ඒ කාලේ උසස්පෙළ හදාරන කාලේ ගාල්ලේ ප්රසිද්ධ පිරිමි පාසලක විද්යා විෂයයන් තමයි අපි හැදෑරුවේ. ඒවට තියෙනවා ප්රායෝගික පරීක්ෂණ. 70 ගණන් වල මුල්කාලයේ මං මේ කියන්නේ. තියරි පාස් උනාම ප්රැක්ටිකල් කෝල් කරනවා. එතකල් අපි ඉන්න ඕන. ඒ කෙටි කාලයේ විවේකයක් තියෙනවා මාස තුනක විතර. මගේ පංතියේ හිටියා මගේ මිත්රයෙක්. ඔහුගේ ඤාතියෙක් මන්නාරම් ප්රදේශයේ.ඔහු මේ විවේකය ප්රයෝජනයට අරන් මන්නාරම් ගියා.මගේ යාළුවා. ගිහිල්ලා ඔහු එහෙ නතර වෙලා නිකං හිටියේ නෑ, ඔහු ඉංග්රීසි පන්තියකට එහෙම ගියා. දෙමළ පවුල් කීපයක් සමීපව ආශ්රය කලා මගේ යාලුවා. ඒ එයා ඇසුරු කරපු එක පවුලක තමයි මේ “ශාන්තිනී” කියන දෙමළ ජාතික පාසල් දැරිය හිටියේ. අවුරුදු 15ක් විතර ඇති. මගේ මිත්රයගේ වයස අවුරුදු 17ක් විතර ඇති ඒ කාලේ. ශාන්තිනීලගේ ගෙදර තිබුනේ තලෙයි මන්නාරම් යන පාරේ පේසලේ හංදිය කියලා හංදියක් තියෙනවා.ඔය හංදිය ලඟ තියෙනවා මයිල්වාහනම් කියලා කඩයක්.ඔය කඩේ පිටිපස්සෙ ගෙදර ඒගොල්ලෝ හිටියේ.
ඉතිං හවසට මේගොල්ලෝ ගෙවල් වලට යනවා..ගියාම මේ ඒගොල්ලෝ කිරිකෝපි හදලා දෙනවා.. දෙළුම් කඩලා පීරිසියට අල්ලනවා.. හරි සංග්රහශීලී මිනිස්සු.ඒ කාලේ යුද්ධයක් ගැන හිතලවත් තිබුන් නෑ.හැබැයි අපේ යාලුවට ලොකු ගැටළුවක් තිබුණා එයා දෙමළ වචනයක් වත් දන්නේ නෑ.ඉතිං කොහොමහරි මගේ යාලුවා මේ ඉංග්රීසි පන්තිය කට් කරලා කොන්වන්ට් එක ඇරෙන වෙලාවට පැනලා එනවා ශාන්තිනී ඉස්කෝලේ ඇරිලා එනවා.. මගදි හම්බ වෙනවා..අනේ ඉතිං හිනාවෙනවා විතරයි කතා කරන්න දන්නෑ.ඔහොම මාස දෙකක් විතර ගිහිල්ලා අපේ යාලුවට ප්රැක්ටිකල් කෝල් කලා. ඉතිං කැඳවීම් ලැබුණ නිසා එයාලා ආයේ ගාල්ලට එන්න ඕන.එන්න කලින් දවසේ මේගොල්ලෝ අර මිත්ර පවුල් වලට රෑ කෑමට ආරාධනා කලා. ඔක්කොම කෑම කාලා ඉවර උනාට පස්සේ අපේ යාලුවා ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා.. සිංහලෙන් කියනවා “මං හෙට ආයෙත් ගාල්ලට යනවා.මට ආයෙත් මන්නාරමට එන්න ලැබෙන එකක් නෑ” කියලා. ඉතිං ආයේ එන්නෑ කිව්වාම ශාන්තිනී අඬනවා.හොඳටම අඬනවා. ඒක තමයි එකම එක අත්දැකීම.
ඕක මගේ හිතේ තිබුණා කාලයක්. මං ගුරුවරයෙක් හැටියට මොනරාගල වැඩ කරන කාලේ 83 අර අවාසනාවන්ත ජුලි මාසේ මගේ ඇස් පනාපිට මං දකිනවා.. වෙන්න ඕන නැති දේවල්… ගිනි තැබීම්..කොල්ලකෑම්… ඝාතන..හුඟාක් දේවල් වෙනවා.. මං බලන් ඉන්නවා.. ඉන්නකොට මට මතක් වෙනවා මගේ යාලුවගේ ශාන්තිනී ට දැන් මොනවා වෙලා ඇද්ද කියලා මට කල්පනා වෙනවා.
අර මන්නාරමේ ගිය යාළුවා මම කියලා හිතාගත්තත් මං විරුද්ධ වෙන්නෑ..
සඳගිරි මුඳුන.
2015-06- 03
————————————-
ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං
කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්
සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න.
උපුටා ගැනීම: Pradepa Pabasara