දවසක්දා මට වයස තුනක් හතරක් වුණ කාලෙදි මාව වඩාගෙන හුරතල් කළ මගේ ඥාති සොයුරියක් වන Nalika Bandara වසර තිහකට පස්සෙ අහම්බෙන් මුහුණු පොතෙන් හමු වෙනව. කොරෝනා ලෝකයම බිලිගන්න මාස තුන හතරකට කලින් ඒ අක්කා මාව බලන්න ලාඕසයට එනවා.
අක්කා ලාඕසයට ඇවිත් මාව හමු වුණාට පස්සෙ අපි කෙලින්ම ගියේ යස්මින්ගේ ගෙදරට. ඒ යනකොට යස්මින් එයාගෙ ගමේ පාසලට ගිහින්. ඉතින් අපි යස්මින්ගේ අම්මාත් එක්ක එකතු වෙලා යස්මින්ගෙ පන්තියේ දරුවන්ට තෑගි බෝගත් අරගෙන කෙලින්ම ඉස්කෝලෙට ගියා. මුළු පාසලම එක වගේ දරුවො කැළක එකතුවක් වුණත් මුළු පාසලටම යුතුකම් ඉටුකරන්න තරම් දිග පළල අපේ පසුම්බි වල එදා තිබුණෙ නෑ.
ඇත්තටම කිව්වොත් යස්මින්ගෙ පාසල මුලින්ම මම දැක්කෙත් එදා. ඒ දරුවො නිල ඇඳුම් නොඇන්දාට ඒ වෙනුවෙන් බල කරන්න එයාලගෙ ගුරුතුමීටත් හයියක් නෑ. මොකද වසර ගණනක හිඟ පඩි එක්ක දරුවන්ට උගන්වන ඇයත් අසරණයි. ලංකාවේ මිලියන විසි දෙකක් වන පුරවැසියන්ට හැකි පමණින් අධ්යාපනය සහ සෞඛ්යය නොමිලේ සපයන්නට රජය කටයුතු කළාට මිලියන හතක ලාඕ ජනතාවට අධ්යාපනය තබා නොමිලේ පැරසිටමෝල් පෙත්තක්වත් සපයන්න රජය සමත් වෙලා නෑ..
ඉතින් එක පාරටම පන්තිය ඉස්සරහ මාව දැකපු යස්මින්ට ඇති වුණ සතුට ගැන අමුතුවෙන් ලියාදැමිය යුතු නැහැ නොවැ. එයා නැඟිටලා මට අත වනලා මුළු පන්තියම සිසාරා බැලුවේ පුදුම අභිමානයකින්. ඇත්තටම යස්මින්ටම පුදුමයි මමත් කිසිදා නොදැකපු මගේ පෙනුමැති ගැහැණියකුත් පාසලේ ඉන්නකොට.
පන්තියෙ හැම දරුවෙකුටම එදා විශේෂ දවසක්. ලැබුණ අයිස්ක්රීම් එකට , තෑගිමල්ලට වඩා ඔවුන්ගේ හිත් උතුරන්න පිරිල තිබුණා. ඒත් මට ඒ හැම දරුවෙක්ම ඒ දණ්ඩෙන් එතෙර කරන්න බෑ. අඩු තරමේ යස්මින් හරි හොඳ තැනකට ඒවිනේ කියල මම හිත හදාගත්තා.
ඔන්න ඊට මාස තුනකට හතරකට පස්සෙ වං වියං වල ඉහල පෙළේ පාසලට යස්මින්ව ගන්නත් තිප්නාකාට වං වියං හි අවන්හලක් ආරම්භ කරගන්නත් කටයුතු සැළසුණා. ආරංචිය ඇවිත් පස්සෙන්දාම යස්මින්ට මා එක්කම ෂොපින් යන්න ඕන වුණා අළුත් ඇඳුම් ගන්න. තනියම ගිහින් තමන්ගේ අවශ්ය හැමදේම තෝරගත්ත මේ දක්ෂ කෙල්ල ඇඳුම් ඇඳලා මට පෙන්වන්නත් අමතක කළේ නෑ.
ඉඳහිට නිල ඇඳුමක් ඇඳපු යස්මින් දැන් දිනපතා නිල ඇඳුමෙන් සැරසිලා එයාගෙ පුංචි බයිසිකළෙත් පැදගෙන පාසල් යනවා. ඇත්තටම ලාඕ කාන්තා පාසල් නිලඇඳුම හරිම අගෙයි. කළු රෙද්දයි සුදු කමිසෙයි.
උපුටා ගැනීම: Thilina Anupriya Ariyarathna