මේක ස්කෝලෙ කාලෙ කතාවක්.
මම ස්කෝලෙ කාලෙ කරපු ලොකුම දේ සංගීත වැඩ වලට සහභාගි වෙච්ච එක. ඉගෙනගත්තෙ ඊට පස්සෙ. ඕලෙවල්ද ඒලෙවල්ද කියල නෑ සම්පූර්ණ කාලයම වගේ ගත කරේ සංගීත කාමරේ. විවිධ වයස් වල කෙල්ලො කොල්ලො සුපිරිම සෙට් එකක් එකතු වෙලා හිටිය ඒ වැඩ වලට. බාහිර වැඩ කරන ඒ හැමෝටම වගේ ඒ ඒ පන්තිභාර ගුරුවරුන් හා අනිත් ගුරුවරුන්ගෙන් බැනුම් වගේම හොඳ සහයෝගයකුත් ලැබුනා.
සංගීත ළමයින්ට අවුරුද්දට තියෙන ලොකුම ඉවෙන්ට් එක තමයි සමස්ත ලංකා තරග. එක ස්කෝලෙකට සංගීත අංග, කේවල සහ සමූහ වශයෙන් 3ක් ඉදිරිපත් කරන්න අවස්තාව හම්බෙනවා. ලංකාවෙම පාසල් වල ලමයි ඒ ඒ පලාත්වල තරග වැදිලා දිනන අංග, සමස්ත ලංකා මට්ටමේදි එකට හම්බෙනවා. අපේ ස්කෝලෙන් ඉදිරිපත් කරන හැම අංගයක්ම වගේ සාමාන්යයෙන් සමස්ත ලංකා මට්ටම දක්වා යනවා වගේම අති බහුතරයක් අවස්තා වල සමස්ත ලංකා මට්ටම ජයග්රහණය කරනවා. හින්දුස්තානී සංගීත, සිංහල සංගීත, පැරණි ගීත, වාදන අංග, ශාන්තිකර්ම, නව නිර්මාණ වගේ විවිධ තරඟ අංග රාශියක් තියෙන නිසා සමස්ත ලංකා තරගාවලිය ඉතාමත් විචිත්ර අවස්තාවක්. දවස් දෙකක විතර තරගාවලියක් නිසා සංගීත ලමයින්ට ඉතින් ට්රිප් එකක් ගියා වගේ තමයි.
මේ කියන අවුරුද්දෙ අපි සමූහ ගායන අංගය විදියට සහභාගි උනේ ‘ශාන්තිකර්ම’ කියන තරග අවස්තාවට. සාමාන්යයෙන් පලාත් මට්ටමේ ඉදන් සමස්ත ලංකා මට්ටමට එනකොට මුලු අංගයම අපි උපරිම වශයෙන් වැඩි දියුණු කරනවා විවිධ අංග චලනයන්, අභිනයන්, රංග වස්ත්රාභරණ, එහෙම යොදාගෙන. සංගීත අංශයේ ගුරුවරියන් සංගීතය පැත්ත දියුණු කරද්දි නැටුම් අංශයෙ ගුරුවරියන් අපේ ඒ ඒ තැනට හරියන විදියට අංග චලනයන් හැදුවා. අන්තිම වෙනකොට ඒක නියම ශාන්තිකර්මයක්. මවිල් කෙලින් වෙන, හිරිගඩු පිපෙන යක් බෙර පාරවල්, සුදු ඇඳගෙන රතු පටියෙන් ඉන බැඳගත්ත අපි කියන ශාන්තිකර්ම කවි ටික, වස් දොස් අරින්න ආවඩන්න ඉන්න ගුරුන්නාන්සෙ, ලිඳට ගිහින් එන අහිංසක යුවතියක්, ඒ යුවතියට මගදි වැහෙන යකෙක්, විචිත්ර මල් යහන වගේ දේවල් දැක්කම, මේ පාරත් සමස්ත ලංකා ජයග්රහණය අයිති අපිට කියන එක ගැන සැකයක් තිබ්බෙ නෑ.
තරග තිබ්බෙ හොරණ පැත්තෙ ස්කෝලෙක. තරග වලට යන්න අපේ ස්කෝලෙට තිබ්බෙ පරණ ටාටා බස් කොටයක්. මග යනකොට කෑලි හැලෙනවා. ඒ බස් එකේ යන්න මූලික සුදුසුකම තමයි පිටගැස්මට එරෙහි ටෙටෙනස් එන්නත ලගදි විදගෙන තිබීම. බස් එකේ යනකන් වයිබ්රේට් වෙවී ගිහින් බැස්සම විනාඩියක් විතර යනවා සාමාන්ය පරිසරයට අනුගත වෙන්න. ඔහොම දුකසේ, නමුත් ආතල් එකේ ගිහින් තමයි තරග දිනලා එන්නෙ. යන ගමනෙදි ගායක කණ්ඩායම් වලට සින්දු කියන්න තහනම්. වාදන කණ්ඩායම හැමෝගෙම සරතස නිවන්න, ගමන යනකන්ම සින්දු කියන්න ඕන. ගිහින් එනකොට ඉතින් ඒක වෙනම සංගීත සාජ්ජයක්!
අපේ අංගය තියන්න සූදානම් කරල තිබ්බෙ ඒ පාසලේ ප්රධාන ශාලාව. ඒකෙ විස්තරත් බලාගෙන අපි හිස් ශාලාවක් හොයාගෙන අවසාන පෙරපුහුණු අවස්තාවක් එහෙම නැත්තන් ෆයිනල් රිහර්සල් එකක් කරල අපේ අංගය ඉදිරිපත් කරන්න සූදානම් වුනා.
අපේ ශාන්තිකර්මෙ වෙන්නෙ මෙන්න මෙහෙම. අහිංසක යුවතියක් මනහර පසුබිම් සංගීතෙ මැද්දෙ, වේදිකාවෙ කොනක ඉදන් අනිත් කොනට, කලේකුත් ඉනේ තියගෙන ලාලිත්යෙන් වට පිට බල බල යනවා. වේදිකාවෙ එහා පැත්තෙන් මතුවන යකෙක් වේදිකාව පුරා වටයක් දෙකක් රෞද්ර ගමනකින් එහාට මෙහාට ගිහින් අර යුවතිය ඉස්සරහට දත් විලිස්සාගෙන පනිනවා. යකාට රඟපෑවෙත් කෙල්ලෙක්. හූ හඬ තියන යුවතිය කලේ බිම අතැරලා වේදිකාවෙන් පැනලා දුවනවා. යකාත් වේදිකාවෙන් අයින් උනාට පස්සෙ මල් යහන ගෙනත් තියල, යක් බෙර සද්දෙත් එක්ක ගායක කණ්ඩායමේ අපි සහ ගුරුන්නාන්සෙ, දෙපසකින් වේදිකාවට ඇවිත් ශාන්තිකර්මෙ පටන් ගත්තට පස්සෙ අර කෙල්ලවත් වත්තම් කරගෙන ඇවිත් යහන ඉස්සරහින් තියල, කවි ටික කියල, රඟ දක්වලා, යකාව ගෙන්නලා ඊට පස්සෙ ඌව එලවලා කෙල්ලව සුවපත් කරනවා. ඔන්න ඕක තමයි සරලවම අපේ සංගීත අංගය.
කට්ටියම හොඳ මොරාල් පිට හිටියා. තරගය තිබ්බ ප්රධාන ශාලාව සෙනගින් පිරිල තිබ්බෙ. අපේ අවස්තාව ආවට පස්සෙ හැමෝම එකිනෙකාට සුබපතාගෙන තමන්ට නියමිත තැන්වලට ගියා.
පසුබිම් වාදනය පටන්ගන්නවත් එක්කම කෙල්ල ලාලිත්යෙන් මං හිටපු පැත්තෙ ඉදන් ගමන පටන් ගත්තා. යකා එහාපැත්තෙන් වේදිකාවට ආවා. මොරාල් වැඩි උනාම මිත්රවරුනී මිනිස්සු කලබල වෙනවනේ. පළවෙනි රවුම ඉවර වෙලා දෙවනි රවුම පටන් ගන්න කොට වේගයෙන් අඩි හප්පමින් එහෙ මෙහෙ දුවමින් හිටපු යකාත්, ලාලිත්යයෙන් වටපිට බලමින් ඇවිද ඇවිද හිටපු කෙල්ලත් මූණට මූණ හැප්පුනා! හැප්පුනා කියන්නෙ මිත්රවරුනී කෝච්චි දෙකක් හැප්පෙනවා වගේ හැප්පුනා! කෙල්ලත් යකාත් එක උඩ හතරගාතෙ දාලා බිම පතබෑවුනා!
අත්දැකීම් බහුල සංගීතකාරයො වෙච්ච අපි, ඉවෙන්ට් එක මැද එකෙක් මැරිල වැටුනොත් ඇරෙන්න ඉවෙන්ට් එක නවත්තන්නෙ නෑ. තත්පර දෙකෙන් අපිට තේරුනා දෙන්නටම සිහිය තිබ්බත් එලඹි සිහිය නැති බව. පසුබිම් සංගීතය දිගටම වාදනය උනා. අත්දැකීම් වලින් උපරිමයෙන් ප්රයෝජනය ගත්ත එහා පැත්තෙ ගායන කණ්ඩායමේ දෙන්නෙක් “හනේ.. හපොයි” වගේ රංගනයක් දාගෙන වේදිකාවට ඇවිත් වැටිච්ච කෙල්ලව උස්සන් ඒ පැත්තට ගියා. යකාටනං තනියම බඩගාගෙන අපේ පැත්තට එන්න උනා. මොකද අපි ගිහින් යකාව උස්සගෙන ආවොත් ඒක ශාන්තිකර්ම සම්ප්රදායටම සහ ලංකාවෙ යක් පරපුරටම නින්දාවක් වෙන නිසා. දාඩියෙන් තෙත්වෙලා මූණ රතු කරන් අපි ගාවට බඩගාගෙන ආපු යකාට හිටපු කෙල්ල මුලින්ම කිව්වෙ “මට හුස්ම ගන්න බෑ යකෝ” කියලා.
වේදිකා සහයට හිටපු අපේ අය යකාට ප්රථමාධාර සපයන වැඩේ බාරගනිද්දි අපි ශාන්තිකර්ම කවි කියාගෙන වේදිකාවට ගිහිනුත් ඉවරයි. අපේ කටවලුත් ඇරෙන්න උන වැඩේ තමයි අච්චර හැප්පිල්ලක් හැප්පිල බිම පතබෑවිල හිටපු කෙල්ලව වත්තන් කරගෙන ඇවිත් යහන ඉස්සරහින් ඉන්දවපු එක. කෙල්ලට එච්චර අවුලක් නෑ වගේ. සිද්දිය මතක් වෙන මතක් වෙන සැරේට හිනා යන්න ආවත් හිනාව තදකරගෙන අපි ශාන්තිකර්මය කරා. යකාව ගෙන්නන්න කවි කියන හරියෙදි යකා ආවෙ නෑ. යකාට අමාරු ඇති නිසා අපි ඒක දැනෙන්නෙ නැතිවෙන්න වෙනසක් නොකර දිගටම වැඩේ කරන් ගියා. අන්තිමේදි සියලුදෙනාගෙම අත්පොළසන් හඬ මැද්දෙ අපි ශාන්තිකර්මය ඉවර කරා! “කෙල්ලගෙ ඇක්ටින් නම් සුපිරි” මට වැඩේ පුරාවටම හිතුනෙ එහෙම. අන්තිමට වැඩේ ඉවරවෙලා බලද්දි මොන ඇක්ටින්ද! කෙල්ලට ඇත්තටම සිහිය තිබිලත් නෑ!
අන්තිමට ඒ අද්විතීය ගායන හා රංගන කුසලතාවන්ට අපිට ජයග්රහණයකුත් ලැබුනා.
උපුටා ගැනීම: Thusara Anjana Perera