සීයගෙ කඩේ.. (රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සේරම එකම වහලක් යටන් ගන්න පුලුවන් නිසා ගෙදරයනගමන් ෆුඩ් සිටියට ගිහිං සේරම බඩු ගත්තට මොකද එතන බිත්තර තිබුනෙ නෑ. වෙලාවෙ හැටියට ඇරල තිබුනු කඩේකට ගියේ ඇත්තටම ගෙදරයන්නත් ටිකක් පරක්කු වෙලා වුනත් ඒවා ගෙනියන්නම ඕනම නිසා.
කඩේ හිටියෙ සීය කෙනෙක්. මං යද්දි කලින් බඩු ගත්තු එකාට ඉතුරු සල්ලි දිදී හිටියෙ. ඒ නිසා ඒ ගණුදෙනුව ඉවරයි කියල හිතුනු නිසා මං ඇහුව “සීයෙ බිත්තර තියෙනවද” කියල. මං කිව්ව එක කනකටවත් ගන්නැතුව සීයා අර මනුස්සයට හිනාවෙලා “හරි මහත්තය” කියල හෙමීට පුටුවෙන් වාඩිවෙද්දි ඒ මනුස්සය කඩෙන් එළියටත් ගිහිං තව මීටර් 20ක් විතරත් ගිහිං. එහෙම වාඩි වෙනගමන් හෙමීට “තියෙනවා” කිව්වෙ මටද කියල දැනගන්න කෝකටත් මට වටපිට බැලුන. කඩේ වෙන කවුරුවත් හිටියෙ නෑ. මටනෙ. යකෝ මං ඒක අහලත් විනාඩි 5ක් විතර. දැන් තමයි උත්තරේ හම්බවුනේ. මට හෙන හැපි. “ආ එහෙනං සීයේ මට බිත්තර 10ක් දෙන්නකො” කියල කිව්වා.
ටික වෙලාවක් සද්ද නැතුව හිටපු සීයා දිහා අහිංසක විදියට බලාගෙන හිටපු මං කියපු එක ඇහෙන්නැතුව ඇති කියල හිතලා ආයිත් “සී….” කියනකොටම මෙන්න මේකා නැඟිට්ටා. ඔව් ඔව් මේකා කිව්වෙ සීයට.
මුදලාලි මේසෙත් ටිකක් විතර ලොකු එකක්. ඒකටම හේත්තු කරල තව දිග මේසයක් දාලා ඒක උඩත් එක එක බඩු වගයක් තියල තිබුන. සීයා හෙමීට මුදලාලි මේසෙ පහුකරගෙන අනිත් මේසෙ වටේට යන අතරෙ නිකං ඉන්න බැරිම තැන මං ඇහුව “සීයෙ බිත්තර කීයද දැං” කියල..
කිසි කනකට ගන්නැතුව හෙමීට මේ යකා මොන ලෝකෙක යනවද කියල හිත හිත කඩේ එළියට ඇවිත් බැලුවෙ වෙන කඩයක්වත් ඇරලද කියල. වෙලාව 9ට කිට්ටු නිසා කඩයක ලයිට් එකක් පේන මානෙක තිබුනෙ නෑ. (එහෙමතමයි බං ගම්වල) හිත හදාගෙන ඇතුලට යද්දිත් සීයා අර දෙවනි මේසෙ පහුකරකර හිටියෙ. ඇතුලට යද්දිම සීයා “22ක් වෙනව” කිව්වම මට “ඈ?” ගෑවුනෙ මට මංම අහපු ප්රශ්ණෙත් අමතක වෙලා තිබුන නිසා.
සීය හෙමින් හෙමින් ඇවිත් මුදලාලි මේසෙ අනිත් පැත්ත යට හංගල වගේ තිබුනු පෙට්ටියක් හෙමීට අරගෙන මේසෙ උඩින් තියල අරිනකල් මං කට ඇරං බලං හිටියෙ ඇත්තටම මේ හොයන්නෙ බිත්තරද කියලවත් හිතාගන්න බැරුව. පෙට්ටිය ඇරියම අම්මට සිරි මෙන්න තියෙනව බිත්තර දිලිසි දිලිසි.. සතුට ඉහවහා ගියාට මොකද සීයා හෙමින් ලඟ බිත්තියෙ එල්ලල තිබුනු සිලි කවරයක් අරන් ඒක දිගඅරින හැටිදැක්කම කවරෙ ඇදල අරගෙන හපල හපල ගිලින්න හිතුන. ලොඹු කටෙන් කෙල ඇඟිලි වල ගාගෙන අතේ ඇඟිලි පහ විතරක් නෙවෙයි කකුලෙනුත් කවරෙ අල්ලගෙන පිඹ පිඹ යංතං කවරෙ ඇරගත්ත විතරයි මට “හුරේ” කියලා කෑගහගෙන හෙලුවෙං පාර දිගේ ආකිමිඩිස් වගේ දුවන්න තරං සතුටක් ආවෙ. ඒක එච්චර අමාරුවෙන් කලේ යකෝ.
ඊටපස්සෙ බිත්තර මිෂන් එක. කිව්වට මොකද සීයා බිත්තර එකින් එක අරන් කවරෙන් තිබ්බා ආයි මුකුත් නෑ කිකිළි දැක්කනං ඌත් පුදුම වෙනව. ඒ තරං පරිස්සමෙන්. මං බයේ හිටියෙ දැන් කුකුල් පැටව් එළියට එයි කියල. ඒ තරං ස්ලෝ යකෝ. මගෙ කරුමෙට මං බිත්තර දහයක් ඉල්ලුවට මේ තියන ස්පීඩ් එකෙන් මට බිත්තර දෙක තියෙන කොට ඇති කියල නවත්තන්න හිතුන. එහෙම නවත්තල ගෙදර ගිහිං ඒ බිත්තර දෙක තම්බං කාල ආයි ආවත් දහවෙනි බිත්තරේ කවරෙන් තියන්න වෙන්නෑ මේ යකාට.
මොනාකරන්නද මං දැන් නවත්තන්න කිව්වත් මේකට ඒක ඇහෙන්නෙ තව බිත්තර දෙකක් විතර තිබ්බම. එතකොට කොහොමත් එකයිනෙ. මගේ අත කට ඇතුලට දාගෙන ඇඟිලිටික හපාගෙන කෑගැස්සෙන් නැතිවෙන්න ඉවසන් හිටියෙ වැඩිහීකමට ගරුකරන නිසා.
එයාගෙ වේගෙට බිත්තර 10 දාලා කවරෙ මගෙ අතට දුන්නෙ කභි කුෂි කභි ගම් එකේ ෂාරුක් අම්ම ලඟට දුවන් එනවටත් වඩා සුපර් ස්ලෝ මෝෂන් එකේ. කවරෙ ඇදල ගත්තු මං ඊට පැය භාගෙකට විතර කලින් අතට ගත්තු රුපියල් 1000 සීයට දික්කරා. ඒක ගැන වගක් නැතුව ආයෙමත් වටමේස සංචාරය පටන් ගත්තු සීයා මුදලාලි පුටුවට එනකල් විනාඩි 8යි තත්පර 42ක් මං අත දික්කරන් හිටියෙ සල්ලි ටික දැන් ගනියි දැන් ගනියි කියල හිත හිත. කොහොමින් කොහොමහරි පුටුව ලඟට ගියපු සීයා හම්මේ ගාගෙන පුටුවෙ වාඩිවුන පාර මට හිතුනෙ පොරගෙ පිලමන්ට් එක ගියා තමයි කියල. හිමීට ලංකරල බැලුවම යංතං හුස්ම වැටෙනව වගේ දැකපු නිසා තව ටිකක් ලංවෙලා 1000 කොලේ අතේ ගෑවෙන්න ලංකරාම හෙමීට ඒක අතට ගත්තම තමයි, මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
කරුමෙ කියන්නෙ. බිත්තර ටිකට 220යිනෙ. දැන් මේකා මට 780ක් ගැනල දෙනකල් ඉන්නෝනි කියල මතක් වුනාම අර දුන්නු 1000 ඇදල අරගෙන, බිත්තර ටිකත් අරන් හොරෙක් වෙලා, පාරෙ දුවං ගිහිං පොලිස් ජිප් එකකට නැගල, ලොකප් වෙන්න හිතුන හත්තිලව්වෙ.
බිත්තරයක් හිංද එච්චර චාටර් වෙන්න බැරිනිසා ඉවසං හිටිය. උඹලට කියන්න මිත්රවරුනි රුපියල් 780ක් රුපියලේ කාසි වලින් ගැනල දෙන්න යන වෙලාව වගේ තුන්ගුනයක් විතර ගත්ත බං ඒකට. මට බිත්තර එකෙන් එක අරගෙන මේකගෙ ඔලුවෙ ගහන්න තරං කේන්තියෙන් හිටියෙ.
උත්තර දෙන විදියෙන්නං පොර අපිට වඩා ආලෝක වර්ෂ ගාණක් එහායින් ජීවත් වෙන එකෙක් වගේ. සෑහෙන්න වෙලාවක් ගිහිංනෙ ඇහෙන්නෙ. “සීයෙ යන්නං” කියල ආවට මොකද පොර ඕකට උත්තර දෙද්දි ෂුවර් එකටම මං ගෙදරත් ගිහිං. දෙයියනේ කියල ඉතුරු සල්ලි අතට ගත්ත මං කඩෙං එළියට ආවෙ එළිවෙලාද දන්නෑ කියල බයෙන් බයෙන්.
මං දන්නව උඹලට මේක කියවද්දි හරිම අමාරුයි ඉවර වෙන්නෑනෙ කියල. යකෝ මේක කියවන උඹලට ඒක මෙච්චර අමාරුනං එතන සීය දිහා බලාගෙන මේ සේරම අත්විඳපු මට කොච්චර අමාරු ඇද්ද? නිකමට හිතල බලපල්ලා..
මූලාශ්‍රය: Asanka Warnakulasooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!