ඔහුත් එක්ක ගත කරපු අවුරුදු ගානටම මූණ එල්ලගෙන පැත්තකට වෙලා හිටපු ඉරියව්වක් මගෙ මතකෙට එන්නෙම නෑ. තරහෙන් රතු කරගෙන ඉන්න මූණ වෙනුවට වශී වෙන හිනාවකින් පිරුණු මූණක්මයි මං හැමවෙලේම දැක්කේ. අදටත් මං කල්පනා කරනවා තාත්තා කොහොමද එහෙම හැමතිස්සෙම සතුටින් හිටියෙ කියලා.
තාත්තට පුදුමාකාර හැකියාවක් තිබ්බා දුක හිතෙන හැම සිද්ධියකින්ම සතුටු වෙන්න පුළුවන් පුංචිම පුංචි දෙයක් හොයාගන්න. ඒ වගේම කිසිම දේකට කලබල වෙන පුරුද්දක් තාත්තගෙ තිබ්බෙම නෑ.
පුංචි කාලේ තාත්තත් එක්ක එකතු වෙලා කේක් හදන්න ගිහින් ගෙදර හදපු පළවෙනිම බටර් කේක් එක මගෙ පණ්ඩිතකමට සීනි වැඩියෙන් හැලිලා අන්තිමට අවන් එකෙන් එළියට ආවෙ මහ අමුතු කළු වෙච්චි දිය වෙච්චි කෑමක්. මට බැණුම් අහන්න වෙයි කියලා අම්මා ඉස්සරහ වැරැද්ද භාරගත්ත තාත්තා අම්මා එහෙට්ට මෙහෙට්ට වෙනකම් ඉඳලා මට කියනවා,
” වෙලාවට පුතේ ඔයා අතින් සීනි වැඩි වුනේ. නැත්නම් සීනි වැඩි වුනොත් මොකද වෙන්නේ කියලා අපි දන්නෑනේ, දැන් ඉතින් මේ ගමන්ම ඒකත් දැන ගත්තනේ ” කියලා.
හතර වසරෙ ඉන්නකොට මගෙ දඟ වැඩ නිසාම ඉංග්රීසි ටීචර් මාව ක්ලාස් එකෙන් අයින් කරද්දිත් තාත්තා පොඩ්ඩක්වත් කලබල වුනේ නෑ. අම්මවත් ශේප් කරගත්ත තාත්තා ඉක්මනින්ම මට ගැලපෙන අළුත් ක්ලාස් එකකුත් හොයලා දුන්නා.
දෙදාස් අටේ , මට ඒලෙවල් වලට හරියටම මාස පහක් වගේ තියෙද්දී තාත්තට හදිසියේම මඩකලපු යන්න වෙනවා ඩියුටියකට. එහෙදි අසනීප වුනු තාත්තා කොළඹ ආවෙ පැරලයිස් වෙලා. හදිසියේම වුනු දේ ගැන අම්මයි මායි පුදුම විදියට වැටුනත් පොලිස් හොස්පිට්ල් එකේ ඇඳට වෙලා හිටපු තාත්තගෙ මූණෙන් එයාගෙ පුරුදු හිනාව පොඩ්ඩක්වත් අඩු වෙලා තිබ්බේ නෑ. ප්රතිකාරයි, තාත්තගේ උත්සාහයයි, අම්මගෙ කැපවීමයි නිසා තාත්තා හරි ඉක්මනින්ම නැඟිට්ටා. ඒ දවස් වල පැරලයිස් වෙලා හරි නිදහසේ අපිත් එක්ක ගෙදරට වෙලා ඉන්න හම්බුන කාලය ගැන තාත්තා හැමවෙලේම සතුටු වුනා.
මං පුංචි කාලෙ ඉඳන්ම තාත්තට ඕනි වුනේ දුක හිතෙන දේවල් අස්සෙනුත් හිනාවෙන්නෙ කොහොමද කියලා මට පුරුදු කරවන්න. පුංචි කාලෙදි ඒ දේවල් වල වටිනාකමක් දැනුනෙ නැති වුනත් හොස්පිට්ල් එකේ ඩියුටි කරන්න ගත්තම තමයි තාත්තා පුරුදු කරපු දේවල් වල වටිනාකම තේරුම් ගියේ.
ඊටත් සෑහෙන කාලෙකට පස්සේ මට හම්බෙනවා ලස්සන පොත් තුනක්. ඒ තමයි සතුටු වෙන සෙල්ලමක් කරන පොලියානා කියන පුංචි ගැහැණු ළමයාගෙ කතාව. අදටත් මගේ කැමතිම පොත් අතර උඩින්ම තියෙන පොත් තුන තමයි පොලියානා පොත් තුන.
වෙලාවක් හම්බෙන හැමවෙලාවෙම ඒ පොත් තුන කියවන මම ඉබේම තාත්තගෙ මතක අස්සෙ හිර වෙනවා. පොලියානාව කියවන හැමවෙලේම මට මැවෙන්නෙ පුංචි පොලියානාව නෙමෙයි මගෙ තාත්තවමයි.

උපුටා ගැනීම: බුද්ධි ජයවීර