යාන්තමට අැස් පියවෙද්දි ම ඇහුණ සීබාගේ කෑ ගැහිල්ලට බයේ නින්ද ආයෙම අතුරුදහන් වෙලා ගියා.වෙලාව රෑ එකළොහටත් කිට්ටුයි.කොහොමත් සිරිමෙවන් මාමා එක්ක සීබා නිදාගද්දී ඒ වෙලාව පහු වෙනවා ඇති.
පැයක් දෙකක්, නෑ ඊටත් වැඩි වෙලාවක් සීබා කෑ ගැහුවා.එ් කෑ ගැහිල්ල කලින් තරම් තීව්ර නැතත් මහ අමුත්තක් ඒ හඩේ තියෙනවා කියලයි මට හිතුණේ.එක්කො මං වෙනදට වඩා උවමනාවෙන් ඒ හඬට ඇහුම්කන් දෙනවා වෙන්න ඇති.ඒ ගැන හිතන්න වෙලාවක් ඉතිරි නොකරම නිදි දෙව්දුව මගේ දෙනෙත් ආක්රමණය කළා.
සිරිමෙවන් මාමා හොද අසල්වැසියෙක් වුණාට අපිත් එක්කවත් ගමේ වෙන කා එක්කවත් වැඩි කතා බහක් තිබුණේ නෑ.එක කොල්ලෙක් එක්ක තමයි ටික්ක ඇයි හොදයිකම් තියාගත්තෙ.ඒ කොල්ලා රස්තියාදුකාරයෙක්.මට යාන්තමට මතකයි මං පුංචි සන්ධියේ එහේ නැන්දා කෙනෙක් හිටියා.නම තිලකා.උන්දැ මළාට පස්සේ ඒ ගෙදර හිටියෙ සිරිමෙවන් මාමා විතරයි.
“ඒකීට දරුවො හදන්න බෑලුනේ”
“පුලුවන් වෙයිද ඉතිං. තවත් ගෑනීයෙකුගෙ මිනිහෙක් බැදගත්තාම.පව් අර දරුවො දෙන්නා”
ඒ දවස්වල ගමේ කතා උනේ ඒ ගැන.සිරිමෙවන් මාමා ඈත ගමක කෙනෙක්. කසාදයක් බැදලා දරුවො දෙන්නෙක් ඉන්නැද්දි තමයි තිලකා නැන්දා කැන්දාන මෙහේ ඇවිත් තියෙන්නෙ.කොහොම හරි මේ දෙන්නට ළමයි නෑ.ඒකට ගමේ අය නම් කිව්වෙ අනුන්ට දුන්න ගින්දර ඒ දෙන්නට පත්තු උණා කියලා.
ගින්දර පත්තු උණා කිව්වට මොකද පුංචි සංධියේ මගෙ මතකේ හරි නම් සිරිමෙවන් මාමා තිලකා නැන්දා එක්ක හිටියෙ හරිම සතුටින්.ගමේ කා එක්කවත් වැඩි ආශ්රයක් නොතිබුණාට කාගෙන්වත් වචනයක් අහන්නැතුව සාමකාමීව ජීවත් උණා.
ඒත් තිලකා නැන්දා මළායින් පස්සෙ සිරිමෙවන් මාමා ඒ ගෙදර තනි වුණා. කාත් කවුරුත් නැති ලෝකේක තනිවෙන එක ඇත්තටම ගින්දරක් තමයි.දැන් අවුරුදු විස්සකටත් වැඩියි.සිරිමෙවන් මාමා ගෙදරින් එළි බැස්සෙ, කඩේකට යන්නයි හදිස්සියෙ දවසක තියෙන සමෘද්ධි බැංකුවට යන්නයි විතරයි වෙන්න ඇති.අනිත් හැම දවසකම උදැල්ලක් අරන් වත්ත කොටන එකයි වත්තට එන බල්ලො එළවන එකයි තමයි උන්දැගෙ රාජකාරිය.
පුදුමෙ කියන්නෙ බල්ලෙක් වත්ත මායිමේ හිටියත් ගහලා එලවන සිරිමෙවන් මාමා සීබාට නම් සළකන්නෙ තමන්ගෙම දරුවෙක්ට වගේ.
සීබාව සිරිමෙවන් මාමාට ගෙන්ත් දුන්නෙ දුමා.සිරිමෙවන් මාමා ආශ්රය කරපු එකම හිතවතා.දුමා කියන්නෙ ගමේ අයට අනුව නම් රස්තියාදුකාරයෙක්.කොණ්ඩෙ වවාගෙන චණ්ඩියෙක් වගේ ඉන්න දුමා දවසකට සිගරට් දෙක තුනක්ම බොනවලු.ගමේ මිනිස්සු තමයි කියන්නෙ.දුමාගේ කලු ගැහිච්ච තොල් දැක්කාම කාට උණත් එහෙම හිතෙනවා ඇති.ඒත් උපන් දා ඉදලා මේ ගමේම අවුරුදු විසි පහක් උන්න මම කවදාවත් දැකලා නෑ දුමා සිගරට් බොනවා.එක අතකට ඔහුට මට නොපෙනි සිගරට් බොන්න කොච්චර නම් අවස්ථාව තියෙනවද.
දුමයි සිරිමෙවන් මාමයි අතර කිසිම නෑ කමක් නෑ.ඒත් හැමදාම දුමා සිරිමෙවන් මාමාව බලන්න අැවිත් කන්න බොන්න එහෙමත් දෙනවා කියලා දවසක් සිරිමෙවන් මාමා මං අතින් කිව්වෙ දුමා අසනීප වෙලා හොස්පිට්ල් ඉද්දි.
ඊට පස්සෙ දවසක තමයි දුමා සිරිමෙවන් මාමට පොඩි බලුපැටියෙක් ගෙනත් දුන්නෙ.බල්ලො පේන්න බැරි සිරිමෙවන් මාමා එකහෙලාම බලුපැටියව ප්රතික්ෂේප කරලා.පස්සෙ,
“මං ඇවිත් ගන්නකන් දවස් දෙක තුනකට මූව බලාගන්න”
කියලා කොහොම හරි සිරිමෙවන් මාමලගෙ ගෙදර බලු පැටියාව නතර කරන්න දුමාට පුලුවන් උණා. සිරිමෙවන් මාමාගෙ නමට එන අකුරින්ම සීබා කියලා බලු පැටියගෙ නම තියපු දුමා සිරිමෙවන් මාමාගෙ තනිකම නැති කරන්න දක්ෂ උණේ එහෙම.
“සුදු නැගිටිනවා. තව නිදි .ආන් සිරිමෙවන් මාමා මැරිලලු”
උදෙන්ම අම්මගෙ කතාවට එහෙම්ම ඇස් ඇරපු මට මුලින්ම මැවිලා පෙනුණේ සීබාව.
“එහෙනම් ඊයේ රෑ සීබා කෑ ගැහුවෙ නිකන් නෙමෙයි “
මට සීබාගේ මූණ මැවිලා පෙනුණා.දරුවෙක් නැති ගෙදරක ළමයෙක් වගේ හැදුණ නිසාද මන්ද සීබාගේ මූණේ හැම වෙලාවෙම හිනාවක් තිබ්බා.මම ඉක්මනට මූණ ඩිංගක් හෝදගෙන එහෙ යද්දිමුත් දුමා තව කොල්ලො ටිකකුත් එක්ක හරි හරියට වැඩ.සීබා දොරකඩේම බිම දිගාවෙලා හොම්බ බිම තියන් හිටියෙ වෙච්ච නස්පැත්තිය තේරුම් අරන් වගේ.
දවල් වෙද්දි ගමේ මිනිස්සු මළ ගෙදරට ආවත් ඒ වෙද්දි කාටවත් කරන්න කිසිම වැඩක් දුමා අැතුළු පිරිස ඉතිරි කරලා තිබ්බෙ නෑ.
“මුන්ට අම්මලා අප්පලා නැද්ද ඇත්තට කොණ්ඩ වවාගෙන ඉන්න හැටි”
” කවුරුත් කැමති නැති සිරිමෙවන්ට ලං වෙලා බොරු හිතවත්කම් දාන්න ඇත්තෙ මිනිහ මළාම මේ ගේ අයිතිකරගන්න වෙන්න ඇති”
“නැත්තම් ඒකට තමයි.අපි දන්නැද්ද ඔය රස්තියාදුකාරයන්ගෙ හැටි”
කසුකුසුව හැම තැනම.මට ඇහෙනවනම් දුමාටත් මේවා ඇහෙනවා ඇති.ඒත් කිසිම වෙනසක් නැතුව දුමා සියලු වැඩ අවසන් කළා. සිරිමෙවන් මාමා කනත්තට අරන් ගියෙත් දුමා එයාගේ යාලුවෝ එක්ක.ඒ පස්සෙන්ම සීබා ගියේ යාන්තමට කෙඳිරි ගාගෙන.ඒ ඇස්වල කඳුලු බිංදු දිළිසුණා.
කනත්තට ගිය මිනිස්සු ආපහු හැරිලා එද්දි සීබා හිටියෙ සිරිමෙවන් මාමාගෙ වල උඩ නිදාගෙන.දුමා සීබාව උස්සගෙන ආවේ ඌ උඩු බුරද්දිමයි.
එදා ඉදන් සිරිමෙවන් මාමලගේ ගෙදර හිස් උණා. ගමේ මිනිස්සු කිව්ව විදිහට දුමා ඇවිත් ගේ අයිති කරගත්තෙ නෑ.මලගෙදරින් පස්සෙ දුමා ඒ පැත්තට අාවෙම නෑ.සීබත් නෑ.ඌ දුමා ළඟ නතර වෙන්න ඇති.
ඒත් ඒක එහෙම වෙලා නෑ.දුමා සීබාව ගෙදර අරන් ගියත් ඌ එහෙ ඉදලා නෑ. දුමත් වැඩ අස්සෙ සීබා ගැන හොයලත් නෑ.හදිස්සියෙ සිරිමෙවන් මාමාලගෙ ගේ ඉස්සරහට ආව දුමා සිබා ගෙ නම කියලා කෑ ගහද්දි තමයි අපිත් ඒ පැත්තට ගියේ.
“මොකද දුමෝ.සීබව මෙහෙ හොයන්නෙ”
“ඇයි ඌ මෙහෙ නෙමෙයිද ඉන්නෙ”
“ඉන්නවා නම් පේන්න එපැයි බං.මාමා මළායින් පස්සෙ ඒ ගෙදරට නම් සීබා ආවේ නෑ”
ටිකක් වෙලා කල්පනා කරපු දුමා ආවට වඩා වේගෙන් ගියෙ කනත්ත පැත්තට.මමත් බයික් එක අරන් ඒ පැත්තට ගියේ සීබාව හොයාගන්න උදව්වක් දෙන්න.
දුමාගේ අනුමානේ හරි.සීබා හිටියෙ සිරිමෙවන් මාමා වලදාපු තැන නිදාගෙන.
ඔව් සීබා සිරිමෙවන් මාමා ළඟම සඳහටම ඇස් පියාගෙන.
පළවෙනි පාරට මං දැක්කා දුමාගේ ඇස්වලින් කදුලු වැලක් වැටෙනවා.
“මගේ වැරැද්ද.මට බැරි උණා සීබාව බලාගන්න”
එහෙම කියපු දුමා ළඟ ගෙදරකින් උදැල්ලක් ඉල්ලාන ඇවිත් සිරිමෙවන් මාමගේ වල ළඟින්ම වලක් කපලා සීබාව වැළලුවා.
කාත් කවුරුත් නැති සිරිමෙවන් මාමගේ තනිය මකපු සීබා උන්දැ මළාටවත් තනි කළේ නෑ.
නිමි.
උපුටා ගැනීම: Hirusha Wijerathna