මට අකුරු සම්බන්ධයෙන් ඇත්තේ පිපාසයකි. එය කවදාවත් හිඳෙන එකක් නම් නොවේ ය. මට යන්තම් අවුරුදු හතරේදී අම්මා එතෙර රැකියාවකට යද්දී මා ඉල්ලා ඇත්තේ එකම එක දෙයකි. ” අම්මේ මට පොත් පෙට්ටියක් ගෙන්න ඈ ‘ කියාය. අදට ත් බඩුවක එතී ගෙදරට එන පොඩි පත්තර කෑල්ලක් පවා මගේ ඇස නොගැටී කුණු කූඩයට යන්නේ එහෙමත් දාක ය.
තුන වසරේ ඉද්දි පන්තියේ එක වාරයක හොඳම අත් අකුරු වලට පන්ති බාර ගුරුතුමී මිස් පුෂ්පා ගෙන් තෑගී ලැබුනේ කතන්දර පොතකි. එය ඉංග්රීසියෙනි. තනියෙන් කියවා තේරුම් ගන්නට තරම් පොත බර වැඩිය. ඒත් කියවිල්ල නතර නොකලෙමි.
අවුරුද්දකට දෙතුන් වරක් ඉස්කෝලේ ජිම් එකේ පොත් ප්රදර්ශනයක් වැරදුනේ නැත.ඒ හැම වරකදීම පොතක් මිලයට ගන්නට මුදලක් අම්මා ගෙන් නොවැරදීම ලැබුනේ ඇයද එකල පොත් පිස්සියක වූ නිසාය.
පුල පුලා බලා සිටි දිනය එළැබිණි. පොත් ගොඩවල් අස්සේ කරක් ගසා, උඩින් පල්ලෙන් කියවා, පිටු පෙරළා පුසුඹ ද ඉව කර අහවර අතේ ඇති මුදල ට පොතක් මිලදී ගතිමි. ලස්සන කහපාට පුළුන් බෝල වන් කුකුළු පැටියෙක් දෙන්නෙක් ඉන්නා පිට කවරයකින් හැඩවූ එහි නම…..
” සතුන් හා උන්ගේ පැටව් ” නම් විය.
බාලිකා පාසලක් වුවත් තුනේ පන්තිය තෙක් පිරිමි ළමයින් කිහිප දෙනෙක් උගත්තෝය. දිනේෂ්, ජනක, රුක්ෂාන්, සජිත්, හසාර මගේ යහළුවන්ය. මේ කියන කතාවේ කතා නායකයා හසාර ය. සිරිකුරුසයෙන් පසු ඔහු උගත්තේ කුමන පාසලක වත් දැයි කියා නොදනිමි. රටක් රාජ්ජයක් දිනා ගත්තා සේ පන්තියට පැමිණි මට පොත හවුලේ කියවමු යයි යෝජනාව හසාර ගෙනි. මාගේ පුටුව අස්සටම පුටුව ඇදගෙන ඉඳගත් ඔහුත් මාත් පිටු එකින් එක පෙරලන්නට වීමු.
“ශා….. ලස්සන පින්තූර ” 

ඒ ගෙම්බාගේ ජීවන චක්රය 

කුකුල් පැටවුන් උපදින්නේ කොහොමද? 

“අනේ හරි හුරතල් නේ “…….
ගෘහාශ්රිත හා වන සතුන් කීප දෙනෙකුට පසු,
මෙන්න ” දරුවන් බිහි වන්නේ කෙසේද ” 

ඒත් අප දෙදෙනාගේ කියවිල්ල නතර වීමක් නැත.
” ශකානු ” ඒ ඔහුය.
” නෑ ශුකානු” මා ඔහුට වඩා සිංහල දන්නා බව පෙන්වන්න ට උවමනාවක් මට විය.
කෙසේ හෝ ලොවෙත් නැති වචනයක් හදා, දිගට දිගටම කියවා කෙසේ හෝ පොත හමාර කළෙමු.
තුනේ පන්තියේදී උගත්තේ 8 වසරේ ප්රජනනය පාඩම බව අප දෙදෙනා හාන්කවිසියක් දැන උන්නේ නැත.
කෙසේ හෝ ගෙදර ආ විගස අම්මාට පොත දෝතින් පිළිගන්වා ” ලස්සනයි නෙ ” කියා ඇසුවෙමි.
අම්මා ගේ මුහුණින් බේරුණු ලැජ්ජාව අදටත් මතකය. අම්මා එයද රැගෙන කාමරයට රිංගුවාය. සතර කන් මන්ත්රණයකි. ටිකකින් අම්මා ආවේ පොත නැතුවය.
” ලොක්කි, මේ පොත අරන් තියලා ඔයා හත වසරට ගියාම කියවන්න දෙන්නම් පුතේ “
” හා අම්මි කමක් නෑ
“

ලොක්කි ඒ පොත පෙරලුවේ තුන වසරේදී බව අම්මා කිසි දිනක දැන ගත්තේ නැත. මට කියන්න හිතුනේ ද නැත.
උපුටා ගැනීම: Brenda Yvonne