යුනිවර්සිටි යන අපෙ නංගිලා මල්ලිලාට අක්කලා අයියලාට තියන ලොකු හිසරදයක් තමයි මේ සෙමෙස්ටර් විභාග කියන්නෙ.සෙමෙස්ටර් විභාග විතරක්ම නෙවෙයි නොයෙකුත් assignments, projects කියන්නෙ ඔලුව පැනික් කරන stress වැඩි කරන දේවල් කියලා අමුතුවෙන්ම කියන්න ඕන වෙන්නෙ නැහැ.සාමාන්‍යයෙන් ඉස්කෝල් යන කාලේ වගේ නම් ඔක්කොම දේවල් අමතක කරලා විභාග වලටම ෆෝකස් වෙන්න පුලුවන් වුනාට යුනිවර්සිටි යනකොට එහෙම නෙවෙයි.ගෙදර ප්‍රශ්න ,ආර්ථික ප්‍රශ්න, රිලේෂන්ෂිප් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න වගේ නොයෙකුත් පෞද්ගලික බාධක රැසකට මැදිවෙලා තමයි මේ කියන විභාග ඇතුලු අනෙකුත් දේවල් ටික කරගන්න වෙන්නෙ.
ඉතින් මේ ලිපිය මම ඔයාලට අරගෙන ආවේ කැම්පස් එකේ විභාග හිසරදයක් නොවී හරිම සැහැල්ලුවෙන් රිපීට් නොවී කරගෙන යන විදියයි.
(1) සරලව හිතන්න.
මමත් ඇතුලුව මම දන්න හදුනන ගොඩාක් මගේ යාලුවෝ කැම්පස් එකේ විභාග ගොඩාක් අමාරු කරගන්නෙ, ඔලුවට බරක් කරගන්නෙ ඕනවට වඩා හිතන්න ගිහින්.ගොඩාක් අය හිතන්නෙ මම මේ සබ්ජෙක්ට් එකට A ගන්න ඕන, මට රිපීට් වෙන්න බෑ, මම බැජ් ටොප් වෙනවා වගේ දේවල්.. තමන් ගැන ලොකු අරමුණු තියාගන්න එක ගොඩක් හොදයි.ඒ වුනත් ඒවා තමන්ගෙ හිතට බරක් කරගන්න හොද නැහැ.හරිම සරලව අරමුණු දකිනවා කියන්නෙ ‘ මම මට පුලුවන් හොදට වැඩ කරනවා, මම පාඩම් වලින් මට පුලුවන් උපරිම ලකුණු ගන්නවා’ වගේ තමන් ගැන විශ්වාසයක් ඇතිවෙන සරල අරමුණු තියාගන්න.

(2) smart විදියට පාඩම් කරන්න.
ඉස්කෝලෙ යනකාලේ ඒලවෙල් වෙනකම්ම පාඩම් කරන්න ෂෝට් නෝට්ස් හදාගන්න අය එතනින් පස්සෙ උසස් අධ්‍යාපනය කරනකොට ඒක කරන්නෙ නැහැ.ෂෝට් නෝට්ස් එහෙමත් නැත්තම් කෙටි සටහන් වලින් කරන්නෙ වැල් වටාරම් ගොඩකින් අපි මතක තියාගන්න ඕනම කොටස් ටික ෆිල්ටර් කරලා ගන්න එක, පාඩම් වල වඩා වැදගත් අන්තර්ගතයන් ඔලුවට දාගන්න එක වගේ දේවල් තමයි කරන්නෙ.ඉතින් කව්ද කියන්නෙ ෂෝට් නෝට්ස් හදාගන්න එක පොඩි ලමයින්ගෙ වැඩක් කියලා ?
(3) කොහොමද පාඩම් කරන්නෙ ?
කොහොමත් පාඩම් කරන්න ඕනෙ සෙමෙස්ටර් එකක මුල ඉදන්මයි.පාඩම් කරනවා කියලා මුලු පැය 24ම නිදිවරාගෙන පුටුවකට වෙලා පොතක් බදාගෙන ඉන්න ඕන නැහැ.ලෙක්චර් එකක් අතරතුරම ඔයාට පුලුවන් pdf එකක් open කරලා කරගෙන යන පාඩම් වලින් ඔයාට පුලුවන් දේවල් තේරෙන නොතේරෙන පාඩම් ටික බලාගෙන යන්න.කොහොමත් කැම්පස් ලමයින්ට ලෙක්චර්ස් තේරෙනවා අඩුයිනෙ එතකොට බොරුවට තේරුනා වගෙ අහගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නෙ.ඒත් ඒ නිකම් ගත කරන්නෙ ඔයාගෙ හොදම තරුණ කාලය කියලා මතක තියාගන්න.රිපීට් වෙවී අවුරුදු ගනන් අදිනවද නැත්තම් වැඩ කරන්න තියන කාලය උපරිම ප්‍රයෝජනයට ගන්නවද කියලා ඔයාම තීරණය කරන්න.ඔයාට ලෙක්චර් එකට කලින් දවසෙ කරන්න තියන පාඩම කලින්ම බලාගන්න මොනවද හෙට තියෙන්නෙ කියලා.අන්න එහෙම අවබෝධයක් ඇතුව අහගෙන ඉන්නකොට මොනවමහරි දෙයක් තේරෙන්න ගන්නවා.නැත්තම් අඩුම තරමේ ඔයාට අමාරු ලේසි පාඩම් මොනවද කියලවත් අවබෝධ වෙනවා.

(4) සතියකට වතාවක් ෂෝට් නෝට්ස් හදන්න.
ඔයාට හැමදාම යම් කාලයක් වෙන් කරගෙන මේ වැඩේ කරන්න පුලුවන් නම් තවත් හොදයි.එහෙම නැත්තම් සතියකට වතාවක් ඔයාට හොදටම නිදහස් වෙලාවක් අරගෙන ඔයා සතිය තුල ඉගෙන ගත්ත සබ්ජෙක්ට්ස් වල විෂයන් වලින් ෂෝට් නෝට්ස් හදන්න.ඒ ගමන් ඔයාට ටිකක් අමාරු නොතේරෙන දේවල් මොනවද කියලා නෝට් කරගන්න.දැන් ඒවා දන්න කෙනෙක් එක්ක කුප්පියක් දාලා අහගන්න.ඔයාට විභාගයක් ලං වුනාම මේ ෂෝට් නෝට්ස් ටික ගොඩාක් වටිනවා.එතකොට pdf හොය හොය ,පොත් පිටින් පෙරල පෙරල කාලය අපතෙ යවන්නැතුව කෙලින්ම ෂෝට් නෝට්ස් ටික කියවලා මතක් කරගන්න විතරයි තියෙන්නෙ.
(5) මනස නිදහස්ව තියාගන්න.
මේ කරුණ නම් ගොඩාක් වැදගත්. බුදුහාමුදුරුවෝ කියලා තියනවා නිතරම සතිය තියාගන්න කියලා.ඒ කියන්නෙ හිත මේ මොහොත තියාගන්න කියලයි.ගොඩාක් අය අනවශ්‍ය විදියට දේවල් හිතන නිසා තමයි මනසට අනවශ්‍ය පීඩනයක් ,ආතතියක් දැනෙන්නෙ.ඉගෙනගන්න කාලය තුල ඒ දේට හොද අවධානයක් ලබාදීලා වැඩ කලොත් නිදහසේ යාලුවෝ එක්ක ගත කරන්න,ඇවිදින්න යන්න පවා කාලය ඉතුරු වෙනවා.