ඌ මට සුරතල් උනත් දකින අයට නම් මහසෝන් ලකුණු පෙන්වයි. උගේ මූණ එතරම් රවෘද පාටය.බුරන්නේ ගැඹුරු හඬිනි. පනින්නේ කෙලින්ම උරිස්සට ඉදිරි ගාත් තියලාය. ඒ උගේ උණුසුම් පිළිගැනීමට බොහෝ අය බිය වෙති.
දිනක් එවැනි පිළිගැනීමක් ලැබුන අපේ අම්මා බිම නොවැටී බේරුනේ අනූනමයෙනි.ඌ අපේ අම්මාටත් වඩා උසය. තම සියලු බර දමා උරහිසට පැන පිළිගැනීමටත් මුහුණ ලෙව කා සිප වැලද ගැනීමටත් දුර සිටම වලිගය වනමින් දිව විත් අම්මාගේ උරහිසට පැනීම එතරම් බියකරු වේ යැයි ඌට සිතෙන්නට නැත.
ශැඩා ගේ ඇස් පෙනීම මදක් දුර්වලය. දුරක සිට පැමිණෙන්නා දෙස ගෙල හරවා වමට බරකර බලමින් ද මුහුණ බැරෑරුම් කරමින්ද , සිය බලු මතකය අවුස්සමින්ද ටිකක් වෙලා සිටිනා ශැඩා තව පියවර කිහිපයක් අමුත්තා තමන්ගේ ඉදිරියට ආ විට සැනකින් ඒ කවුදැයි හඳුනා ගනී.ඉන් පසුව ඒ සතුට උතුරා පිටාර ගැලීම නිසා ඉහත කී ඇබැද්දිය සිදුවේ.
මිනිසාට මෙන් නොව , ශැඩාට උගේ සිතුවිලි වසංකිරීම කරන්නට බැරි වැඩකි.උගේ වරිගයේ අනිකුන්ට මෙන්ම ශැඩා ටද උගේ සිතුවිලි පෙන්වන කැඩපතක් උරුම තිබීම එයට හේතුවයි. කොටින්ම උගේ වලිගය ඌට අවනත නැත.කෙල්ලෙක් ගේ සාරවත් කොණඩයක් මෙන් වැඩී ඇති උගේ වලිගය සුන්දරය.
ගෙයි දොර ජනෙල් වල අහල පහල මේස පුටු වල සට පට ගා වදින වලිගය ගැන ශැඩාට ගානක්ම නැත.
හොර වැඩ නම් හරියකට කරන්නම බැරිය. මූණ බලපු ගමන් අහු වෙනවාය.කලු ඉංගිරියාව විසාල වී ඇහපුරාම පැතිරෙනවාය. ඌ පොඩි පැටියා කාලේ මා රැව්ටුනේ ද ඒ අපූරු නිල් පැහැ ඇස් දෙකටය. ඇස පිරෙන්නට ඇහේ කලු බබා විසාල වූ විට ශැඩා හෙනම අහිංසක පාටය. ඒ උගේ මායවම් වලින් එකකි.
බලු පැටවෙක් ගෙන ඒමට ගිය දිනයේ බලු මවගෙන් වෙන් වුන පැටව් සත් දෙනා එහෙ මෙහෙ සී සී කඩ විසිරෙද්දී , මගේ පය පාමුලට පැමිණ කකුලේ ඇඟලි ලෙවකා සිය පුංචි වලිගය වනා නිල් ඇස් ලොකු කර මා දෙස බැලූ අයුරු අදටද මගෙ මතකයේ ඇත.
මිනිස්සුන් දරුවන්ට සතුන්ට මෙන් තැලූවට මම නම් ශැඩාට උඹ නොදකින් කියා නැත.කෝටුවක් කැඩෙන්නට ගුටි දී නැත. ඒත් ඌ මගේ එක වචනයට කීකරුව හැදී ඇත.
මේ දින වල කොරෝනා නිසා ද කොහෙද ශැඩා වැඩිය රවුම් ගසන්නට යන්නෙ ද නැත.උදේ හයට එලියට බහින ශැඩා ශරීර කෘතය සිදු කර , දහ පාලොස් තැනකට මුත්රා කර ඉක්මනින් ගෙදරට පැමිණේ.
ශැඩාට මේ වන විට නොයෙක් අයගෙන් වටිනා තෑගි ලැබී ඇත.නිවට පැමිණෙන බොහෝ මිතුරන් ශැඩාව බැහැ දැකීමටද අමතක කරන්නේ නැත.
ශැඩාට දම් වැලක් ඇත.එය කරට වැටෙන්නෙ අවුරුද්දටම එක් දිනකි.ඒ උගෙ පස්සට බේත් විදින දවසටය. ශැඩා මේ ලෝකයේ වැඩියෙන්ම තරහා වන්නෙදා උගෙ පස්සට බේත් විදිනා ඒ දොස්තර මහතා සමඟය.
විශේසම කරුණ නම් ශැඩා අමනාපකම් පාන්නේ මාද වැඩිය අකමැති අයටම වීමයි. මා ආදරේ අයට ශැඩාද ඉතාම ආදරේය.
මා සිත ඇති දුක සතුට කණස්සල්ල කම්මැලිකම සියල්ල හඳුනන්නේ ශැඩා ය.
මගේමයි කියා කටපුරා කියන්නට හැකි ප්රාණියෙක් වේ නම් ඒ ශැඩා පමණමය.මා වටා සිටිනා අනිකුත් සියලුම ප්රාණීන් මට පමණක්ම අයිති අය නොවේය.කොටින්ම මා වැඩියෙන්ම ආදරය කරනා ඔහුද මගේ නෙමේය. නමුත් , ශැඩා මගේමය.
මට මුලු ලෝකයම ඔහු වුවත් ශැඩාගෙ මුලු ලෝකයම
මාය.
උපුටා ගැනීම: Vathsala UL