සීයාගේ සීනි මීටරේ (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ සීයාට ශුගර්. ඒ කියන්නෙ සීනි. හරිම විදිහට කිව්වොත් දිය වැඩියාව නොහොත් මධුමේහය. ඔය කොයික කිව්වත් වෙලා තියෙන්නෙ ලේ වල සීනි වැඩි වීමයි. නමුත් අපේ සියා පිළිනොගන්නා එකම කාරණාවත් එයයි. ඔහුගේ මතයට අනුව නම් ඔහුට ඉහෙන් බහින රෝගයක් නැති අතර ගෙදර අප සැමටම හොඳටෝම පිස්සුය.
“මට ඇති ලෙඩක් නෑ. උඹලා ඔක්කෝටම පිස්සු. උඹලා තමයි මට ලෙඩ හදවන්නෙ” එය සීයාගේ දවසේ පාඨයයි.
හොඳ දේහ ධාරී පුද්ගලයකු වන අපේ සීයා හට මේ කරුම ලෙඩේ ආවේi පරම්පරාවෙන් ලැබෙන දායාදයක් ලෙස බව දොස්තර මහත්තුරු සොයාගෙන ඇත. පැණි රසට කොච්චර ඇබ්බැහි වෙලා හිටියාද කිව්වොත් ආච්චි නම් කියන්නේ කාපු සීනි කන්දරාවට සීයාගේ මුත්රා වලින් විතරක් නොව ඩහදිය වලිනුත් සීනි පිටවෙනවා ඇති කියාය.
සීයාට ශුගර් තිබෙන බව මුලින්ම සොයාගැනීමට ලැබුනේ සීයාගේ ඉහෙන් බහින්නේ නැති රෝගයක් යටිපතුල දක්වා ගිහිල්ලත් බැස නොගිය දවසකය.
කවම දිනක වත් රෝහලකින් තියා ඩිස්පැන්සරියකින් වත් බෙහෙත් අරගෙන නැති සීයාව එදා රොහලට ගෙන ගියේ හතර පස්දෙනෙකු විසින් කුද
ලාගෙනය. ඉස්පිරිතාලෙට යන්න වෙනවා කියා දැනගත් වෙලේ සිට ඔහු පොඩි දරුවෙකු මෙන් කෑගසන්නත් අඬන්නත් විය. ඒ වෙන මොකකටවත් නොව ඉන්ජෙක්ෂන් කටුව අතේ තියාගෙන සිටින මිසීලාට බය නිසාය.
රෝහලේ දොස්තර මහතා සීයාව පරීක්ෂා කර ශුගර් මීටරෙන් ශුගර් ද බැලුවේය. ශුගර් මීටරේ කටුව කැරකිලා කැරකිලා ගිහින් රතු කට්ටෙ දඩාං ගාලා වැදුනි. දොස්තර මහතාගේ ඇස් දෙක නලලේ රැඳුනි. ගෙදරදී හැමෝටම කොටියෙකු මෙන් ගොරවන අපේ සීයා අනේ දොස්තර මහතාගෙන් බැනුමකුත් අසා පූසෙකු මෙන් නිහඬ්ව සිට්යේය. ඔහුගේ කෑම ව්ට්ටෝරුවේ සීනි දමා තේ බීමේ සිට පාං බනිස් කේක් ඇතුළු සියළුම පිෂ්ඨය සහිත ආහාර ඉදිරියේ කතිර වැටුනි. වට්ටක්කා, අර්තාපල් සහ බීට් රූට් හැර අනෙකුත් එලවළු හා පලා වර්ග ආහාරයට ගැනීම ඉතා සුදුසු විය. රෝහලේ ජොහොර හොදි සමඟ තම්බපු හාලේ බත් කෑමට නියම කිරීම සීයාට දුන් හොඳම දඬුවමයි. සීනි පෙති බීමට නියම විය. සීනි පෙති කියන්නෙ සීනි දාපු පෙති නොව ශුගර් අඩු කිරීමට දෙන බෙහෙත් පෙතිය. සතියක් පමණ රෝහල් ගත වී සිට පැමිණි සීයාගේ අත් පෙනෙරයක් මෙන් සිදුරු වී තිබුනේ මිසීලා සීයාට හොඳ හැටි සලකලා තිබූ නිසාය.
සීයාට නම් රෝහල අවිච් මහා නරකාදියයි. ඒ නරකාදියේ ලැගීමට තිබෙන අකමැත්ත නිසාම ඔහු අපේ අම්මා කියන දේ අසා හොදින් කෑම පාලනයේ යෙදී නියමිත වෙලාවට බෙහෙත් ටික බී බොහොම හොඳින් හිටියත් සීනි නැති ලෝකය ඔහුට නම් හිරු නැති ලෝකයටත් වඩා අඳුරු දුක්බර එකක් විය.
අපේ මලයා ඔක්කෝටම හපන් එකා. මේකා තේ බොන වෙලාවට සීයාට පේන්න සීයා ඉස්සරහාටම ගොස් තලු මරමින් තේ එක බොයි. සීනි ඇට දෙක
තුනක් දමා තමාට ලබා දෙන පල් රස තේ එක අමාරුවෙන් තොල ගාද්දී මල්ලීව දකින සීයා ,
“අනේ පොඩි පුතේ ඔය තේ එකෙන් ඩිංගක් මටත් දීපන්කෝ..බලපන් උඹලෑ අම්මා මට සලකන විදිහ. කුණු ලෝබ කමට සීනි ඇබින්දක් වත් මට දෙන්නේ නෑනෙ. අමපල්ලා මම උඹේ හොර වැඩ එකක් වත් අම්මගේ කනේ තියන්නෑ ඕන්..”
අනේ ඉතින් අපේ මලයාත් හොඳම ගොනාට ඇඳගෙන සියාට තේ එකම දන් දෙයි. සීයා හොරෙන් හෝ සීනි ටිකක් කෑ දවසට පස්වනක් ප්රීතියෙන් පිනායමින් දවසම ප්රබෝධමත්ව සිටියි.
දිනක් අපේ තාත්තා සීයාව සීනි ක්ලිනික් එකට එක්ක ගොස් ආපසු එද්දී අත්යාවශ්ය කාරණාවකට තාත්තාගේ කාර්යාලයටද ගොඩ වැදි ඇත. එහි සිටි පියන් මහතා තාත්තාට කරන ගෞරවයක් ලෙසට සීයාව අමුත්තන්ගේ කාමරයට එක්ක ගොස් හොදින් සංග්රහ කර ඇත. සීයාද බෑ නොකියා රසම රස අයිසිංග් කේක් කෑල්ලක් හා හොඳට සීනි දැමූ කිරි තේ එකකටද වග කිවුවේය. අනේ ඉතිං අපේ තාත්තා මේ බව දැන ගත්තේ දවස් දෙකකටත් පසුවයි.
“අනේ අම්මපා..වැඩිහිටියෙක් නේද මේ..තමන්ගෙ ලෙඩේ ගැන වත් හිතන්න එපාද? “අම්මා දෙස් දෙවොල් තියයි.
හැමදාම හවසට සීයාට තේ එකක් ඕනා. ඒක හදා ගන්නෙත් එයාමයි. ඉස්සර නම් මී පැණි වගේ කට ඇලෙන්න හදා ගන්නා තේ එක දැන් බොන්නේ සීනි ඇබින්දක් අල්ලට දමා ගෙනය. ඒකත් ඉතින් අපට පේන්න. මොකද කියනවා නම් අල්ලට සීනි ටිකාක් ගත්තට කහට කෝප්පය පතුලේ දිය නොවූ සීනි හැඳි තුනක් පමණ අභිරහස් ලෙස සැඟවී සිටී. අම්මාගේ චෙක් පොයින්ට් එක පසු කල පසු ඔහු හිමින් සීරුවට තේ එක තාලෙට සොලවා සීනි ටික දිය කර ගනී. පේනවානෙ අපේ සීයා හොර ගෙඩියා. ඔන්න ඔහොම සීනි හොරකම දිගටම කරගෙන යන නිසා සීනි මීටරේ කටුව රතු කට්ටෙම බදාගෙනම සිටියානෙ. අම්මා, මෙච්චර හොඳට සීනි පාලනය කරන සීයාගෙ ශුගර් බහින්නේ නැත්තේ මීටරේ කැඩිලා නිසාය කියා හෙන ගානක් දීලා මොඩ් ශුගර් මීටරයක් ද ගෙනාවාය. අන්තිමේදී අම්මාගේ තුන් වෙනි ඇස විසින් සීයාගේ හොර වැඩ අනාවරණය කර ගත් අතර සීනි බෝතලය අත් අඩංගුවට ගන්නා ලදි. (අම්මත් හරියට අපේ ආණ්ඩුව වගේ) එයින් අපටද සිදු වූයේ සීනි ටිකක් කෑමට අම්මාගේ පස්සෙන් ගෑටීමටය.
දිනක් සීයාගේ කකුල වීදුරු කට්ටකට කැපී ලේ ගලන්න විය. නමුත් ඔහුට කකුලේ කිසිම වේදනාවක් නොදනුනි. ඒ වන විට දිය වැඩියාව ඔහුගේ ස්නායු පද්දතියටද වකුගඩු වලටද හානි කිරීම අරඹා තිබුණි. සීනි සායනයේ දෙවිවරු වැනි දොස්තර මහතුන් සීයාට ඉන්සියුලින් කට්ටේ පහස දවසට දෙවරක් විඳීමට වරමක් ලබා දුනි. ඊට අමතරව පොටෑසියම් අධ්ක ආහාර වන පලතුරු, තක්කාලි, තැඹිලි ඇතුලු තවත් ආහාර වර්ග රැසක නම් අඩංගු මාගලක් වැනි තහනම් ආහාර ලයිස්තුවක් ද සීයාට තෑගි වශයෙන් ලැබුණි. නැව ගිලුනත් බෑන් චූන් වූ අපෙ සීයා තවමත් ඉඳ හිට සීනි සොරකමේ යන්නේ තවමත් මට්ටු නොවූ නිසාය.
හැබැයි ඉතින් මේක කියවන ආච්චිලා සියලා හොරවැඩ එහෙම ඉගෙන ගෙන නරක් වෙන්නෙ එහෙම නෑ.. ඕන් මන් නොකිව්වයි කියන්න එපා.
උපුටා ගැනීම: Nilwala Athapattu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!