මේ කතාව වසර හතලිහක් පරණයි. ඒ දිනවල මොනරාගල ඒ දුෂ්කර පාසලේ මගෙන් ගණිතය ඉගෙන ගත් ළමයින්ගෙ දැන් වයස ඒ දිනවල මගේ වයස වගේ දෙගුණයටත් වැඩියි. අම්මෝ ගණිතයෙන්මයි ඒක ලියවුනෙ.
කතාව පටන් ගන්න වෙන්නෙ අපේ පාසලට ස්ථාන මාරුවක් අරන් ආපු ගුරු වරියකගෙන්. ඇය ආවෙ ප.ව. 1 ට. පාසලේ ලොකු මහත්තය පොත් පත් හා ලොග් පොත් අපේ ගුරු නිවසේම තිබුන ඔහුගෙ සබ්බ සකල මනා දාන කාමරේට දාල ලොක් කරල ඒ වෙලාවෙම යන්න ගිහින්. මේ ටීචර් වැඩ බාර ගන්න පොත් ඉල්ලනව. අපි චමරියෙ නැවතිල හිටිය පස් දෙනෙක්. අපි කිව්ව ලොකු මහත්තයා නැති නිසා පොත් ගන්න බැහැ කියල. ටීච මේ කතාව පිලිගත්තෙ නැහැ. ලොකු මහත්තයටත් බැනල අපිටත් දොස් කියල යන්න ගියා. ඒ ටීචර් හිතුවෙ අපි හිතා මතා ඇයගෙ වැඩ බාර ගැනීම වලක්වනව කියල.
පස්සෙන්ද එයා ආවා. වැඩ බාර ගත්තා. අපෙත් එක්කත් වැඩි කතා බහක් නැහැ. ලොකු මහත්තය එක්ක කොහොමටවත් නැහැ. අපි පස්සෙ දැනගත්තෙ ලොකු මහත්තය එදා මඟ ඇරල. මේ ටීච එන බව දැනගෙන. ඒ දෙන්න එක හරියෙ. දෙන්න අතරෙ මොකක්ද පරන කොක්කක් තිබිල. අපි දන් නැහැ.
පස්සෙ මේ ටීචර් අපෙත් එක්ක සුහද වුනා. එයා අපේ ලොකු මහත්තයගෙ වයසෙ වගේ. අපිට විවේක කාලෙ අම්ම වගේ තේ හෙම චමරියෙ හදල දෙනව. උයන්නත් උදව් වෙනව. හරිම හොඳයි.
නමුත් ලොක්කගෙ වලිය එහෙමමයි. ටීචර් එන්නෙ ගෑනු බයිසිකලෙන්. ලොකු මහත්තය එන්නෙ පිරිමි බයිසිකලෙන්. දෙන්නම සැතපුම් හතක් හති දාගෙන පැදල පාසලට එනව. ටීචර් පොඩ්ඩක් පරක්කු නම් ලොක්ක රතු ඉර ගහනව. සමහර දිනවල එයා ඉක්මනින් පැදගෙන ඇවිත් ටීචර් එනව බල බල රතු ඉර ගහනවා.
දවසක් නියම වැඩක් වුනා. මා සා.පෙ.පන්තියෙ ගණිතය කරන්න උදේම පටන් ගත්ත විතරයි. අර ටීචර් එනව පොඩ්ඩක් පරක්කු වෙලා. ලොකු මහත්තයගෙ කාර්යයාලෙ තියෙන්නෙ මගෙ පන්තිය ඉස්සරහ කොරිඩෝවෙ දාගෙන තියෙන ගුරු මේසෙ තමයි. දැන් වගේ පොශ් කාර්යයාල නැහැනෙ ඒ කාලෙ. ඉතින් අරය එනව දැක දැක ලොක්ක රතු ඉර ගැහුවනෙ.
මල විජ්ජුම්බරයයි. මේක ටීචර් දැක්ක. ටීචර්ට නැග්ග නහුතෙට. ගත්ත සෙරෙප්පුවක් අතට. කුණු හරපයක් කිව්ව. වේ යන්න මුලටයි පුතා යන්න අගටයි දාල. දුන්න සෙරෙප්පු පාර කම්මුලට. සුදුපාට ලොකු මහත්තය රතු වුනා තම්බපු ඉස්සෙක් වගේ.
දැන් ඕක මාත් දැක්ක. මගෙ පන්තියෙ ළමයිත් දැක්කා.ටීචර් පන්තියට ගියා. ලොකු මහත්තය සිද්ධිය ලොග් පොතේ ලියල සී.ඕ.සර්ට රපෝර්තු කරන්න මොනරාගල ගියා.
සී.ඕ.සර් ගැන ඕගොල්ලොත් දැන් දන්නවනෙ මගෙ කලින් කතාවෙන්. එයා ලොකු මහත්තුරුන්ගෙ සී.ඕ. මිසක් ගුරුවරුන්ගෙ සී.ඕ.නෙමෙයිනෙ. ගුරු වරු කොච්චර නිවැරදි වුනත් ගන්නෙ විදුහල් පතිලගෙ පැත්ත. හේතුව මගෙ කලින් කතාවෙන් පැහැදිලියි නෙ. ඕව ඔහොම තමයි.
ඔන්න දවස් දෙක තුනකට පස්සෙ සී.ඕ.සර් එනව බෑග් බෑයත් එල්ලගෙන පැද්දි පැද්දි පයින්ම. අපි ඉස්කෝලෙ වෙලාවෙ විවේක එන විදියට දවල්ට කෑම උයනව. අරය එන වෙලාවෙ මායි තව සර් කෙනෙකුයි කුස්සියෙ. අපි ඔය සී.ඕ.ල නෙමෙයි මහ රජ්ජුරුවො ආවත් බය නැහැ ඒ කාලෙ. සී.ඕ.සර් දකුණෙ .අපිත් දකුණෙ. එයයි අපියි එකම බෝට්ටුවෙ . දුෂ්කර සේවයේ. මාරු කලත් ඒක අපිට දඬුවමක් වෙන් නැති බව කවුරුත් දන්නව. ඉස්කෝලෙ වෙනස් වෙනව විතරයි. අපි මෙහෙම ඉන්න එකත් සී.ඕ. සර්ට ලොකු දෙයක්.
දැන් අපේ චමරි කාමරයේම සී.ඕ.සර් විනය පරීක්ෂණය තියෙනව. කට උත්තර සටහන් කරනව. මාවත් කැඳවල ඇහුව රංචගොඩ මහත්තය ඒ සිද්ධිය දැක්කද කියල. මං ගත් කටටම කිව්ව දැක්කෙත් නැහැ.ඇහුනෙත් නැහැ කියල. පස්සෙ මං කිව්ව සර් පොඩි සද්දයක් ඇහුන .ළමයි බලයි කියල මම තවත් හොඳට ඉගැන්නුව කිව්ව. ආ ඒක හොඳයි කියල එයා බොරු හිනාවක් දාල මට යන්න කිව්ව. සර් දන්නව මා හොඳටම සීන් එකේ හිටිය කියල. අර අහිංසක ටීචව පාව දෙන්න හිතන්නවත් පුලුවන්ද ? මට.
දවස් තුනෙන් මාරුව ආව ටීචර්ට අපේ පාසලේ සිට තවත් කි.මි.හතක් දුර කැලේ පාසලකට. ඒකෙ නම ලන්ද කියන වචනයෙන් අවසන් වෙන්නෙ.
අර ටීචර් සැලුනෙ නැහැ කොහොමටවත් . අපි ඊට පස්සෙ ඕන තරම් දැක්ක ඒ ටීචර් අපිටත් අත වනාගෙන ඒ දුෂ්කර පාසලට සයිකල් පාගනව හිනා වෙවී.
ඔන්න ඔහොමයි සී.ඕ. සර්ගෙ විනය පරීක්ෂණ .
……………………..නිමි……………………….
උපුටා ගැනීම: Jayakumara Ranchagoda