සතුට අපට රිද්දන්නේ එසේය. (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අක්කා
“මලූ”
” හ්ම්”
” ඔයා ගියාද”
” හ්ම්”
” අම්ම හිටියද”
” හ්ම්”
” මාව ඇහුවද”
“හ්ම්”
” තමුසෙට මාව විහිළුවක්ද?”
” හ්ම්”
හිස්මුදුන බදාගෙන අඬන්නට හිතෙන තරම් ටොක්කක් දුන් අක්කා ඉවත ගියාය.
අක්කා අම්මා යැයි කීවේ ඇය ආදරය කළ අනුරාධ අයියාගේ අම්මාටය.
පසුගිය දාක අනුරාධ අයියාගේ ගෙදර ඇති පළාතට ගොස් දින දෙකක රාජකාරි වැඩක යෙදෙන්නට මට නියමිතව තිබුණි.
වෙනදාට මෙවන් වැඩක් යෙදුනු විට මොකක් හෝ උදල්ලක් දමා, එය කඩාකප්පල් කර මාව ගෙදර තියාගන්නට හදන අක්කා මෙය දැනගත් වෙලේ පටන් මා ඒ ගමන යවන්නට ගත් උනන්දුව විස්මිතය
මේ ඉබ්බිට මක් වෙලාද සිතමින් ඉන්නා විට හොරෙන් සීරුවේ මගේ කාමරය එන හොරෙක් මෙන් පැමිණ මගේ ඇඳ කොණක අක්කා වාඩිවෙන්නීය.
“මලූ”
“හ්ම්”
“පොඩි වැඩක් කරනවද”
“හ්ම්”
“තමුසෙ අවුට්ස්ටේෂන් ගියාම අනූ අයියගෙ අම්මත් පොඩ්ඩක් බලං එනවද”
“අනේ මේ මට නම් බෑ. මං මේ යන්නෙත් නොයා බැරි කමට”
“අනේ හොඳ මලූනෙ පොඩ්ඩක් ගිහින් එනවකෝ”
“මට බෑ ඕයි”
සතියක් තිස්සේ මං ඇගේ ඉල්ලීම ඉවත දමා ඇය අවුස්සමින් සිට ,” යන්නම්” කිව්වෙ යනදාට දින දෙකකට කලිනි.
” මං දන්නව තමුසෙ යනව කියල. මේ අක්කා තමුසෙව දන්නව”
“හා හා කයිවාරු ඕන නෑ . මං බලන්න යන්නම්”
අක්කා සකස් කර දුන් බඩු මල්ලත් රැගෙන ඔෆිස් එකේ මිතුරන් දෙදෙනෙකුත් කැටුව අනුරාධ අයියාගේ නිවසට ගියෙමි.
අනුරාධ අයියාගේ ලොකු අක්කාත් අම්මාත් අපව ආදරෙන් පිළිගෙන සංග්රහ කළහ.
අපව පිළිගන්නට නාවද අප දෙස බලමින් සිනාසෙමින් අනුරාධ අයියා බිතුසිතුවමක් වී සාලයේ සිටියේය.
මට මහත් ශෝකයක් දැනුනි.
විශ්ව විද්යාලයේදී අක්කා සමග හාද වූ අනුරාධ අයියා අපේ නිවසටද ආගිය හැටි සිහිපත් වෙයි.
ගණිතය විෂයට අති දක්ෂයෙකු වූ ඔහු අසීරු ගණිත ගැටළු පාඩම් මට කියා දුන් හැටි සිහිවෙයි.
ඒ සියල්ල අතීතයකි.
අක්කාගේත් අයියාගේත් අසීමිත ආදර ආන්දරය වෙනස් කළ නොහැකි දැඩි බැඳීමකි. දෙදෙනාම සාමාන්ය පවුල්වල අය බැවින් ඔවුන් ජීවිතය සැලසුම් කරන බව මමද නොමේරූ වියේදීත් තේරුම් ගෙන සිටියෙමි.
විශ්ව විද්යාලයෙන් ඉවත්ව දෙදෙනා රැකියා කරද්දී විවාහය සැලසුම් කරමින් ඔවුන් සිටියහ. ඔවුන් දෙදෙනාට අප සිටින ගෙය දී අම්මා පසුව හැදූ කුඩා ගෙයට යෑමට අම්මා අදහස් කළාය.
” අපි ගෙයක් හදාගන්නවා අම්මා ඊට පස්සෙ මලූට මේක දෙන්න.” අක්කා අම්මාට කීවාය.
අනුරාධ අයියා විවාහය සඳහා ඔහුගේ අක්කලා දෙදෙනාම විවාහ වනතෙක් බලා සිටියේය.
සතුට දෝරේ ගලා ගියා නම් අපේ ගෙදර එසේ වූයේ අනුරාධ අයියා අපේ ගෙදරට එන්න පටන් ගත් පසුය.
අප හතර දෙනා ආගිය ගමන් කළ කී දේවල් ගැන පොත් දහයක් ලිව්වත් අවසන් කළ නොහැකිය.
මා සිටියේ තව තවත් හුරතලෙක් බවට පත්වෙමිනි. ජීවිතය මට තාත්තා නැවත ලබාදුන් බව මම සිතුවෙමි.
එහෙත් දෛවයේ සැලසුම් පුදුමාකාරය. සතුටට ගරු කරන, සතුට බෙදන , සතුටට ආදරය කරන මිනිස්සු ළඟ සතුටට සතුටින් ඉන්නට වැඩිකල් ඉඩ නොදෙයි.
ඒ අවසනාවන්ත දින මා සිටියේ විශ්වවිද්යාලයේ මිතුරන් සමග චාරිකාවක ගොසිනි.
අනුරාධ අයියා සිය මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගි වීමට දුරබැහැරකට ගොස් සිටියේය.
ඔහු මඟුල් ගෙදරින් දිවා ආහාරය ගත් වහාම ආපසු නිවසට එන්නට පිටත් වී ඇත. මගදී අපහසුතාවක් දැනුනද ඔහු එය ගණනට නොගෙන ඔහුගේ ගෙදරට යනතෙක් ඉවසා සිට ඇත. නිවසේදී උදරයේ අපහසුබව හුස්ම ගැනීම අපහසු කරන තත්වයට ආ පසු අම්මාගෙන් ඉල්ලා ගත් අත්බෙහෙතක් බිව්වද අමාරුව වැඩිවූ බැවින් රෝහලට ගොස් ඇත. රෝහලේදී ඔහුගේ තත්වය බරපතළ බැවින් බදුල්ල මහරෝහලට යවා ඇත
මුළු මංගල උත්සවයේ හතළිස් ගණනක් මනාළයාද ඇතුළුව අහාර විෂවීමෙන් රෝහල් ගත කරන ලදී.
තිදෙනෙකුගේ තත්වය බරපතළ විය. ඒ තිදෙනා අතර අනුරාධ අයියාද විය. අනුරාධ අයියාට පපුවේ හතිය රෝගය තිබූ අයෙක් බැවින් ඔහු දිගටම ඔක්සිජන් ආධාරයෙන් හුස්ම ගත්තේය.
තත්වය වඩාත් බරපතළ වී අනුරාධ අයියා නුවර රෝහලට මාරු කර ගිලන් රථයෙන් ගෙන එද්දී අක්කාත් අම්මාත් නුවරට ගොස් සිටි අතර දඹුල්ලේ සිටි මම කෙලින්ම නුවරට ගියෙමි.
එහෙත් ගිලන් රථයෙන් අනුරාධ අයියා වෙනුවට ප්රාණය නිරුද්ධ ඔහුගේ නිසල සිරුර පැමිණියේය. මගදී ප්රාණය ඔහූ හැරගොස් තිබුණි.
රෝහලට ගෙන ආ වහාමත් වෛද්යවරුන් උපරිම උත්සහයක් ගත්තේ ඔහු රෝහල පෙනිපෙනී මියගිය බවට ගිලන් රථයේ සිටියවුන් කළ දැනුම් දීම නිසාය.
මම ඔහු බලන්නට නොගියෙමි. පියාගේ මරණය සිදුවූයේ ඒ මොහිතේ යැයි මම සිතුවෙමි. එහෙත් අක්කාගේ විළාප හඬ වාට්ටු සිසාරා පැතුරුණි.
ඇය අයියාගේ සිරුර මත වැටි වැටී හැඬූ අයුරු බල බලා මා ඈතට වී පිළිමයක් සේ උන්නෙමි.
ඒ ලස්සන අහිංසක මිනිසා මිහිදන් වන විට පස්මිටක් දැමීම පාපයක් යැයි සිතා මම එය නොකලෙමි. එහෙත් අක්කා වළට දෝතින් දිගටම පස් දැමුවාය . මල් දැමුවාය. ඉටිපන්දම් පත්තු කළාය. සුසාන භූමිය විශ්වවිද්යාල තුනක මිනිසුන්ගෙන් පිරී ඉතුරුනි.
අක්කා ඒ සැමට ආචාර කළාය.
දැන් වසර හයක් ගෙවී ඇත.
අක්කා හඬන්නේ නැත. එහෙත් ඇයට තවමත් අනුරාධ අයියා නැතුව ජීවිතයක් නැත
” මං බඳිනවා දවසක. අනූ අමතක උනාම” අක්කා ඉඳහිට කියයි
ඇගේ පැවතුම් දකින මා හිතන්නේ ඒ දවස කවදාවත් එන්නේ නැති බවය.
අක්කාට උදා නොවන ඒ දවස මට එපා යැයි සිතන්නට කියන්නට ආසා මුත් මේ සිදුවීමට පෙර දුන් පොරොන්දුවක් නිසා මට එසේ ඉන්නට වැඩිකල් නොහැකි වනු ඇත.
සතුට අපට රිද්දන්නේ එසේය.
උපුටා ගැනීම: Rathna Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!