම් පොරත් කොර වී ඇඹරී යනු ඇත.
එදා පබ්ලික් ලයිබ්රරියේ ගත වී ගිය මෙලෝම රහක් නැති, පට්ට බෝරින් දවසක් වූයේ වෙනදා සහයට ඉන්නා ඩැනීලා එකෙක්වත් නොසිටි නිසාය. ස්ටඩිරූම් එකේදී, හායි ගා යන්නට එන ඈනුම් ෆුල් ගේමක් දී කන්ට්රෝල් කරගනිමින් සිටි මම උදේ ඉන්ටවල් එකේදී එළියට පැන්නෙමි. හතරදෙනාගේ කල්ලියේ උන් තියා හැමදා එන මාගේ රාජකීය මිතුරන් දෙන්නාත් ආගිය අතක් නැත..දෑස රිදෙනවා පාර බලා ඉඳලා..කියා බලා ඉඳ තිත්ත වූ මම කිසි ආතල් එකක් නැති පාළු දූපතකට වැරදී ගොඩබැස්ස සෝක ජනක මූඩ් එකෙන් කැන්ටිම පැත්තට ගෑටුවේ මිස්ප්ලේස් වී ඇති ජවය හා ශක්තිය අඩු කහට ප්ලේන්ටියකින්වත් ගන්න පුළුවන්දැයි බලන්නටය. ප්ලේන්ටියේ පාළුව මැකෙන්නට කිඹුලා බනිස් එකකුත් ගත් මම තනිව මේසයක වාඩි වූයේ..”අපරාදෙ ආවෙ..ඔන්නොහේ මේක බීල ගෙදර යනවා” කියා සිතමිනි.
කන්න කට ළඟට ගත් කිඹුලා කටට පනින්නට පුල පුලා බලා ඉද්දී මූණ ඉස්සරහින් කිඹුලා අල්ලාගෙන මා එක්වරම ස්ටැචිව් (statue)වූයේ හදිසියේ දුටු දසුන නිසාය. කෑම ගන්නට, මා ඉදිරියෙන් තම මිතුරා හා කයියක් දමාගෙන යමින් සිටියේ, කෙට්ටුත් නැති මහතත් නැති, පැහැපත්, උස් සිරුරැති, හැන්ඩි යැයි කිවහැකි කොල්ලෙකි. බැලු බැල්මට කට හැකර නසරානියෙක් බව පෙණුනත් ඌ දුටු මතින් මා මනස හරහා විදුලියක් කොටාගෙන යනවා වැනි හදිසි කම්පනයක් ඇති වීමය මා ස්ටැචිව් (statue)වීමට හේතු වූයේ. එය ඉඳුරාම love at first sight වැනි ඉලව්වක් නොවන බව පොළවේ පස් කා දිවුරමි. එය හුදෙක් මා ඒකා දැක තියේය..හොදින්ම දන්නවාය කියා ආ තදබල හැඟීමකි. කිඹුලා දෙස් දෙවොල් තියමින් වේලි වේලී කට ලඟ ලතවෙද්දී, ප්ලේන්ටිය නිවෙද්දී මම මගේ මතක ගබඩාව වහ වහා ස්කෑන් කරන්නට පටන් ගත්තෙමි.
“මම යන ක්ලාස් එකක…බෝයිස්කූල් එකක මොකක් හෝ ඩේ එකකට ගිය වේලාවක…නෑ….බස් එකේ…ම්ම්හු…ස්පෝර්ට් මීට් ආරාධිත පාසල්…නෑ..පාදුක්ක කෝච්චියේ…නුගේගොඩදී…ඒත් නැත…” ආදී ලෙස මා දැක ඇතැයි සිතිය හැකි ප්ලේස් ලිස්ට් එක ස්කෑන් කරමින් ඉඳිද්දී, සීන් එකේ ක්ලයිමෙක්ස් එක පැමිණියේ නොසිතූ නොපැතූ ආකාරයටය.
අර හුරු පුරුදු වාගේ පෙණුනු කොළු ගැටයා උගේ යාළුවාත් සමඟ ප්ලේන්ටි දෙකක් රැගෙන විත් මා වාඩි වී සිටි මේසය මත තබා මා ඉදිරියේ වූ පුටු දෙකේ වාඩි වූයේ දෙදෙනාගේ කතාව නොනවත්වා කරන අතරතුරේමය. මා සිටියේ “කල්පනා ලොව මල් වනේ සිහින රජදහනේ….”අතරමං වීය. ඈතින් තිබු මූණ, දැන් අත පොවන මානේ නිසා වඩාත් හොදින් මතකය අවදි කරගන්නට උත්සාහ දරමින් ස්කෑන් කිරීම ස්පීඩ් කළෙමි. දිගින් දිගටම මා කල්පනා සාගරේ කොච්චර ගැඹුරට කිමිදුනාදැයි කීවොත් පතුලේ වැල්ලත් හාරාගෙන යනවා මට දැනුනේ නැත. මේකා දැක්කොත් මෙහෙම එළුවා කොස් කොළ දිහා බලන්නැහේ ඌ දිහා බලං ඉන්නවා, ඒකාට මොනාකාර චිත්ත ප්රීතියක් හෝ චිත්ත වේගයක් ඇතිවේදැයි මොහොතකටවත් මට නොසිතුනේ කල්පනාව එතරම්ම බලවත් වූ නිසාය… ඔහොම විනාඩි කීපයක් යද්දී ගල් පිළිමයක් වාගේ මොකක් හෝ එකක් තමා ඉදිරියේ තියෙනවා, යාළුවා දෙසට හැරී කතා කර කර හිටි ඌට සයිඩ් එකෙන් වාගේ පෙනෙන්නට ඇත. කතාව නැවතූ ඒකා මට මුහුණට මුහුණලා හැරී, මාගේ දෑස දෙස බලනු…කියා කීවේ නැත. ඒ වෙනුවට තියුණු බැල්මෙන් එක එල්ලේ මා දෑස දෙස බලද්දීත් මා සිටියේ එලෝ මෙලෝ නැතිව කල්පනාවේමය. ඒ බැල්මෙන් අන්ද මන්ද වී කල්පනා සාගරේ කළඹාගෙන වහාම පියවි ලොවට පිහිනාගෙන ආ මට පෙණී ගියේ මහා පරිමාණ බයිට් වීමකට කටයුතු සම්පාදනය වී ඇති බව හා “හොද නෑමක්” අත ලඟ බවයි. තම සගයාටත් වැළමිටෙන් ඇන ඉඟි මැරූ ඌ වැළමිට මේසයට තබා, කම්මුළේ අත තියා, මත්වී වාගේ දෑස අඩවන් කරන් මාගේ දෑස දෙස බලන් අනිමිසලෝචන පූජා පවත්වන්නට වූයෙන් උගේ යාළුවාද ගොණා පසු පස්සේ රිය සක වාගේ් ඒ අඩි පාරේම එමින් එ්කාව අනුකරණය කළේය. කොටි මදිවාට හරක් කිව්වා වාගේ බයිට් වෙන්න යන්නේ තුන් දෙනාම ඩබල් දාලා නිසා පසු බසින්නට හෝ පලා යන්නට මගක් නැත. කිඹුලා අතේ අරන් අන්ත අසරණ වී නමුත් “සතුරට ලය දී මිස මැරුණේ නෑ….” ගනු කඩුව එනු සටනට කියා හිතද්දීම…
“ඒ…මොකෝ අද තනියෙන්..කෝ සෙට් එක..?” කියා මිහිබට සුර දූතයෙක් අමතන්නාක් වැනිව ඇසුනු මිහිරි කටහඬ කාගේ දැයි හැරී බැලුවෙමි. මට පිටුපසින් ප්ලේන්ටියක් අතැතිව සිටියේ අපේ ගෙවල් පාරේම එහා හෝල්ට් එකක සිටි මාගේ ඩී.එස්. මිතුරෙකුගේ හොදම යහළුවායි. වෙනදාට මා මගේ ඩී.එස් යාළුවා සමග කතා කරද්දී මේකා සමග වැඩි කතාවට නොයා ඩෝන්ට් කෙයා සිටියත් දැන් ඌ මට පෙනෙන්නේ, මගේ චාටර් වීම දැක පඬුපුල් ආසනය උණු වූ ශක්රයා විසින් එවූ සුරදූතයෙකු වාගේය. “ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහළම සතුටයි මෙළොවේ..” කියා නොකියා ඌ සමග, මග එමින් තිබූ ඥාණ දතත් පෙනෙන්නට සිනාසුනෙමි. ඒ සමගම වහා නැගී සිටි අරුන් දෙන්නා ක්ෂණිකව එතැනින් වාෂ්ප වී ගියෝය. වෙන්නට ගිය මහා විපත්තියෙන් මා බේරාගත් සුරදූතයාට කැන්ටිමේ ශෝ කේස් එකේ තිබූ පොල් රොටී සේරම අරං දෙන්නට තරම් මෙව්වා එකක් මට පහළ වුවත් නිකම් ආයෙත් ඉල්ලන් කන්න ඕනා නැති නිසා එසේ නොකළෙමි. ඉන්පසු ආයේ අර “කවදා හෝ සසර කතර අතර මඟකදී… දුටු එකා කීප විඩක් දුටුවත් ෆේස් ටු ෆේස් නොයා මගඇර යන්නට වග බලා ගතිමි. ඒ හුරු පුරුදු මෙව්වා එක කීප වරක් නැවත දකිද්දීත් පැමිණ නැත්තටම නැති බංගස්තාන වී ගියේ මට කිසිදා ඒ කවුදැයි සිහි නොවූ නිසාය. පසුදා ලීඩ්ස් යන අතරතුරේ මේ විස්තරය, පෙර පාසලේදීත් මගේ මිතුරා වූ රාජකීයයාට කී පසු ඌ යන ගමන නවතා නුගේගොඩ හන්දියේ ලයිට් කණුවක් බදාගෙන මැරෙණ තුරු හිනා වී කීවේ, “දැකල පුරුදු ගිය ආත්මෙ වෙන්නැති” කියාය.
“සිරි පැරකුම්” මා මුල් වරට හබියාත් සමග නරඹන්නේ මහරගම “අනූෂා” එකට ආ අළුතමය. ඒ විවාහ වී දෙන්නා තුන්දෙනා වෙන්නට පෙරය.ළදරු රජ කුමරුවා ආරක්ෂාව තකා මාළිගයෙන් පිටමං කර සාමාන්ය දරුවෙකු ලෙස ගොවි ගෙදරක හැදෙන්න වැඩෙන්න සලස්වනවා.. ෆිල්ම් එක නරඹා ඇති අයට මතක ඇත. කුමාරයා ගැන සොයා බලන්නට වෙස් වළාගෙන එන පතිරාජ සෙනෙවියා තිරයේ දිස්වෙන තුරු මට කිසි අවුලක් තිබුණේම නැත…ඇස් දෙක පමණක් පෙණෙන සේ මුහුණ ආවරණය කරගෙන සිටි සෙනෙවියාගේ මුහුණ ස්ක්රීන් එක පිරෙන්න පෙන්වද්දී හිස ඇතුලේ අකුණු වැලක් පුපුරා, ස්නායු එකට පැටලී, මන්ද මොංගල් වී, සම්මා සතිය නැති වී යන්නාක් මෙන් දැනුනේ ඒ දෑසේ බැල්ම මා දන්නවා කියා සිතුනු නිසාම පමණක් නොවේය. ඒ කලින් වතාවේ දැනුනා වාගේ නිකම්ම දැක හැඳිනීමක් නොව ඊට වඩා ෆුල් සිරා ෆීලින්ග් එකක් නිසා බව කිව යුතුමය…කොහොම නමුත් “හිත හිරිවැටුනාදෝ..ඇස් දෙක දැකලා..” කියා අසන්නට පතිරාජ සෙනෙවියා ඒ අහළ පහළක නොසිටියේ මගේ වෙලාවටය. ඊළගට මා පුල පුලා බලා සිටියේ සෙනෙවියාගේ ෆුල් ෆේස් පෙන්වන තුරුයි. සම්පූර්ණ මුහුණ පෙන්වද්දී ඔළුව විකාර වී, දෑස් නිලංකාර වී යන්නට වූයේ කියාගත නොහැකි තරමේ සමීප බවක් දැනුන නිසාත් ඒ කවදා කොහේදීදැයි කෙසේවත් සිහියට නගාගත නොහැකි වූ නිසාත්ය. මින් පෙර සෙනෙවි කොළුවා කිසිවක රඟපානවා මා දැක තිබුණේ නැත.එවැනි නළුවෙකු ඉන්නවා කියා හෝ ඒකාගේ නම මොකද්ද කියාවත් දැන සිටියේ නැත. හැබැහින් කොහේදීවත් දැක නැති බවට, බක්මහට හෙණ ගහන්නා වාගේ සුවර්ය. “පෙර භවයේද අප හමු වීල තිබුණා…”කියා මා නොකීවත් ශශිකා නිසංසලා කියන්නට ඇත්තේ ඒ වගේ ඉන්සිඩන්ස් එකකදී විය යුතුය. ශශී තව දුරටත් කීවේ මතක් නොකළාට මතක් වෙනවා..මතක් වෙනවා..මතක් වෙනවා..කියා වුවත් මගේ කේස් එක ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. මට කියන්නට ඇත්තේ..මතක් කෙරුවාට මතක් වෙන්නෑ ..මතක් වෙන්නෑ…මතක් වෙන්නෑ..
කියා විතරය.

ඒ සීන් එක අමතක වී අවුරුදු කීපයකට පසු ආයෙත් මෑන් සරිගම ෆිල්ම් එකේ රඟපෑ ට්රේලර් එක දකිද්දී ගාල කඩාගෙන සුපුරුදු ශොක් එක නැවත ආවේය. නමුත් කිසිවක් මතකයට නගා ගත නොහැකි වීම නිසා ඒ ශොක් එකේ පවර් එක නිතර නිතර දකිද්දී එහෙමම හීන වී බැස ගියේ, පහු පහු වෙද්දී නිතර දකින කුකුළාගේ කරමලය සුදට පේන්න ගන්නා වාගේය. පසුව ඔහුගේ නම අශාන් ඩයස් බවත් ගම මීගමුව බවත් දැනගතිමි. ඔහු ගැන පළකර තිබූ fb පෝස්ට් එකක් හදිසියේ දැක කියවද්දී අශානුත් මාත් එකම අවුරුද්දේ එකම දිනයේ ඉපදී ඇති බව තව දුරටත් දැන ගතිමි. (සමහරවිට අප දෙදෙනා මේ කෲර ලෝකයෙන් මිදී එකටම මිය යන්නට ඇත…
) “ලෝකයෙන් යමු…ආයෙ ඉපදෙමු..කියා මොනිකා, බ්රිටෝ වාගේ ලෝකාන්තයෙන් පහළට පැන එකටම මියැදී, පතා ආ ලෙස ළග පාත අහළ පහළක ලෑන්ඩ් කරගන්නට බැරිව එකම දා දෙපොළක ඉපදුනා වෙන්නටත් බැරි නැත. හින්දි ෆිල්ම් කාලයක් තිස්සේ එක දිගට බලා මොළේ කොළොප්පන් වූ පසු ඔවැනි එව්වා හිතෙන එක සාමාන්යය. නමුත් අශාන් ඩයස්ව දැක්කේ මා පමණය. අශානුත් කවදාක හෝ මා දුටුවා නම්… “පෙර ආත්මයක එක රාත්රියක මධු කුසලානෙ දෙතොලේ රැදෙව්වේ.. ඒ ඔබයි මිහිරේ…”කියා නොකියනු ඇතැයි කාට නම් කිව හැකිද….









උපුටා ගැනීම: -ඉරේෂා ගමගේ-