මීට අවුරුදු පහලොවකට විතර කලින් දවසක්. මං හිටියෙ රෝගීන් ඇතුලත් කරගන්නා ස්ථානයේ රාත්රී රාජකාරියේ.
රෑ නවයට විතර දරුවා ලැබීමට ආසන්න ගැබිණි මවක් එක්ක ආවා රෝහලට. ඈ අමාරුවෙන් සිටියේ. ඇය සෙබල බිරිදක්. සැමියා දුරක රාජකාරි කරන්නේ. ගෙදර තනිවමයි සිට ඇත්තේ. ඇයට අමාරුවීම නිසා යාබද නිවසේ අය ඇයව රෝහලට ගෙනැවිත්. ඉක්මනින් ඇයව ඇතුලත් කෙරුණා.
ඇයව රෝද පුටුවක තබාගෙන ගැබිණි වාට්ටුවට ගෙනගියේ මමයි. ඒ යන අතර ඈ මගේ අතින් අල්ලා ගත්තා. “අනේ නංගී මට බයයි. මාව බේරගන්න” ඈ මට කීවා. මින් පෙර එවන් අත්දැකීමක් නැති යොවුන් වියේ සිටි මාද සිටියේ බියවී. ඒත් මං කොහොමද ඒ බිය ඇයට පෙන්වන්නේ. “බය වෙන්න එපා අක්කේ. දැන් ඔයා හොස්පිට්ල් එකේනෙ ඉන්නෙ. ඔයාට මුකුත්ම වෙන්නෑ” ඒ කදුළු පිරුණු ඇස් දිහා බලල මං කිව්වා. බුදු සරණින් අනතුරක් නොවෙන්නයි හදවතින්ම පැතුවා. මේ වගේ මොහොතක බිරිදකට තම සැමියා ලග නැති වීම කොයිතරම් වේදනාවක්දැයි මට සිතුනා.
මේ සිදුවීම මගේ හදවත බොහෝ සසල කලා. මේ වගේ දරුවන්ද සමග ජීවිතයට තනිවම මුහුණ දෙන සෙබල බිරින්දන් කොතෙක් ඇද්ද. විශේෂයෙන්ම යුද්ධය තිබුනු කාලෙ ආයෙම ඒ මූණ දකින්නවත් පුලුවන් වෙවිද නොදැන. තරුණ කාලෙම වැන්දඹු වීමට සිදුවූ අය කොතෙක් ඇද්ද?
මට අද මෙය සිහිවන්න හේතුවක් තියෙනවා. අද මං කතා කලා නංගි කෙනෙකුට. එයාගෙ මහත්තයා නේවි එකේ.
” එයා දැන් සෑහෙන කාලෙකින් ගෙදර ආවෙ නෑ අක්කේ. කොරෝනා නිසා වැඩ වැඩීලු. අනික එයාටත් හැදුනා. එයා බයයි අපිටත් බෝ වේවි කියලා. ඉතිං එන්න පුලුවන් උනත් එයා එන්නෑ අක්කේ” ඒ නංගි එහෙම කිව්වා.
මේක තවත් යුද්ධයක් නේද කියලා මට හිතුනා. මේ යුද්ධයේදී සතුරා අපේ ගෙයි දොරකඩටම ඇවිත්.
උපුටා ගැනීම: Adhithi Jayasekara