සාත්තරේ….. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මන් එතකොට හිටියෙ කොළඹ. අපේ පුහුණුව අවුරුදු දෙකක් ජාතික රෝහලේ. බෝඩිම පුංචි බොරැල්ලෙ. හැම සති අන්තෙම බෝඩිමේ අනෙක් හතරපස් දෙනාම යනව ගෙදර. මට ගෙදර යන්න ගියොත් යන්න දවසයි එන්න දවසයි දවස් දෙක ඉවරයි. ඒ නිසා මන් තනියෙන් හැම සතියෙම බෝඩිමේ.
මන් කරේ උදේම එලියට ඇවිත් කොතනින් හරි බස් එකක නැගල මට හිතෙන දුරක් යනව. ආයි වටේ පිටේ බලල තව බස් එකක නැගල ආයි එනව. ඒ ඇවිත් බෝඩිමේ තිබ්බ ලොකු කොළඹ මැප් එකක් අරන් මන් ගිය පාරවල් ඔලුවට දාගන්නව. 2010 ගූග්ල් මැප් වත් ස්මාර්ට් ෆෝන් වත් තිබ්බෙ නෑ මට. අවුරුදු දෙක ඉවරවෙද්දි මන් කොළඹ පාරවල් කාල වතුර බීල තිබ්බෙ. ඔය අස්සෙ වන් වේ වල බැහැල අනාගත්ත අවස්තාත් තිබ්බ ඉන්න තැන දන්නැතුන්.
බිරින්දෑගේ ( ඒ කාලේ නම් වෙන්ඩ බිරින්දෑ) ඉල්ලීම මත එක දවසක් පිල්ලෑවෙ යන්න තීරණය කරා. හොරණ බස් එකක ගිහින් යන්තන් තැන හොයාගෙන බැස්සා. පංසලට ගියා තනියම. මහ සෙනගක් නෑ එදා. අර පොඩි පාර දිගේ මන් විතරක් හිමින් හිමින් ගියා. මේ වෙනකොට ඒ පාරෙ එක උකුසු ඇස් දෙකක් මන් දිහාට යොමුවෙලා තිබ්බ කියල මන් දැනන් හිටියෙ නෑ. මන් පංසලට ගිහින් පැය බාගයකට වඩා ඔහේ වාඩිවෙලා හිටියෙ හිත පතුලෙන් බුර බුරා නැගුන ශ්රද්දාව නිසා නම් නෙමේ. ඉක්මනට එලියට ආව කියල කරන්න දෙයක් නැති නිසා
කොහොම හරි පැයකට කිට්ටු කාලයක් ඉඳල මන් හැරිල ආව. එනකොට මෙන්න අර උකුසු ඇස් දෙක මට කතාකරනව. අවුරුදු හැටක් විතර වෙච්ච කමිසයක් කලිසමක් පිලිවෙලට ඇඳපු කණ්නාඩි දෙකක් දාපු කොණ්ඩෙ ටිකක් අඩු මනුස්සයෙක්
.බෝඩ් එකක් ගහල තියනව මාතර වෙදමහත්තයා. සාස්තර කියනු ලැබේ වගේකක්.
“එන්න මහත්තයා. අත බලල පොඩි සාත්තරයක් බලල යමු. ඔය හැමතැනම ඉන්න අහිකුණ්ටික අය වගේ නෙමේ. මේ පරම්පරාවෙන් ඉගෙන ගත් දේවල්.”
ඔන්නොහේ නිකමට බලනව. ආයි මට අමුතු හදිසියක් ඇයි යන්න. හැබැයි ප්රශ්නෙ තියෙන්නෙ මන් අතේම තියෙන්නෙ පන්සීයයි. ඒත් ඔන්නොහෙ අත දික්කරා
“මහත්තයා. මේක බොහොම බලගතු අතක්. විදේශගතවෙන්න පවා වාසනාව තියන අතක්. අනිවාර්යයෙන් ඉහලටම යනව.හැබැයි ප්රශ්න තියනව.”
ප්රශ්න නැත්තෙ මොකාටද ඉතින්. මන් බොහොම උපේක්ශාවෙන් අහන් හිටිය.
“මහත්තයා මේ තරුණ කාලෙම ජීවිතේ ගැන කලකිරෙන්න එපා. ඕව ඔහොම තමයි. ඔය වයසෙදි (23) ඔයතරම් මානසිකව වැටෙන්න හොඳ නෑ. ඔය ඔලුවෙ තියන ප්රශ්න ඔයතරම් කල්පනා කරන්නත් හොඳ නෑ. මහත්තයාට පිටුපාපු යාලුවො ගොඩක් ඉන්නව. අන්න ඒක තමයි මහත්තයාට තියන දුක. ප්රේම සම්බන්දතා ගැනත් ඕනවට වඩා හිතන්න එපා. ඒව මේ තියනව මේ නෑ. මහත්තයා තමන් ගැන හිතන්න පටන්ගන්න. මහත්තයාට පත්තිනි බාරියාවක් ලැබෙන්න නියමිතයි. ඒ නිසා ඔය හිතේ තියන පීඩාවන් අයින් කරල සතුටෙන් ඉන්න. කලකිරීම් කියන දේ ජීවිතේට එනව. ඒව අමාරුකාල තමා. මහත්තයට මේ අමාරු කාලයක් යන්නෙ”
“තව මොනාහරි දැනගන්න තියනවනම් බුලත්කොලෙන් පඬුරු තියල හිතේ තියන ප්රශ්න අහන්න.”
“කීයක් තියන්න ඕනද?”
“කැමති ගානක් තියන්න. පන්සීයක්, දාහක්. අපි ඔය ප්රශ්නවලටත් හොඳ ගුරුකමක් කරගමු. ලොකු ගණන් ගන්නෑ මම. මේක මේ සාත්තරේ නැතිවෙන නිසා කරන්නෙ. අපි වැදගත් වෙද පරම්පරාවක්”
පාරෙ ඉඳන් වෙදකම් කරන්න තරම් වැදගත් කියල හිතට ආවත් මන් හිත එලියට නොදා
“නෑ. මට ආයි අහ අහ ඉන්න බෑ. අන්න බස් එක එනව. මෙතන තුන්සීයක් තියනව. මන් යනව” කියල දුවල ඇවිත් බස් එකක එල්ලුනා.
ඒ එනගමන් මන් කල්පනා කරා මොකක්ද යකෝ ඒ ජීවිතේ කලකිරුන සීන් එක? මන් මේ ගෙව ගෙව ඉන්නෙ ජීවිතේ මල් මල් වසන්ත කාලයක්නෙ බොල. අන්න එතකොටම මට සත්ය වැටහුනා.
මන් පංසලට යද්දි මූ බලන් හිටිය. එද්දි තමා අල්ලගත්තෙ. ඔය වයසෙ කොල්ලෙක් මහ දවාලක පංසලට තනියෙන් එන්නෙ නෑ. අනිවාර්යයෙන් හිත කඩා වැටිච්ච කොල්ලෙක් තමයි තනියම ඇවිත් දුක නිවාගෙන යන්නෙ පැය ගානක් පංසලේ ඉඳල. මූ අන්න ඒ තර්කෙ ඉඳන් හැදුව කතාවක්. ඇත්තටම මම එහෙම කලකිරුන එකෙක් නම් උගෙන් ඒකට ශාන්තියකුත් කරගනී දෙතුන් දාහක් දීල. මුන්නෙ මිනිස්සු
“හූ හූ. ඇද්ද මාව අන්දන්න ආව බොරුකාරයා. මන් රැවටෙයි ඕවට.”
මන් එහෙම හිතින් මෑන්ට හිනාවෙවී එද්දි එකපාරම මට දෙයක් මතක් උනා.
අඩේ මන් ඌට රුපියල් තුන්සීයක්ම දුන්නනෙ. එතෝට යකෝ ඌ නෙමේ අන්තිමේ මන්මනෙ රැවටුනේ.
උපුටා ගැනීම: Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!