ඕන්න ඉතින් යාන්තන් උසස් පෙල ඒම ලියල ජොබ් එකකට යනකන් ලැබුන සංක්රාන්ති කාලෙ.(නැතුව ඉතින් C තුනකට කැම්පස් ගන්නව කියලයැ මිත්රවරුනි)යාලුවො එක්ක ෆුල් සැපේ ජීවිතේ ගෙවාගෙන ගෙවාගෙන ගියා.
ඕම යද්දි මන් මගේ ජීවිතේ තරම් ආදරේ කරපු මන් ගොඩාක් මහන්සියෙන් තාත්තගෙ සල්ලි වලින් ගත්ත වටින මෙව්ව එකක් මන් ජීවත් උන ටවුන් එකේදිම හොරු ඉස්සුව.එච්චර කල් තිබුන තරුණ වයෙසෙදි හැදෙන අමුතු අමාරු වලට සිද්ධාලේප අසමෝදගම් වැටුන වගේ ඒ අමාරු ඔක්කොම නැති උනේ අදාල සිදුවීම එක්ක.
සාමාන්ය විදිහට පොලීසියෙ ගිහින් ඇන්ට්රියක් දැම්ම.කොච්චර උනත් ඒ මදි වගේ.නෑදෑයො යාලුවො කිව්වෙම සාත්තරයක් බලන්න කියල.බේරෙන්න බැරි තැන මාත් කැමති උනා.සුදෝ සුදට ඇදගෙන යාලුවෙක් එක්ක ගියා අම්බානක හාස්කම් තියෙන අපේ නගරෙට කිට්ටුව තිබුන දේවාලෙකට.අෆ්ෆට ඩබල්සිරි වෙන්න අම්මණ්ඩිල පෝලිමේ.දේවල භූමියට යන්න කලින් ඇළ පාරකින් පිරිසිදු වෙලා යන්නත් ඕනි.ඇළ පාරෙන් මූන හෝදද්දි දේවාලෙට ආව ඇන්ටි කෙනෙක් දේවාලෙ හාස්කම් ගැන සෑහෙන දේවල් කියල අපි ආව කාරණාවත් ඇහුව.මාත් එක්ක ගිය එකා පැනපු ගමන් “මේ මගේ යාලුවගෙ මාලයක් නැති උනා පවුම් ගානක් වටින”කියල කිව්වෙ මටත් ඇහැක් ගහන ගමන්.
ඕන්න අපේ වාරෙ.දේව මෑණි ආවේසෙන් උබල ආපු කාරණව කියපියව් කියල දුම් ටිකක් ඇල්ලුව කබලෙන්.නැති වෙච්ච මෙව්ව එක හොයල දෙන්න දන්න දෙයියො ආව කාරණාව මගෙන් අහන්නෙ මොන වලස් ලබ්බටද කියල අහන්න හිතුනත් මගේ ලඟ හිටපු දයාබර මිත්රයගෙ භක්තිමත් මූන දැකපු මට නැවත දේව බැතිය පහල උනා.ඒ එක්කම අපි ආවෙ නැති උන දෙයක් හොයාගන්න දේවමෑණියන්ගෙන් උදවු ඉල්ලන්න කියල මගේ යාලුව කිව්වෙ බොහොම ගරුසරු ඇතිව.
අදාල දවස වෙනකන් මගේ හිතේ තිබුනෙ සාස්තර කියන විශය ගැන චකිතයක්,දෙගෙඩියාවක්.ඒත් ඒ අසිරිමත් දවසෙ මගේ සියලු සැකයන් නැති උනා.දේව මෑණි ගාම්භීරව කිව්ව උබලගෙ නැති උන වස්තුව කාගෙ හරි බෙල්ලක එල්ලි එල්ලි තියනව කියල.මගෙත් යාලුවගෙත් කටවල් ඇරුනෙ එකම වෙලාවෙ.සතුටටද දුකටද දන්නෑ අපි දෙන්නම නැගිටල එකම වෙලාවෙ දේවාලෙන් එලියට ආව.ඌත් හිනා වෙනව.මට උන අකරතැබ්බෙට පස්සෙ පලවෙනි වතාවට මාත් හිනා වෙනව.අපි දෙන්නටම මැවිල පෙනුනෙ එකම එක දෙයයි.මගේ නැති උන අපාචි 160 බයික් එක ඒක උස්සපු හොරාගෙ බෙල්ලි එල්ලිල තියෙන ලස්සන.බර උනත් ඌ ගානක් නැතුව ආඩම්බරෙන් හිටපු හැටි අපි දෙන්නම දැක්ක විදිහ අද වගේ මතකයි.
දේව මෑණියනි….
ආදරෙයි….
උපුටා ගැනීම: Devinda Prabhath