නිදන කාමරයේ වූ තැටි වාදක යන්ත්‍රයට මා ඇතුල් කලේ පැරණි හංගේරියානු ගීත ඇතුළත් සීඩී තැටියක්. එය අතට ගනිද්දීම එහි හිමිකරුවා සුරාජ් මගේ මතකයට නැගුනා. “පව් හොද එකා” මට එහෙම හිතුනා. දුරස්ථ පාලකය ගෙන සයනය වෙත ගිය මා ඉන් තැටි වාදකය ක්‍රියාත්මක කලා.
දෙවියනේ මොකක්ද මේ සින්දුව. ගීතයේ මුල් සංගීත සවන් වැකෙද්දීම මා සිත ශෝකයෙන් භීතියෙන් හිරිවැටී ගියා. මහා මූසල වේදනාකාරී ඒ සංගීතය ඇසෙද්දී මට මිය ගිය මිනිසුන්, සොහොන් කොත්, මිනී පෙට්ටි මැවි මැවී පෙනෙන්නට වුණා. සයනයේ මා අසලින් වැතිර සිටි නිමේශා ඇගේ සුමුදු දෑතින් මා කිටි කිටියේ වැළද ගත්තා.
” අනේ නුවන් මොකක්ද මේ සින්දුව. හරි අමුතුයි නේද ? ” ඇය එහෙම ඇහුවත් මට ඇයට දෙන්න උත්තරයක් නෑ. මම දැහැන් ගතවෙලා ගීතයට. නිමේෂා තව තවත් තුරුල්වුණා මට. ඒත් ඇයත් කතා කලේ නෑ එක වචනයක්. අපි දෙන්නම මෝහණය කරලද මේ මූසල ගීතය.
තවත් විණාඩි කිහිපයකින් ගීතය අවසන් වුණා.
“අනේ අපි ආයෙත් ඒක අහමු.” මට තුරුල් වී සිටි නිමේෂා මිමුණුවා. මේ නිහඬ නිසසල රැයේ වාදනය වන මේ පැරණි හංගේරියානු ශෝක ගීතය මොකක් නමුත් අදුරු ගුප්ත වෙනසක් අප අතර ඇති කරමින් තිබුණා. ගීතයේ එකදු වචනයක් අපට නොතේරුනත් ඒ සෑම වචනයකින්ම කියවුනේ ශෝකය හා මරණය බවයි මට හිතුනේ. කොතරම් වේදනාකාරී උවත් මටත් යලිත් ඒ ගීතය අසන්නට අවශ්‍ය වුණා. මම යලිත් ගීතය වාදන කලා.
ඒ මුසල ශෝකී සංගීතය වේදනාකාරී ගායනය යලිත් මා සිත වෙලා ගත්තා. මටත් නොදැනී මගේ නෙතු පිය වෙද්දී යලිත් මියගිය මිනිසුන්, සෙහොන් කොත් මා වටේ බ්‍රමණය වන බවක් මට පෙනෙන්නට ගත්තා.
කොළඹ ගෙවෙන කාර්ය බහුල ජීවිතයෙන් මිදී සති අන්තය ටිකක් විවේකීව ගත කරන්න හිතාගෙන මාත් බිරිද නිමේශාත් අද හවසයි බණ්ඩාරවෙල මේ බංගලාවට ආවේ. තේ වත්තක් මැද පුංචි කදු මුදුනක පිහිටි මේ නිවාඩු නිකේතනය ගැන මට කිව්වේ මීට පෙර මෙහි ආපු මගේ කාර්යාලයේ මිතුරෙක්මයි. මෙතන ඇත්තටම නිහඩ නිස්කලංක තැනක්. ගානත් සාධාරණයි. බංගලාවේ කළමණාකුරු සෑම් අංකල් එයාගේ සේවකයෝ දෙදෙනා රාධා හා වේලු හරිම ප්‍රියමනාප මිනිස්සු.
මම පරණ බටහිර ගීතවලට බොහොම ආශාකල කෙනෙක්. ඉතින් පැරණි බටහිර ගීත තැටි කීපයකුත් මම මේ ගමනට එකතු කරගත්තා. මගේ මිතුරෙකු සතුව තිබිලා මට ලැබුණ Hungarian old hit කියන මේ තැටියත් මම මේ ගමනට එකතු කලේ එය මගේ අතට පත්වෙලා දෙවසරක් විතර වුණත් තාමත් මට අහන්න නොලැබුණු නිසයි.
සිතුවිලි අතර මම කිමිදී සිටින අතරම මහා ශෝකයක් මා හද තුල ඉතිරි කරමින් ගීතය අවසන් වුණා. නරි රංචුවක් කොහේදෝ ඈතක සිට නැගූ හූ හඩ මට ඇසුනේ ගීතය අවසන් වෙනවාත් සමගයි. නිමේෂා තද නින්දකට වැටිලා. “ආයෙත් සින්දුව අහන්න’ ආයෙත් අහන්න.” මේ නිසල රාත්‍රියේ මගේ සිත මට වද කලා. තුන්වන වරටත් මම ගීතය වාදනය කලා. ගීතයේ මූසල සංගීතයත් නරිංගේ හූ හඩත් එකවිට නැගී ආවේ මහා බියකරු බවක් ඇති කරමින්. ඒත් මටත් නොතේරෙන කුමක්දෝ හේතුවකට මට ගීතියෙන් අත් මිදීමට හැකියාවක් තිබුණේ නෑ.
එක වරම අපේ කාමරයට පිටතින් නරියෙක්ගේ හූ හඩක් මට ඇසුනා. ඇදෙන් නැගිට ගත් මා ජනේලය වෙත පැමිණ පිටත බැලුවේ බංගලාව අසලටම පැමිණි නරි රංචුව දැක ගැනීමේ අදහසින්.
ඒත් මම දුටුවේ සුුදු සාරියකින් සැරසී මට පිටු පා තේ පදුරු අතරින් ඇවිද යන ගැහැණියක්. ඊලග මොහෙතේ ඇය ආපසු හැරී මාදෙස බැලුවා. බංගලාවට පිටතින් දැල්වුණු විදුලි බුබුලු සහ ලා සද එළියේ ආලෝකයෙන් මා ඇය හදුනා ගත්තා. මගෙ දෙවියනේ මේ අර ගෑනී. අදින් වසර දෙක තුනකට කලින් රාත්‍රියක කොළම නුවර මාර්ගයේදී මගේ මෝටර් රථයේ හැපුණු ගෑනී. ලේ විලක් මැද උදව් ඉල්ලා කෙදිරි ගාද්දී මා ඇය අතහැර පලා ගියා. ඇය මිය ගිහින් යලි ඇවිත්. නෑ…. අගේ ආත්මය ඇවිත්. ඇය මට අත වැනුවා. යලි යලිත් අත වැනුවා. මෝහණයකට පත් වූවෙකු ලෙසින් මම අඩ අදුරු කාමරයෛන් පිටවුනා. ඉන් අනතුරුව බංගලාවෙන් පිටවී තේ පදුරු අතරින් මම ඈ වෙත ගියා.
“ඒයි ගෑණීයේ දුවපිය යන්න. එන් නෑ මේ හතර මායිමට.”
මට පිටු පසින් ඇසුනු ඒ කෝපාවිෂ්ඨ හඩ මා පියවි ලෝකයට ගෙන ආවා. මට ඉදිරියෙන් සිටියේ සුදු වතින් සැරසුණු අවතාරයක් වෙනුවට කිලිටි වැරහැලි ඇද ගත් කාන්තාවක්. මට පිටු පසින් ආ කටහඩට බිය වු ඇය ආපසු හැරී මා පසුකරමින් දිව ගියා. පිටු පස සිට කෑගැසූ සැම් අංකල් මා අසලට ආවා.
“පිස්සු ගෑනියක් මහත්තයා. රෑ තිස්සේ මේ වත්තෙ කරක් ගහනවා. කොයිවෙලාවක හරි අර හෙලට වැටිල බෙල්ල කඩාගන්නවා.”
“ඒක තමයි මාත් මේ මහ රෑ වත්තේ ඇවිදින්නේ කවුද බලන්නයි එළියට ආවේ.” මම සියල්ල සගවමින් ඔහුට කිව්වා.
“ඒ වුනාට මහත්තයා මොකට ද ආවේ. මොක්ක හරි තියෙනවනම් අපිට කතා කරන්න නේ තිබුනේ.” සැම් අංකල් කිව්වා.
“ඒක නෙවෙයි මහත්තයා , අර මහත්තයගේ කාමරෙන් ඇහෙන සින්දුව. මහත්තයට කොහෙන්ද ඒක හම්බ වුනේ.” සෑම් අංකල් මා සමග ආපුස බංගලාව වෙත යන් ගමන් කතාව පටන් ගත්තා.
“ඕක මගෙ යාලුවෙක්ගේ සීඩී එකක්. ඇයි අංකල් එහෙම අහන්නේ”
“ඕක මහ මූසල සින්දුවක් මහත්තයා. කොටින්ම කියනවනම් ශාපලත් සින්දුවක්. ඔය සින්දුවට කියන්නේ Gloomy Sunday (අදුරු ඉරිදා) කියලා. සෙරෙස් කියලා හංගේරියන් ජාතිකයෙක් ලු මේක ලියල තියේනනේ. දෙවන ලෝක යුද්දෙන් පස්සේ තමයි ඕක ලියවුනා කියන්නේ. මොකද ඔය රචකයා නාසි වධ කදවුරක දුක් වින්දා කියලත් කියනවා. ලැස්ලෝ ජැවොර් කියන ගායකයා තමයි සින්දුව කියන්නේ. සිය පෙම්වතිය හැරගිය පසු දිවි නසාගන්න හදන පෙම්වතෙක් ගෙ සිතුවිලි ඔය සින්දුවෙන් කියවෙනවා ලු. ඔය සින්දුව අහපු ගොඩක් දෙනෙක් සිය දිවි නසාගෙන තියෙනවා.”
“මොකක් ?” මම බෙරිහන් දුන්නා.
මේ සින්දුව තියෙන සීඩී තැටිය තිබුණේ මගේ හොදම යාලුවෙක් වෙච්ච සුරාජ් ගාව. මිනිහ දවසක් එයාගේ ගෙදර කාමරය ඇතුලේම එල්ලිලා මැරිලා හිටිය. අදටත් හේතුවක් නෑ. සුරාජ් මම වගේම පැරණි බටහිර ගීත පිස්සෙක්. සුරාජ් මැරිල මාස කීපයකට පස්සේ සුරාජ් ගේ තාත්ත අපේ ගෙර ආව. එතකොට එයා සුරාජ් ලග තිබුණු සීඩීස් ගොඩක් මට ගෙනත් දුන්නා. ඒ අතර තමයි මේ සීඩී එක තිබුනේ. එතකොට සුරාජ් සියදිවි නසාගත්තෙත් මේ සින්දුව අහලද? ඒ සියල්ල එකිනෙක මතක් වෙද්දී මගේ ඇග සීතල වෙලා ගියා.
“ මහත්තයා දන්වද බී බී සී එකෙන් පවා මේ සින්දුව අවුරුදු හැට හයකට තහනම් කර තිබුණා.” සෑම් අංකල් තවත් විස්තර ගීතය ගැන කිව්වා.
ඒඅතර අපි බංගලාව කිට්ටුවට ආවා. මා පිටවන විට නිවා දමා තිබුණු අපේ කාමරයේ සියුල විදුලි බුබුලු දැල්වෙමින් තිබුණා. ඒ ශාපලත් ගීතය මහ හඩින් කාමරය තුලින් වාදනය වන්නට පටන් ගත්තා. අනුතුරක ඉව වැටුණු මම හැකි වේගයෙන් බංගලාව තුලට දිව ගොස් අපේ කාමරය වෙත දිව ගියා.
මා යන විටත් නිමේශා කාමරය තුල ගෙල වැලදාගෙන අවසන්.
නිමි.
උපුටා ගැනීම : Aravinda Athukorala