උදේ බෙහෙත් ටික බිව්වාට පසු කරන්නද වැඩක් නැති නිසා ඉස්සරහ හාන්සි පුටුවේ දිඟා වෙලා පත්තරයක් බලන්න ගත්ත. ටිකක් වෙලා යද්දි ඉස්සරහ ගේට්ටුව ඇරන් ළමයි තුන් දෙනෙකුයි මිස් කෙනෙකුයි ගේ පැත්තට එනව දැකල බලන් හිටියෙ මොකද කියල.
මගෙ නම වික්‍රමරත්න. ගෙදර ඉදන් කිලෝ මීටර් පහලවක් වගේ දුර තියන ටවුමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉදල පැන්ශන් අරන් අවුරුදු දොලහක් වගේ. දැන් හැත්තෑ දෙකකුත් උනා. අන්තිමට මම හිටපු ඉස්කෝලෙට නිකමට යද්දි මගෙ සමකාලීනයන් කවුරුත් නෑ. ගොඩක් අය විශ්‍රාම ගිහින්. සොදුරු මතකයන් විතරක් ඉතිරි වෙලා තිබ්බ. මම හිටවපු අඹ ගස් වල ගෙඩි පිරිල තිබ්බ. ගොඩක් ගස්වැල් ඵල දරල. ඇත්තටම ඒක මගේ සිතට ලොකු සතුටක් උනා.
ඉතිං මේ දරුවන් ඇවිත් මට වැඳල පස්සට වෙද්දී ඔවුන් ඇවිත් තිබුනේ මගෙ ඉස්කෝලෙන් කියල බැජ් එකෙන් අඳුන ගත්ත. පස්සෙ අර ගුරුතුමිය කතා කලා.
“සර්.. ගුඩ් මෝනින්. අපි ආවෙ සර්ගෙ ඉස්කෝලේ ඉඳල. අපේ ආට් ඩේ එකට ආරාධිතයෙක් විදියට සර්ට ආරාධනා කරන්න ආවෙ සර්.”
“වාඩි වෙන්න දරුවනේ” කියා ඒ දරුවන් සමඟ කතා කර ඔවුන්ට තේ සංග්‍රහයක්ද සිදු කලෙමි. ඒ අතර තුර ඔවුන් මට කියා සිටියේ ආට් ඩේ එක මෙවර ඉතා උත්කර්ෂවත් අන්දමින් කරන බවත් මෙවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුගේ දරුවෙක් ආර්ට් පංතියේ සිටින නිසා ඔහුගේ ප්‍රමුඛත්වය ලැබෙන බවත් සඳහන් කරද්දී මට නිරායාසයෙන් මද සිනාවක් පහල විය.
ඔවුන් මට කියා සිටියේ එදින දහවල වන විට උත්සවය පටන් ගන්නා බැවින් මගෙ කියා වාහනයක් නොතිබූ නිසා ටැක්සියකින් පැමිණෙන ලෙසත් එහි බර පැන ඔවුන් දරන බවත් දිවා ආහාරය ඔවුන් සකසන බවත් ඒ නිසා ආහාරය ලබා ගැනීමටද පැමිණෙන ලෙද දන්වා සිටින ලදී
පසුව ඔවුන් මට වැඳ පිටව ගිය අතර මගේ මේ විශ්‍රාම අවුරුදු දොලහට පාසලේ ආට් ඩේ එකකට ආරාධනා කල තෙවන වතාව විය. කෝකටත් මම අමතක වේ යැයි සිතා දිනය කැලැන්ඩරේද මාක් කලෙමි.
උත්සව දිනය උදා විය. මා සුදු ජාතික ඇඳුම හැද මගේ හිතවත් දරුවෙක් මාර්ගයෙන් කුලියට කුඩා කාරයක් කතා කරවාගෙන දිවා ආහාරය නොගෙනම තනිවම පාසල වෙත ගියෙමි. යද්දි පාසලේ ප්‍රධාන දොරටුව ලොකු තොරණකින් හැඩ වෙලාය. ප්‍රසිද්ධ දේශපාලකයෙකුගේ රුවක් ඒ මැද විය. ඔහු ගෞරවනීය ලෙස පිළිගැනීමට සූදානම් බවක්ද පෙනුනි.
මම ටැක්සියෙන් බැස මදක් වට පිට බැළුවේ කවුරුත් දන්න කියන පුද්ගලයෙක් සිටීද කියාය. එලෙස දන්නා කියන පුද්ගලයෙක් හෝ එදා මගේ නිවසට පැමිණි සිව් දෙනාගෙන් කවුරුත් පෙනෙන ඉසව්වක නොවීය. මා කුලී රථයේ මුදල් ගෙවා සෙමින් පාසලේ ප්‍රධාන ශාලාවට පිය නැඟුවෙමි.
අනූව දශකයේ මුල මා මේ විදුහලට පැමිණෙන විට මෙය සාමාන්‍ය මට්ටමේ පාසලක් විය. මා විදුහල්පති ලෙස වැඩ භාර ගත් දා මම දැඩි ස්ථාවරයක සිටියේ මේ විදුහල ඉතා දියුණු තත්ත්වයට පත් කරන බවටය. ඇත්තටම මම විශ්‍රාම යන දිනය වන විට පාසලට බස් රථයක් පවා ලබා දීමට මට හැකි විය. පාසල සෑම ඉසව්වකින්ම පළාතේ ඉහලට ගැනීමට මා ප්රමුඛ ගුරු මණ්ඩලයට හැකි විය.
මා දැන් ප්‍රධාන ශාලාව දෙසට පා නගමින් යද්දි සිසු දරුවන් කඩියන් මෙන් ඔවුන්ගේ වැඩ වලය. කිසිම කෙනෙක් මගෙ දෙස බැළුවත් කතා කලේවත් නැත. මා දන්න පුද්ගලයෙක් වත් සිටියේද නැත.
දැරියන් මේකප් දාගෙ හිනා වෙවී සිටියි. පෙලක් අය කරවල් වලට අත් දමාගෙන සෙල්ෆි ගසයි. පිරිමි ළමුන් පිටිපස්සෙන් ගොස් කෙල්ලන්ට විහිළු කරයි. පෙලක් අය ඒවා මේවා උස්සන් යයි.
මම ප්‍රධාන ශාලාවට ගියෙමි. කිසි කෙනෙක් මගෙ දිහා බැළුවේ වත් නැත. පසුව ළමයෙක්ගෙන් විදුහල්පති කො කියා ඇසූ විට උදේ නම් ආවා ප්‍රින්සිපල් සර්, දැන් ආයෙ එන්නේ උත්සවයට තමා කියා කීවේය. ඒ දරුවාගෙන් පුටුවක් ඉල්ලන් වාඩි වී සිටියෙමි. වෙහෙස නිවුන පසු නැවත ගුරුවරයෙක් සොයා ගොස් කාරණාව කිව්ව පසු හරි සර් ප්‍රධාන ශාලාවෙන් වාඩි වෙන්න. මම ටිකකින් එන්නම් කියා පමණක් කීවේය. ඒ එනව කිව්ව ගුරුවරයා කාර්ය බහුලව සිටි අතර ඔහු පැමිණියේ නැත. සමහරවිට ඔහුට මා අමතක වෙන්න ඇත.
ටික වේලාවකින් උත්සවය පටන් ගැනීමට සූදානම් වන බවක් පෙනුන නිසා මට ඇත්තටම එවෙලේ බඩගින්නක් තිබූ බැවින් මම ඇවිද ගොස් කෑම සම්බන්ධයෙන් විමසා බැළුවෙමි. මට ආහාර සූදානම් කර තිබූ කාමරයක් පෙන්වූ අතර එතනට යද්දි තරුණ ගුරුවරුන් පිරිසක් කෑම ගනිමින් සිටියහ. මට එතනට යාමට ලැජ්ජාවක් වගේ ආවේ මා දන්න කිසිවෙකු පෙනෙන්නටද නැත. තරුණ ගුරුවරුන් ගණනාවක් මැද මා ආහාරය සඳහා වාඩි වුවහොත් මම අසරණ වනු ඇතැයි හැගීමක් ආවේය.
මම හිමින් හිමින් නැවත ප්‍රධන ශාලාවේ අසුන් ගත්තෙමි. අර ප්‍රසිද්ධ දේශපාලකයෙකයා පැමිණි අතර ඔහුව ඉතාම ඉහලින් පිළිගැනින. ඔහුට විශේෂ ආසනයක් පවා පිලියෙල කර තිබූ අතර. පසුව මගේ සමකාලීනයන් කීප දෙනෙකු පැමිණෙනු දුටුවෙමි. ඔවුන් වෙන වෙන තැන්වල වාඩි වූ නිසා ඔවුන් පසුව හමුවෙමියි සිතා මම බඩගින්නේම උත්සවය රස වින්දෙම්. කෑම කා බෙහෙත් බොන්න තිබෙන නිසා මම දහවල් එක හමාර පමණ වන විට නැවත නිවසට ඒමට පැමිණීමට නැගිට එද්දී මගේ සමකාලීනයන් මා දැක කතා කලේය. ඔවුන් මගේ සැප දුක් විමසා ඔවුන්ද නිහඩ විය. අධික පිරිසක් සිටි නිසා වර්තමාන ප්‍රින්සිපල්ද මා දුටු බවක් පෙනුනේද නැත.
මා සෙමින් සෙමින් එළියට පැමිණ පාරට ගොස් ත්‍රීරෝද රථයක නැගී නිවසට ආවෙමි. කාලය වෙනස් වී ඇත. පරම්පරාව දෙකක තුනක වෙනසකි. අැත්තටම ලොකු වෙනසක් සිදුවී ඇත. මේ උත්සවය සංවිධානය කර ඇති අයගේ දෝශයක්ද, වයසක මාව ඔවුන්ට කරදරයක්ද, මට ආරාධනා කලේ කවුරුන්ද, ඔවුනට මට ආරාධනා කිරීමට පැවසුවේ කවුද. මම කල්පනා කලෙමි. මේ සම්බන්ධයෙන් කිසිවක් කිසිවෙකුට මා පැවසුවේ නැත. සියල්ල මම සිතින් දරා නිහඬ උනෙමි.
උපුටා ගැනීම: Gayan Widuranga Somarathna