සිකුරිටි ගාඩ් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ගුඩ්මෝනිං මිස්ලා දෙන්නටම​!” සුභානියි, නිරූපයි ගේට්ටුවෙන් ඇතුලුවෙනකොටම අලුත් සිකුරිටි ගාඩ් දෙන්නව පිලිගත්තා.
නිරූපා ‘මෝනිං!’ කීවේ ඕනෑවට එපාවට. කියන්නන් වාලේ වගේ.
ඒකට සුභානි…..
“ගුඩ්මෝනිං ලසන්ත​! කොහොමද?”
අනෙ අම්මේ සිරික්කිය​!නිරූපාට තරහේ බෑ.
‘මේ සුභානිලා වගේ අය හින්දා තමයි මේ මිනිස්සු අපිටත් හරියට රෙස්පෙක්ට් නොකරන්නේ!’නිරූපා හිතුවේ තරහින්.
“ඇයි අනේ ඕකුන්ව කරට ගන්නේ?”නිරූපා ඇහුවේ ඔෆිස් එකට ඇවිදින අතරේ.
“කවුද අනේ කරට ගත්තේ? මනුස්ස කමට මිනිහෙක් එක්ක කතා කලාට මක් වෙනවද​?”සුභානිත් කියපි.
“මනුස්ස කමට කියලා කට කපලා හිනාවෙන්න ඕනෙද? අපි දැනගන්න ඕනෙ අපේ තත්වෙ තියාගන්න​.”නිරූපාත් එකට එක කිව්වා.
“අපි ‘ගුඩ්මෝනිං’ කියන්නේ මිනිහෙකුට ආචාර කරන්න විතරක් නෙමේනෙ, ඒ සුබ පැතීමක්. ඒක හදවතින්ම කරන්න ඕන දෙයක්. මිනිහෙක් එක්ක හිනාවුනා, කතාකලා කියලා අපේ ඇඟෙන් කෑල්ලක් අඩුවෙන්නෙ නෑනේ!”සුභානිත් ඇරියේ නෑ.
“අනික මේ සංනිවේදනය ඔෆිස් එකක වාතාවරණය ධනාත්මක විදිහට වැඩි දියුණු කරන්න උපකාර වෙනවා.”සාමාන්යයෙන් කතා කරන කොටත් සුභානි වෙලාවකට බර බර වචන පාවිච්චි කරනවා.නිරූපාට තවත් තරහයි!
අලුත් සිකුරිටි ගාඩ් මුල ඉඳලම නිරූපාගේ හිතට ඇල්ලුවේ නෑ. ඒකට පළවෙනිම හේතුව සිකුරිටි ගාඩ්ගේ ඇගෑලුම් කතා විලාසය​.
“කතා කරන්නෙ නිකං හැමෝම උන්දැගෙ ගානට තියාගෙන​. එයා මෙතන සිකුරිටි ගාඩ්!එයා දැනගන්න ඕනේ තමාගෙ තත්වෙ මොකක්ද කියලා.”නිරූපා ඔෆිස් එකේ අනිත් අය එක්කත් කියෙව්වා.
කොහොම කොහොම හරි අලුත් සිකුරිටි ගාඩ් එක්ක නිරූපාට හොඳටම තරහ ගියේ වැරදීමකින් නිරූපාගේ පෑනක් බිම වැටුනු වෙලාවෙ.
එදත් සිකුරිටි ගාඩ්ගෙ සුපුරුදු සුභාශිංසනය එක්ක සුභානියි, නිරූපයි ගේට්ටුවෙන් ඇතුලුවුනා. ගියේ අඩි කීපයයි.’ ස්ස්ස්ස්’ කියනවා ඇහුනා. හැරිලා බලනකොට අලුත් සිකුරිටි ගාඩ්.
“ඇයි ලසන්ත​?” එහෙම ඇහුවෙ සුභානි.
“මේ නිරූප මිස්ගෙ පෑන නේද?”
නොනැවතී ඉදිරියට ගිය නිරූපා ඉද්ද ගැහුවා වගේ නැවතුනා.
“ආ ඔව්!”නිරූපා ඇහෙන නෑහෙන ගානට කීවා.
“ඔන්න අල්ල ගන්න​.” සිකුරිටි ගාඩ් එතන ඉඳන්ම පෑන නිරූපා ලඟට වීසි කලා.
පෑන අල්ල ගත්තට නිරූපාට හොඳටම තරහ ගියා.නිරූපා ඔෆිස් එකට ඇතුලු වුනේ පුපුර පුපුර​.
“දැක්කද දැක්කද ඔයා වගේ අයගේ බුරුල හින් දා තමා උන් අපේ ඔලුවට අත හෝදන්න එන්නේ!”ඇය දත්මිටි කෑවා.
“ඕක ඔච්චර තරහා යන්න තරං දෙයක්ද? ලසන්තත් අපේ වයසෙ වගේ. ඔය කට්ටියට ඔයා කියන ‘ගැප්’ එක පේන්නෙ නෑ.” සුභානි නිරූපගේ කේන්තිය අඩු කරන්න උත්සාහ කලා.
නිරූපා බැලුවා බැලිල්ලක් නිකං සුභානිව අලු කරන්න වගේ.
“ඉගන ගන්නෙ නැතුව රස්තියාදු ගහනවා. අන්තිමට ඉතිං සිකුරිටි තමා.අටවත් පාස් නැතුව ඇති. අන් එඩියුකකේටඩ් ස්ටුපිඩ්ස්!”නිරූපාගේ වචන ඊතල වගේ.
” ඔයාත් හරියට ඒ ලෙවල් පාස් වුනේ නෑ නේද?”සුභානිට අහන්න හිතුනත් සුභානි දිව හපාගෙන නිහඬ වුනා.
අනික, බොස්ගේ යාලුවෙක් එක්ක නිරූපාගේ තාත්තාගේ තියන ඇඳුනුම් කමට ආවා මිසක් නිරූපාත් මේ රස්සාවට සුදුසුකම් ඇතිව ආවා නෙමෙයි. අනේ හැබෑට මෙයැයිට මේවා අමතක හැටි!සුභානි තනියම කල්පනා කලා.
ඊළඟ සිද්දිය වුනේ වැස්ස දවසක​.
සුභානියි, නිරූපයි වෑන් එකෙන් බහිනකොටම මහා වැස්සක් කඩා පාත් වුණා. මෙන්න ඒ වෙලාවෙම අලි කුඩේකුත් උස්සගෙන අලුත් සිකුරිටි ගාඩ් එතනින් යනවා.
“ගුඩ්මෝනිං මිස්ලා දෙන්නටම​!එන්න කුඩේ යටට​!” අලුත් සිකුරිටි ගාඩ් කීවේ බොහොම සාමාන්ය දෙයක් වගේ.
කියන පරක්කුවෙන් සුභානි දිව්වේ නැද්ද කුඩේ යටට​. නිරූපා ගස්සගෙන වැස්සේම ගියා. සුභානි අලුත් සිකුරිටි ගාඩ් එක්ක අලුත බැන්ද ජෝඩුව වගේ ඔමරි කර කරා කුඩේ යටින් එනවා.
නිරූපා නිකං තෙමිච්ච කිකිළියෙක් වගේ. ඒ මදිවට උදේ උලපු සායං මූණ දිගේ බේරෙනවා.
“අනේ ඇත්තට ඔයාට ලැජ්ජ නැද්ද සිකුරිටි කෙනෙක් එක්ක එක කුඩේ යටිං යන්න​?” ඔලුවෙ යන්තමට ඉහිරුණ වැහිබිඳු ලේන්සුවෙන් තෙත මාත්තු කරන සුභානිව දැකලා නිරූපා කඩන් පැන්නා.
මේ සැරේ සුභානි මොකුත් කියන්න ගියේ නෑ. නිරූපාගේ වගේ පුහු ඉස්ගෙඩිවල ආකල්ප වෙනස් කරන්න බැරි බව ඒ වෙනකොට සුභානි තේරුම් අරන් තිබුනේ.
“හේයි සුභානි මිස් මම ඔයාව ඊයේ නාවල හන්දියේ දැක්කා!” එදා සුභානියි, නිරූපයි ගේට්ටුවෙන් ඇතුලුවෙනකොටම ‘ගුඩ්මෝනිං’ වත් නොකියා අලුත් සිකුරිටි ගාඩ් කීවේ කට කණේ තියාගෙන​.
“ආනේ ඇත්තද ලසන්ත! ඉතිං ඇයි කතා නොකලේ?” සුභානිත් ඒ ගානටම හිනාව​.
නිරූපා ටිකක් ඈතට වෙලා පුපුර පුපුර සුභානි එනකල් බලං හිටියා.
“මම බස් එකේ හිටියෙ මිස්. මිස් කොහෙද ගියේ?”
“ඕපන් යුනිවර්සිටි ගියා ලසන්ත. මම ඩිග්රියක් කරනවා.”
“ඒක හොඳයි මිස්! ඉගන ගත්තොත් ගොඩ!”අලුත් සිකුරිටි ගාඩ් බැරෑරුං හඬින් කියනවා.
නිරූපාගේ මූණේ සමච්චල් හිනාවක් පැතිරෙන හැටි සුභානි දැක්කා. ‘අට පාස් නැති එකාගෙ පොරටෝක්!නිරූපාට හිතෙනවා ඇති!
නිරූපාගේ සමච්චල් හිනාව මග ඇරලා සුභානි තව ටිකක් වෙලා එතන රැඳුනා.
“ඉතිං ලසන්ත මොනවද කරන්නෙ?”
“ඉන්ජිනියරිං ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් මිස්! කොහෙද මේ යුනිවර්සිටි ඇරලා තියනවාට වඩා වහලනේ.මේ දවස්වල ගෙදර​. ඩැනී අන්කල්ගේ ඔෆිස් එකේ සිකුරිටි ගාඩ් සති තුනකට නිවාඩු ගියා කීවා.අන්කල්ට වැඳල වගේ රස්සාව ඉල්ල ගත්තේ වෙනසකටත් එක්ක.අනික ඉතිං මට ‘පොකට් මනී’ත් ලැබෙනවනේ.”අලුත් සිකුරිටි ගාඩ් කියාගෙන කියාගෙන යනවා.
නිරූපාගේ කට එක පාරට ඇරෙන හැටි සුභානි යාන්තමට දැක්කා.
පින්තූරය අන්තර්ජාලයෙනි!
උපුටා ගැනීම: Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!